ට්‍රම්ප්ද සිය වෙළෙඳ හවුල්කරුවන් සියල්ලම, ඌරා ළිඳේ අංගම් කොටන්නට කැඳවා ඇත
ට්‍රම්ප් දැවැන්ත ‘යූ ටර්න්’ එකක් ගසා තිබේ. ඒ මහා බ්‍රේක් පාරක්ද සමගිනි. ඔහු බදු පැනෙව්වේය. ලෝකය බියපත් කළේය. ලොව පුරා කොටස් වෙළෙඳපොළවල් හතරගාතයෙන් වැට්ටුවේය. පැය කිහිපයක් තුළ ගෝලීය මූල්‍ය වෙළෙඳපොළවලට ඩොලර් ට්‍රිලියනයකට වැඩි මුදලක් අහිමි කළේය. බදු වලින් පහර කෑ රටවල්, ඇමෙරිකාවට එරෙහිව අවි අමෝරාගෙන ප්‍රති බදු ප්‍රකාශ කරමින් මහා වෙළෙඳ යුද්ධයක් ආරම්භ කිරීමේ ලක්ෂණ පෙන්නුම් කළේය. එහෙත් හදිසියේම ට්‍රම්ප් බදු ලැයිස්තුව දින 90කට හකුළා ගත්තේය. තවත් මාස තුනකට ඇමෙරිකානු බදු තර්ජනය එළැඹෙන්නේ නැත.
ගිනිගත් වෙළෙඳ ලෝකයට සීතල දිය වත්කළාක් බඳු තත්ත්වයක් ඉන් නිර්මාණය වූයේ මහා කලබැගෑනියට යම් සංහිඳියාවක් එක් කරමිනි. මෙය ද ට්‍රම්ප් ලෝකයට ගෙනදුන් තවත් පුදුමයකි. කම්පනයකි. ඔහු ඉකුත් වසරේ නොවැම්බර් මාසයේ පැවති ඇමෙරිකානු ජනාධිපතිවරණය ජය ගෙන, ඉන් ඉක්බිතිව මේ වසරේ ජනවාරි 20 වෙනිදා වොෂිංටනයේ කැපිටල් හිල් ගොඩනැගිල්ල ඉදිරිපිටදී දිව්රුම් දී වැඩ භාරගත් දින සිට, මේ දක්වා ඔහු දිනපතාම ලෝකය පුදුම කරයි. මෙතෙක් පැවති ක්‍රමවේදයන් හා තීන්දු උඩු යටිකුරු කරයි. යුක්රේන යුද්ධය, මැදපෙරදිග අර්බුදය, ග්‍රීන්ලන්ත දූපත අල්ලාගැනීමට සැරසීම, කැනඩාව ඇමෙරිකාවේ 51 වැනි ප්‍රාන්තය විය යුතු යැයි නිවේදනය කිරීම, ආදී වූ සිද්ධීන් ට්‍රම්ප්ගේ පුදුමයන්ට හා කම්පනයන්ට උදාහරණ ලෙස පෙන්වා දිය හැක.
එම ක්‍රියාකාරකම් සියල්ලටම වඩා ට්‍රම්ප් “ හතුරු රාජ මාරයා - මුළු ලෝ හොල්ලන්න වීරයා” වූයේ ඇමෙරිකාවේ සියලු වෙළෙඳ හවුල්කරුවන්ට බදු පැනවීමට හදිසියේ තීන්දු කොට එම බදු ලැයිස්තුව කළින් සඳහන් කළ පරිදි අප්‍රේල් මස 2වෙනිදා ප්‍රකාශයට පත් කිරීමත් සමගයි. මෙය ඇමෙරිකාව එක් පසෙකත් සමස්ත ලෝකය තවත් පසෙකත් වශයෙන් පිල් දෙකකට බෙදූ අවස්ථාවකි. එනම් ඇමෙරිකාව ලෝකයේ අංක එකේ ආර්ථික හා දේශපාලනික බලවතා ලෙස සෙසු සියලු රටවලට එකවර අභියෝග කරමින් තම බල පරාක්‍රමය විදහා පෑමක් පෙන්නුම් කිරීමයි. එය ඇමෙරිකානු ‘හෙජමනික’ බලය තහවුරු කිරීමේ එක් අවස්ථාවක් ලෙසද ගෝලීය විද්වත්හු පෙන්වා දෙති.
- බදු ගැසීමේ හා කල්දැමීමේ කලාව
ලෝකය කලඹවමින්, රටවල් 60 කට අධික සංඛ්‍යාවකට පැනවූ අධික තීරුබදු, දින 90ක කාලයකට අත්හිටුවීමට ට්‍රම්ප් පාලනය තීරණය කළේ බදාදා රාත්‍රි කාලයේය. ට්‍රම්ප් කළ නිවේදනය මගින් පෙන්වා දුන්නේ, එම බදු අත්හිටුවීමේ ක්‍රියාවලිය වඩාත් යහපත් වෙළෙඳ ක්‍රමවේදයක් සකස් කර ගැනීමට අවශ්‍ය කාලය ලබාගැනීමක් ලෙසයි. එහෙත් ඇතැම් විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, ට්‍රම්ප් බදු නිසා ඇමෙරිකානු ජනතාව හා සමාගම් මුහුණ දුන් අහිතකර වාතාවරණයෙන් හටගත් මහා විරෝධය සමනය කිරීමට ගත් තාවකාලික පියවරක් ලෙස බදු අත්හිටුවීමේ තින්දුව හඳුන්වා දිය හැකි බවයි. ශ්‍රී ලංකාවේ ඇතැම් සමාජ මාධ්‍ය සටහන්වල දැක්වුනේ, ගැසට් පළකිරීම හා ඒවා අවලංගු කිරීම හෝ ආපසු හැරවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පාලනය යම් යම් වකවානුවලදී පෙන්නුම් කළ “කුසලතා“ ට්‍රම්ප්ද අපෙන් උකහා ගෙන ඇති බවකි. කෙසේ වුවත්, ට්‍රම්ප් මෙහිදී අනාගත්තා ද නැත්නම් පරාජය වූවා, ද එසේත් නැත්නම් ඔහු සමස්ත ලෝකයම ඇන්දවූවා ද යන ප්‍රශ්න ඉස්මතු වීමයි.
මේ ලිපිය අවසන් කරන බ්‍රහස්පතින්දා දිනයේ දහවල වන විටත් ලෝකය පුරා විවිධ වේදිකා, සමාජ මාධ්‍ය, ප්‍රධාන පෙළේ මාධ්‍ය හා වෙනත් සංවාද මණ්ඩපවල ප්‍රධාන මාතෘකාව බවට ට්‍රම්ප් “රිවස් ගියර්“ ක්‍රියාවලිය පත්ව තිබිණ. ට්‍රම්ප්ට මේ ආකාරයෙන් හැසිරීමට අවශ්‍ය වූයේ ඇයි. සැබැවින්ම ඔහු තමන් හඳුන්වා දුන් බදු සෙල්ලමෙන් පරාජය වූවා ද? ඔහු අඩියක් පස්සට ගත්තේ අඩියක් ඉදිරියට තැබීමට නොහැකි නිසා ද? ඇත්තටම ට්‍රම්ප් සිහිබුද්ධියකින් තොරව වැඩ කරන්නේ ද? ඔහුගේ සමීප නිලධාරීන් හා උපදේශකයන් උන්මන්තකයන්ද? මේ ප්‍රශ්නය ඉතා බරපතළව සංවාදයට ලක්වෙයි.
සියලු කරුණු සලකා බැලීමේදී පෙනී යන්නේ, ට්‍රම්ප් පරාජය වූ බවක් පෙන්වා දීමට තරම් කරුණු කාරණා සාක්ෂාත් වී නැති බවයි. සමස්ත සිද්ධිය දෙස විචාරාත්මකව බැලීමේදී පෙනී යන්නේ, ට්‍රම්ප් ඉතා සූක්ෂම ලෙස ලෝකය තම උගුලට හසුකරගෙන ඇති බවකි. එය එසේ නොවීමටත් පුළුවන. එහෙත් අප අමතක නොකළ යුතු කරුණු දෙකක් ඇත. අංක එක, එනම් ට්‍රම්ප් මින් පෙර ඇමෙරිකාවේ ජනාධිපති පදවිය එක් ධුර කාලයක් එනම් වසර 4 ක කාලයක් හොබවා ඇති බවයි. ඉනික්බිති 2020 පැවති ජනාධිපතිවරණයේදී පවා ට්‍රම්ප්ට ඉතා පැහැදිළි ජනතා සහයක් පැවතීමයි. දෙවැනි වර ජනාධිපතිවරණයේදී, එනම් ඉකුත් නොවැම්බර් මාසයේදී ට්‍රම්ප් ඇමෙරිකාව තුළ සැලකිය යුතු තරම් ඉහළ ජන බලයක් අත්කරගෙන සිටි බවක් පෙන්නුම් කරන්නේය. ඔහු පැරදී ගෙදර ගිය පසුවත්, බණක් දහමක් කරගෙන පාඩුවේ හිටි බවක් පෙන්නුම් කළේ නැත. ඒ වෙනුවට, වඩා බලවත් හා සක්‍රීය දේශපාලනික වැඩසටහනක් තුළින් යළි බලය අත්පත් කරගැනීමේ සැලසුම් ට්‍රම්ප් සතු විය. සැලසුම් ගත පරිදිම, ඔහු ජනපති විය. ඒ අනුව ඔහුට ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂ දැක්මක් විය. මේ සියල්ල සළකා බැලීමේදී ට්‍රම්ප් ගෙනා බදු වැඩපිළිවෙළ දින දෙකක් තුනක් තුළ කඩි මුඩියේ හදා, කරන්නන් වාලේ එළිදැක්වූවක් බවක් නොපෙනේ. ඒ අපේ රටේය. ඇමෙරිකාවේ එහෙම වෙන්නේ නැත. ට්‍රම්ප්ගේ බදු තුළ, ඇමෙරිකාවටද දැඩි අහිතකර බලපෑමක් එල්ල වුවද, ඒ යම් ආකාරයකින් ස්ථාවරත්වය අත්කරගැනීමේ ව්‍යායාමයේදී ඇතිවූ කෙටි කාලීන පසුබෑමක් ලෙස ට්‍රම්ප්ගේ ආර්ථික කණ්ඩායම විග්‍රහ කරයි.
අපි අමතක නොකළ යුතු තවත් දෙයක් නම්, ට්‍රම්ප් සාම්ප්‍රදායික දේශපාලනඥයෙකු නොවේ. කට්ට කෛරාටික, අපි අපේ සමාජයේ ද ඇතැම් විට දකින චරිතවලට සමාන “මුදලාලි“ කෙනෙකි. ට්‍රම්ප් ඇමෙරිකාව දැන් ඔහුගේ වෙළෙඳ සැල බවට පත්කරගෙන, තමන්ගේ අභිමතය සමග ගනුදෙනු කරන ලෙසට පාරිභෝගිකයන්ට අභියෝග කරන බවක් පෙන්නුම් කරයි. ඔහුගේ දකුණු අත බඳු පුද්ගලයා තවත් ශූර මුදලාලි කෙනෙකි. ඒ, ඊලොන් මස්ක් ය. බදුවලින් ඇතිවෙන බලපෑමට එරෙහිව ඇමෙරිකානු ජනතාව පෙළපාලි ගියේ ජනාධිපතිවරයාට හා ඔහුගේ ආධාරකරුවාට එරෙහිව යැයි අර්ථ දක්වනු වෙනුවට, ඇමෙරිකාව ග්‍රහණයට ගත් මුදලාලිලා දෙන්නෙකුට එරෙහිව යැයි අර්ථ දැක්වීම වඩාත් කාලෝචිතය. පොලී මුදලාලි මෙන් ට්‍රම්ප් ද, මස්ක් හා එක්ව ගැසුවේ සුපිරි වෙළෙඳ ගැටයකි. ඔවුන් දෙදෙනා එකවරම ලෝකය තම අල්ලට ගෙන අල්ලේ නැටවීමට සමත් වූ බව සමස්ත සිද්ධිදාමය ඔස්සේ පෙනී යයි. මෙය දිගහැරුණේ කෙසේද?
- බදු කේවල් කිරීමේ අවියක් ද?
ශ්‍රී ලංකාව ද ඇතුළු රටවල් 60 කට එරෙහිව බදු ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව, ට්‍රම්ප් පෙන්වාදුන්නේ ලොව බොහෝ වෙළෙඳ හවුල්කරුවන් ඇමෙරිකාව සමග සාධාරණ වෙළෙඳාමක නොයෙදෙන බවයි. තවත් පැහැදිලිව ප්‍රකාශ කරන්නේ නම්, ට්‍රම්ප් ඊට පෙර සතියේ එනම් අප්‍රේල් 2වෙනිදා හඳුන්වා දුන් නව තීරුගාස්තු, අප්‍රේල් 9 වෙනිදා සිට ක්‍රියාත්මක බවද නිවේදනය කරමින් කියා සිටියේ, බදු යනු ඉතා “මනරම්“ ක්‍රියාවලියක් බවයි. “ TRIFF IS AFUL BEAUTIFUL THING ”. එය බොහෝ රටවලට “මනරම් නොව මරණම්“ තත්ත්වයක් මවා පෑවේය.
සිදුවූ දෙය අප සැමගේ ඇස් ඉදිරිපිට දිග හැරුණේය. ලෝකය ට්‍රම්ප් ගැන කතා කිරීමට පටන් ගත්තේය. කිලෝමීටර 14300ක් දුරින් පිහිටි වොෂිංටන් නුවරදී ගනූ ලැබූ බදු තීන්දුව අපේ ජීවිතවලට බලපාන්නේ කෙසේදැයි ලංකාවේ අන්තර්ජාතික සබඳතා ගැන දැනුමක් නොමැති සාමාන්‍ය ජනතාව පවා ප්‍රශ්නකිරීමට පටන් ගත්හ. මෙය ඉතා අවුල්සහගත තත්ත්වයකි. ලංකාවේත් වෙනත් රටවලත් දේශපාලන සංවාද නිර්මාණය විය. විපක්ෂ කණ්ඩායම් ආණ්ඩුවලට දොස් පවරන්නට මෙන්ම ඇතැම් විට ඇමෙරිකානු බදු ප්‍රශ්නය සම්බන්ධයෙන් එක්ව වැඩකිරීමටද එකඟතාව පළ කර තිබිණ. අප්‍රේල් 9 වෙනි බදාදා ඉතා තීරණාත්මක වූයේ, එදින ට්‍රම්ප්ගේ බදු, ලංකාව ඇතුළු රටවලට එරෙහිව බලාත්මක වීම නිසාය. එහෙත් එය ක්‍රියාත්මක වී පැය 24ක් යාමට මත්තෙන් ට්‍රම්ප් සිය තීරණය කණපිට හැරවීය. දැන් මාස 3 ක කාලයක් යනතෙක් ඇමෙරිකානු බදු තර්ජනයක් නැත. ක්‍රියාත්මක වෙන්නේ 10%ක් තරම් කුඩා පොදු ආනයන බද්දකි. උදාහරණයක් ලෙස, ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට සිදුකෙරෙන අපනයන සඳහා 44% බද්දක් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අප්‍රේල් 2 දා ප්‍රකාශයට පත්කරනු ලැබූ අතර, බදු ක්‍රියාත්මක නොකිරීමේ අප්‍රේල් 9 තීරණය අනුව ශ්‍රී ලංකාව 44% බද්දකට නොව 10% පොදු බද්දට යටත් වන බව ඇමෙරිකානු ජනාධිපති නව නියෝගය අනුව පෙනී යයි.
ලොව බහුතරයක් රටවලට අවශ්‍ය වූයේ ඇමෙරිකාව සමග ආර්ථික ගැටුමකට සම්බන්ධ වී තවත් අවුල්සහගත තත්ත්වයකට පත්වීමක් නොව ඇමෙරිකාව සමග සාකච්ඡා මාර්ගයට අවතීර්ණ වී බදු ප්‍රශ්නය දෙපාර්ශ්වයටම පිළිගත හැකි ආකාරයකට විසඳාගැනීමයි. අප්‍රේල් 9 වැනි බදාදා සිට අධික තීරුබදු ක්‍රියාත්මකවීම ඇරඹුණේ ලොව විවිධ රටවල් ඇමෙරිකානු වෙළෙඳ ප්‍රහාරයෙන් බේරීම සඳහා විවිධ උපක්‍රම සෙවීමේ ක්‍රියාවලිය වේගවත් කරමිනි. ශ්‍රී ලංකාවද ඒ අතර විය. ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් විශේෂ කමිටුවක් පත් කිරීම, ඇමෙරිකානු ජනාධිපතිවරයාට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පෞද්ගලිකවම ලිපියක් යොමුකිරීම. ට්‍රම්ප් බදු පිළිබඳව ජනාධිපතිවරයා හා දේශපාලන පක්ෂ නායකයන් අතර සාකච්ඡා ආදිය අප රට විසින් ගනු ලැබූ හදිසි ක්‍රියාමාර්ග වේ. ජපානය හා දකුණු කොරියාව හදිසියේම වොෂිංටනයට නියෝජිතයන් යවා ඇත. ඉතාලි අගමැතිවරයා ඇමෙරිකාව බලා යමින් සිටී. බ්‍රිතාන්‍යය ඇමෙරිකාව සමග වෙළෙඳ ගිවිසුමක් සඳහා යෝජනා කළත් ට්‍රම්ප් බද්දෙන් ගැලවීමට නොහැකි වූ අතර වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා ඉදිරියට ගෙනයාමේ අපේක්ෂාවෙන් පසුවෙයි. ඉන්දියාව දැනටමත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇත. ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි, පෙබරවාරි 10 වෙනිදා සිට සිදුකළ සිය ඇමෙරිකානු චාරිකාව අතරවාරයේදී, ජනාධිපති ට්‍රම්ප් සමග කළ සාකච්ඡාවලදී, වෙළෙඳ සබඳතා පිළිබඳවද අවධානය යොමුවූ බව ඇමෙරිකානු, ඉන්දියානු හා ගෝලීය මාධ්‍ය එදා වාර්තා කර තිබිණ. එහෙත් ට්‍රම්ප් ඉන්දියාවටද 26%ක බද්දක් පැනවීය. බද්ද පනවමින් මෙසේද කීය“ ඔබ (නරේන්ද්‍ර මෝදි) මගේ මිත්‍රයා. ඒත් ඔබලා අපට සලකන විදිහ හරි නැහැ. මේ නිසා කලින් කතා කොට මේ ප්‍රශ්නය විසඳාගත හැකිව තිබූ බවට නැගෙන තර්ක හුදු දේශපාලනික ප්‍රකාශයන්ම පමණක් බවට පත්වේ. වියට්නාමයද කලින් ඇමෙරිකාව සමග කතා කළේය. ඔවුන්ද ඉතා හොඳ බව ට්‍රම්ප්ද ප්‍රකාශ කළේය. එහෙත් වියට්නාමයට එරෙහිව 46% ක බද්දක් පැනවීමට ට්‍රම්ප් ක්‍රියා කළේය. ට්‍රම්ප්ට කලින් කළ කතා බහ වැඩක් නැති බවක් පෙන්නුම් කරයි.
- බදු උපායේ ස්වභාවය
ට්‍රම්ප් බද්දට ප්‍රධාන හේතුව ඇමෙරිකාව අන්තර්ජාතික වෙළෙඳාමේදී විවිධ රටවල් සමග කරන ගනුදෙනුවලින් හටගෙන ඇති අවාසිදායක වෙළෙඳ පරතරයයි. ඇමෙරිකාවට පාඩුසහගත ලෙස 2022 වසරේදී ඩොලර් බිලියන 945ක්ව පැවති එම අගය පසුගිය වසර වනවිට ඩොලර් ට්‍රිලියන 1.2 දක්වා ඉහළ ගොස් තිබේ. වැඩිම වෙළෙඳ පරතරයක් ඇත්තේ චීනය සමගයි. 2024 වසරේ එය ඩොලර් බිලියන 294ක් දක්වා ඉහළ ගොස් තිබිණ. ශ්‍රී ලංකාව සමග කරන ගනුදෙනුවලදී ඇමෙරිකාවට සිදුවන පාඩුව ඩොලර් බිලියන 2.6කි. මෙම වෙළෙඳ පරතරය අඩුකරගැනීමට තම වෙළෙඳ හවුල්කරුවන්ට දැනෙන යමක් කිරීමට ට්‍රම්ප්ට අවශ්‍ය විය. එය ඔහු හා ඔහුගේ හවුල්කරුවන් වසර ගණනක් පුරා සැලසුම් කරන්නට ඇත. එහි ප්‍රතිඵලය ක්ෂණිකව බදු පැනවීමයි.
බදු පැනවූ වහාම අන්තර්ජාතික වෙළෙඳ හවුල්කරුවෝ ඇමෙරිකාව සම්බන්ධයෙන් පියවර දෙකක් අනුගමනය කළහ. පළමුවැන්න, චීනය හා යුරෝපා සංගමය වැනි ප්‍රබල පාර්ශ්ව ඇමෙරිකාවට ප්‍රති බදු පැනවීය. උදාහරණ ලෙස, ඇමෙරිකාව චීනයට සමස්ත වශයෙන් 104% බදු පනවා ඇති අතර චීනය ඇමෙරිකාවට 84%ක ප්‍රති බදු පැනවීමක් සිදුකර ඇත. මෙය ඍජුවම වෙළෙඳ යුද්ධයයි. අනෙක් රටවල්, එනම් මේ වනවිට රටවල් 75ක් පමණ ඇමෙරිකාව සමග සාකච්ඡා කිරීමට යෝජනා කොට තිබේ. කලින් සඳහන් කළ පරිදි, ඇතැම් රටවල් වොෂිංටනයේ ප්‍රමුඛතාව පරිදි දැනටමත් සාකච්ඡා අරඹා තිබේ. සෙසු රටවල් සාකච්ඡා අවස්ථාවක් අපේක්ෂාවෙන් පසුවෙයි. මාස 3 ක් යනතෙක් බදු බල නොපැවැත්වෙන නිසා විශාල තර්ජනයක්ද නැත. එය ලංකාව ඇතුළු රටවලට සහනයකි. දැන් මෙතෙක් ඇමෙරිකාවට පාඩු ගෙනදුන් වෙෙළඳ පරතරය අඩු කිරීමට අනෙක් රටවල් එකඟ කරවා ගැනීමට අවශ්‍ය වේදිකාවක් සකස් වී තිබේ. ඇමෙරිකාවේ කේවල් කිරීමේ බලය ඉහළගොස් තිබේ. වෙළෙඳ පරතරය අඩුකිරීමේ සැලසුම් ගැන සාකච්ඡා කරන ලෙසට ඇමෙරිකාව තම තානාපතිවරුන්ට දැනුම් දී ඇති බවක් වාර්තා වේ. මෙරට ඇමෙරිකානු තානාපතිනි ජුලී චං, විදේශ අමාත්‍ය විජිත හේරත් සමග ඉකුත්දා කළ සාකච්ඡාවේදී ද වෙළෙඳ පරතරය ගැන අවධානය යොමු වූ බව ඊට අදාළ නිවේදනවල දැක්වේ. අමාත්‍ය අනිල් ජයන්ත, පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයේද එම කරුණ ඇතුළත් වේ. මේ අනුව බලන කල, ට්‍රම්ප් බදු පැනවීම මෙන් ම අත්හිටුවීමද කර ඇත්තේ උපායමාර්ගිකව බව පෙනී යයි. දැන් සියලු වෙළෙඳ හවුල්කරුවන් සාකච්ඡා මේසයට ගෙන ඒමට ට්‍රම්ප්ට හැකි වී තිබේ. ඒ ඔවුන්ගේ කේවල් කිරීමේ හැකියාවද නිෂේධනය කරමිනි. එය අපූරු මුදලාලි උපායකි. අපේ ඉපැරණි අංගම් සටන් කලාවේ, ‘‘ඌරා ළිඳේ කෙටීම%ළු’ යනුවෙන් සටන් විධික්‍රමයක් ඇත. එහිදී ප්‍රතිවාදියාට ඉවත්ව යාමට බැරි ළිඳක සිට සටන සිදුකෙරේ. මේ වනවිට ට්‍රම්ප්ද සිය වෙළෙඳ හවුල්කරුවන් සියල්ලම, ඌරා ළිඳේ අංගම් කොටන්නට කැඳවා ඇත.
- චීනය කොටු කිරීම
ට්‍රම්ප් අනෙක් රටවල බදු අත්හිටවූවාට, චීනයේ බදු අත්හිටුවා නැත. මෙය චීනයට එල්ල කෙරෙන මරු පහරකි. ලොව දෙවැනි ප්‍රධාන ආර්ථිකය දුර්වල කිරීමට සැකසුණු කෛරාටික උපායකි. දැන් චීන නිෂ්පාදන බොහොමයකට ඇමෙරිකානු දොර වැසෙයි. චීන ජනාධිපති ෂී ජින් පිං, මෙය කලින්ම දැක ඊට සූදානම් වී ඇති බවක් ගෝලීය මාධ්‍ය සඳහන් කරයි. එහෙත් 104%ක බද්දක් සමග වෙළෙඳාම අති දුෂ්කර ක්‍රියාවකි. චීනයේ දැවැන්ත කාර්මික යන්ත්‍රය මන්දගාමී කරන අවදානමක් මේ සමග නිර්මාණය වෙයි. ලෝක තෙල් මිල එකවර අඩුවීමක් පෙන්නුම් කිරීම එහි මූලික ලක්ෂණයකි. එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙක් බිම දැමුවාක් මෙන්, චීනය සමග ඉතා දැඩි ආර්ථික සබඳතාවක් පවත්වාගෙන යන රුසියාවද මින් අහිතකර තත්ත්වයකට මුහුණ පායි.
ඒ චීනයේ බලශක්ති ඉල්ලුම පහළ යාම තුළ, රුසියාවේ තෙල් වෙළෙඳාමට සිදුවෙන පාඩුව පදනම් කරගෙනයි. එය යුක්රේන යුද්ධයෙන් පීඩිත රුසියානු ආර්ථිකයට පැටවෙන අමතර බරකි. අනෙක් අතට, ඉන්දියාව මේ බදු ගැන ලොකු හඬක් නොනගයි. ඇමෙරිකාව සමග සාකච්ඡා කළ යුතුය යන්න මෝදි අගමැතිගේ ක්‍රමවේදයයි. ඒ හැර, ගැටුම්කාරී මාවතකට යොමුවීමක් නැත. ඊට ප්‍රධාන හේතුවක් වන්නේ, ඉන්දියාවට වාසිදායක තත්ත්වයක්ද මේ බදු සටන තුළ තිබීමයි. ඉන්දීය නිෂ්පාදනවලට 26%ක බද්දක් පැනවුවද ඉන්දියාවේ වෙළෙඳ ප්‍රතිවාදීන්ට පනවා ඇති බදු ඊට වැඩි නිසා, නිතැතින්ම ඉන්දීය නිෂ්පාදනවලට ඉහළ තරගකාරිත්වයක් ඇතිවේ. ශ්‍රී ලංකාවටද මෙම තත්ත්වය ඇතැම් විට වාසිදායක වීමට ඉඩ ඇත්තේ ඉහත තර්කය අනුවයි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව දැන් වඩාත් කල්පනාකාරී විය යුතුය. දැන් අපි ට්‍රම්ප්ගේ බදු ගහෙන් බිම වැටී ඇත. දැන් අපි අවධානය යොමු කළ යුත්තේ, යුරෝපා ගොනා අපට අනීද යන්න ගැනයි. ඒ මන්ද යත්, ලංකාවට දෙන GSP+ බදු සහනය ලබන වසරේ අවසන් වන අතර ඒ සඳහා වෙන දුෂ්කර කොන්දේසි මාලාවක් දැනටමත් යුරෝපා සංගමය විසින් ඉදිරිපත් කර තිබීම හා ඔවුන් මෙවර දැඩි මුහුණුවරක පසුවීමයි. ඒ නිසා මේ ව්‍යසන දෙකෙන් බේරීමට නම් ඉතා සූක්ෂම රාජ්‍යතාන්ත්‍රික උපායන් කරා යොමුවීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇත.
ප්‍රසාද් කෞශල්‍ය දොඩන්ගොඩගේ