
මහපොළොව කම්පා වීම, එසේත් නැත්නම් සෙලවීම මානව ශිෂ්ටාචාරයේ මුල් යුගයේ සිටම මිනිසාගේ ජීවිතය හා විවිධ ස්වරූපයෙන් බැඳී පවතින භූගෝලීය සංසිද්ධියකි. ඒ පිළිබඳ ලිඛිත සාධක ප්‍රථමයෙන් හමුවෙන්නේ ග්‍රීක ශිෂ්ටාචාරයෙනි. ඊට පෙරාතුව සංස්කෘතික සාධක සැලකීමේ දී ලොව සියලු ප්‍රධාන ආගම් මහපොළොව කම්පාවීම ගැන හේතු සාධක සහිතව අර්ථදැක්වීම් සිදුකර තිබේ. ඒ අදාළ ධර්මයන්ගේ හා ශාස්තෲන් වහන්සේලාගේ පිළිගැනීම අනුවය. බුද්ධ දේශනාවට අනුව මිහිකත කම්පාවීමේ අවස්ථා 8 කි. ඉන් පළමු හේතුව වඩාත් විද්‍යාත්මක, එනම් පංච මහා භූතයන්ගේ කැලඹීම ගෙනහැර දක්වන අතර ඉතිරි අවස්ථා බුද්ධ චරිතය හා බැඳේ. කිතු දහම, ඉස්ලාම් ධර්මය, ජුදා දහම හා හින්දු දහම වැනි දේව මූලික ආගම්වල භුමි කම්පා අර්ථ දක්වා ඇත්තේ දෙවියන් වහන්සේගේ/ දේවතාවන්ගේ බලය හා පාපය යනා දී වූ සංකල්ප පදනම් කර ගනිමිනි.
භූමි කම්පා යනු මිනිසා මිහිමත දිවිය ඇරඹූ දා සිට මානව ජීවිතය සමග බැඳී පවතින තත්ත්වයක් බව මේ අනුව පෙන්නුම් කරයි. ප්‍රශ්නය වෙන්නේ, එදා සිට අද දක්වාම මිහිකත කම්පාවීමෙන් සිදුවෙන ව්‍යසන මහහරවා ගැනීමට බලයක් මානව වර්ගයා විසින් අත්කර නොගැනීමයි. නවීන විද්‍යාත්මක ක්‍රමවේද අනුව යමින්, භූමිකම්පා හානි අඩු කරගැනීමට මිනිසා සමත් වී ඇතත් ඉන් අත්වෙන බහුතර හානියෙන් මිදීමට ඔවුනට හැකියාව ලැබී නැත. ඊට හොඳම උදාහරණය, ඉකුත් සතියේ ජපානය නිකුත් කළ භූමිකම්පා පූර්ව නිවේදනයයි.
ජපානය යනු භූ චලන වලට තෝතැන්නකි. භූමි කම්පාවල අතුරු ඵලයක් වෙන බිහිසුණු උදම් රළ හැඳින්වීම සඳහා ලොව පුරා භාවිත කරන වදන, සුනාමි යන්න ජපන් භාෂාවෙන් ලොවට හඳුන්වාදෙනු ලැබූවකි. ඒ නිසා ලෝකයේ භූමිකම්පා ව්‍යසනයන්ට මුහුණ දීමේ ඉහළතම තාක්ෂණය දැනට අත්කරගෙන සිටින්නේ ජපානයයි. එසේ වුවත් ඉකුත් බදාදා ජපානය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ ඉදිරිකාලයේ කන්ටෝ ප්‍රදේශයේ ඇතිවිය හැකි මහා භූමි කම්පාවකින් හා සුනාමියකින් ජපානයේ 298000 දෙනා මිය යා හැකි බවයි.
ඉන් ගම්‍ය වෙන්නේ ලොව භූමිකම්පා ප්‍රතිරෝධි ඉහළතම තාක්ෂණය අත්කරගෙන සිටින රටට පවා භූමිකම්පා ව්‍යසනයක දී තම ජනතාව සම්පූර්ණයෙන් ආරක්ෂා කළ නොහැකි වාතාවරණයක් ප්‍රායෝගිකව පවතින බවයි. එහෙත් ජපානය කළ නිවේදනයේ දැක්වෙන්නේ, මීට දස වසරකට පෙර, එනම් 2013-2014 වකවානුවේ මේ භූමිකම්පාව සිදුවූයේ නම් 330000ක් පමණ දෙනා මියයන බවත් තාක්ෂණ දියුණුව නිසා එම මරණ සංඛ්‍යාව 30000 කට අධික ගණනකින් අඩුකරගැනීමට හැකිවෙන බවත්ය. එහෙත් එම සංඛ්‍යා ලේඛන විමසා බැලීමේදී දක්නට ලැබෙන්නේ තවමත් මරණ සංඛ්‍යාවේ පුරෝකථනය ඉහළ මට්ටමක පවතින බවයි.
ජපානය අන් කිසිදු රටකට වෙන්කළ නොහැකි ආකාරයේ මහා මූල්‍ය ප්‍රතිපාදනයක් එනම් අමෙරිකානු ඩොලර් බිලියන 133 කට අධික මුදලක් භූමිකම්පා වැළැක්වීමේ පස් අවුරුදු සැලැස්ම සඳහා වෙන්කර තිබේ. එවැනි ධනස්කන්ධයක් වැය කළද, භූමිකම්පාවලින් වෙන හානිය කොතරම් ද යන්න තක්සේරු කිරීමට පවා අපහසු තත්ත්වයක පවතින්නේ එම ව්‍යසනයන් සිදුවෙන ආකාරය ගැන නිවැරදි පුරෝකථනයන් හා ඊට අදාළ සැලසුම් දියත් කිරීම ආදි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පවතින ගැටලු සහගත තත්ත්වය මුල්කරගෙනයි. මේ නිසා මුල්‍ය සම්පත් වැය කළ ද ඊට සරිලන ආරක්ෂාවක් ලබාගැනීමට ඉඩක් පවතීද යන්න ගැටලුවකි. භූමි කම්පා සඳහා අදාළ තිත්ත ඇත්ත එයයි. කටුක යථාර්ථය එයයි.
මිනිසා කොතරම් දියුණු වුවද, ප්‍රබල වුවද සොබා දහමට අභියෝග කිරීමේ ශක්තියක් තවමත් මානව වර්ගයා අත්පත් කරගෙන නැති බවයි. මේ සියලු පුර්විකා තුළ, මියැන්මාර භූමිකම්පාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුව ඇත්තේ, එතුළ විද්‍යමාන වෙන ඉතා බරපතළ මානව ඛේදවාචකය මුල්කරගෙනයි. ඇෆ්ගනිස්තානය හැරුණු කොට මෑත ඉතිහාසයේ භුමි කම්පාවකින් අසරණ වූ ප්‍රධානම රට වෙන්නේ මියැන්මාරයයි. ඒ භූමිකම්පාවට ගොදුරු වූ මණ්ඩලේ ප්‍රදේශය තවමත් සම්පූර්ණයෙන්ම සහන සේවා අධිකාරිත්වය යටතට පත් නොවි කිසිදු ආධාරයක් හෝ සහන සේවා - ජීවිතාරක්ෂක හෝ මුදාගැනීමේ මෙහෙයුම් සිදු කෙරෙන වාතාවරණයක් නොපැවතීම නිසයි. කිසිදු ආධාරයක් ළඟා නොවුණු ප්‍රදේශ තවමත් පවතින බව අන්තර් ජාතික මාධ්‍ය පෙන්වා දෙයි.

භූමිකම්පා හටගැනීම
ගෝලාකාර පෘථිවියේ බාහිර කබොල්ල වැසී තිබෙන්නේ ප්‍රධාන භූ තල 7 කින් හා කුඩා තල විශාල සංඛ්‍යාවකිනි. මේ භූ තල අපට කිසිදාක ඇසින් දැකගත නොහැකි අතර මහ පොළොවේ එකම තැනක පමණක් එය පෘථිවි තලය මතින් දිවේ. ඒ අයිස්ලන්තය නම් දූපතේ පිහිටි තිංවෙලීර් නම් උද්‍යානයේ දී උතුරු ඇමෙරිකානු හා යුරේෂියානු භූ තලය හා උතුරු ඇමෙරිකානු භූ තලය ඉතා පැහැදිළිව දැක බලාගත හැකි අතර එම භූ තල දෙක අතර ගමන් කිරීමට හා ලැංයොකුල් ග්ලැසියරයෙන් ගලා එන පිරිසිදු ජලයෙන් පිරී ගිය භූතල පරතරය තුළ ඔරු පැදීමට හෝ කිමිදීමට ඉඩ ලැබේ. එය එරට ජනප්‍රිය සංචාරක ආකර්ෂණීය අංගයකි. ඒ මිහිපිට වඩාත් පහසුවෙන් භූ තල දැකගත හැකි ස්ථානයයි. අප කුඩා කල භූගෝල විද්‍යාව හා සමාජ අධ්‍යයනය වැනි විෂයයන්හි දී ඉගෙන ගෙන ඇති පරිදි, පෘථිවි අභ්‍යන්තරය ද්‍රවශීලී ගෝලයකින් සමන්විත වේ. භූතල මේ ද්‍රවය මත පාවෙමින් ඇති අතර නිරතුරුව එකිනෙක හා ගැටෙයි. එකිනෙකට තෙරපෙවයි. පෘථිවියේ අභ්‍යන්තරයේ සිදුවෙන මේ ගැටීම් හා තෙරපීම් පොෙළාව මතුපිටට දැනෙන්නේ භූ කම්පන හා සුනාමි ලෙසිනි. ඉන් නිකුත් කෙරෙන ශක්තිය ඉතා ප්‍රබලය. පරමාණු බෝම්බ සිය ගණනක පිපිරිමකින් නිකුත්වෙන ශක්තිය ඉක්මවයි. උදාහරණ ලෙස, මියැන්මාර භූ කම්පනය පරමාණුක බෝම්බ 334 ක පිපිරීමකට සමානය. අප ජීවත්වෙන ආසියානු කලාපයට වැඩිපුර හානි සිදුකරන්නේ යුරේෂියානු භු තලය ඉන්දියානු භූ තලය හා ඔස්ට්‍රේලියානු භූ තලය යන භූතල ආශ්‍රීතව සිදුවෙන ගැටීම් තෙරපීම් නිසාය. මේ භූ තල මායිම ඉන්දුනිසියාව, මියැන්මාරය, නේපාලය, හිමාල කඳුවැටිය හා පාකිස්ථාන ඇෆ්ගනිස්ථාන කලාපය ඔස්සේ ඉරානය දෙසට විහිදී යයි. ඉන්දුනිසියාව ආශ්‍රිත කලාපයේ දී ඉන්දු, යුරේෂියානු හා ඔස්ට්‍රේලියානු භූ තල එකිනෙක හමුවීම ඉතා බිහිසුණු භූ කම්පන හා සුනාමි අනතුරු සඳහා මග පාදයි. ඉන්දු භූ තලයේ මැද සිටීම නිසා ප්‍රබල භූමි කම්පාවලින් ආරක්ෂිත වුවද සුනාමි අනතුරු වලින් වරින් වර අප බැට කා ඇත්තේ මේ භූතල පිහිටීම නිසාය. කැලණිතිස්ස යුගයේ සිට 2004 සුනාමිය දක්වා වූ අතරතුරු ශ්‍රී ලංකාවට ද ව්‍යසන ගෙන දී තිබේ.
මියැන්මාරය භූමි කම්පා තෝතැන්නක්
මියැන්මාරය හෙවත් පැරණි බුරුමය මුහුණ දෙන ස්වාභාවික ව්‍යසන අතරින් භූමිකම්පා මුල්තැනක් ගනී. එය එසේ වෙන්නේ මියැන්මාරය ඉන්දු - යුරේෂියානු භූ තලයේ නැම්මක, එනම් වැඩි ක්‍රියාකාරිත්වයක් සහිත ස්ථානයක පිහිටා තිබීම නිසාය. ඉතිහාසය සලකා බලන කල, මියැන්මාරයට භූමිකම්පා අමුත්තක් නොවේ. එය ඉතිහාසයේ වරින් වර සිදුව තිබේ. එහෙත් මෙවර, එනම් මාර්තු 28 වෙනිදා මණ්ඩලේ ප්‍රදේශයේ සිදුවූ භූමිකම්පාව තරම් ප්‍රබල භූකම්පනයක් මෑත ඉතිහාසයේ වාර්තා වී නැත. මෙවර භූමි කම්පාවේ ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ 7.7ක් ලෙස සටහන් වී තිබිණ. එවැනි ප්‍රබලත්වයක් සහිත භූමි කම්පාවක් අවසන් වරට වාර්තා වූයේ 2009 වසරේ දීය. ඒත් ප්‍රධාන භූමියේ නොව කොකෝ දුපත් ආශ්‍රිත කලාපයෙනි. මෙවර භූමිකම්පාව සිදුවූ කේන්ද්‍රයට ආසන්න මණ්ඩලේ නගරය අවසන් වරට ප්‍රබල භූමි කම්පාවකට ගොදුරු වී ඇත්තේ 1975 වසරේදීය. ඉතිහාස වාර්තා අනුව, මණ්ඩලේ ප්‍රදේශය පස් වතාවක් පමණ ප්‍රබල භූමි කම්පාවල ගොදුරක් වී තිබේ. එහෙත් දරුණුතම විනාශය සිදුව ඇත්තේ මෙවරය. මින් පෙර සිදුවූ භූමිකම්පාවල හානිය මෙවර භූමි කම්පාවට සාපේක්ෂව අඩු අගයක පවතී. එහෙත් ඕනෑම මොහොතක මියැන්මාරය මීටත් වඩා ප්‍රබල භූමි කම්පාවකට ගොදුරු වීමේ අවදානම කිසි විටෙකත් බැහැර කළ නොහැක. විද්‍යාඥයන් පෙන්වා දෙන ආකාරයට, මියැන්මාරය පමණක් නොව ආසියානු කලාපීය භූ තල

මේ අනුව බලන කල, දේශපාලන අර්බුදයකින් බරපතළ ලෙස පීඩා විඳින මියැන්මාරය ගිනි ගොඩක පවතින රාජ්‍යයකි. ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇත්නාක් බදු ආකාරයෙන් මියැන්මාරය කිසිසේත් අපේක්ෂා නොකළ ආකාරයෙන් ඉතා බිහිසුණු ස්වාභාවික ව්‍යසන ගොන්නකට ද ගොදුරු වෙන අතර ඉන් ප්‍රමුඛත්වයක් ගන්නේ භූමි කම්පාවන්ය. භූමි කම්පා හා ගිනි කඳු බහුල ඉන්දුනිසියාව, ගිනි වළල්ල යන අන්වර්ථ නාමයෙන් හැඳින්වේ. මියැන්මාරය ද එහි දිගුවකි.
ඉකුත් සතියේ මියැන්මාරයේ සිදුවූ භූමිකම්පාවේ විනාශය ඉතා බිහිසුණුය. එය සමාන වෙන්නේ 2023 තුර්කියේ හා සිරියාවේ සිදුවූ මහා භූමිකම්පාවටයි. එම භූ චලනය රිච්ටර් මාපකයේ අංශක7.8ක් ලෙස සටහන් වූ අතර ඉන් විනාශ වූ ප්‍රදේශයේ විශාලත්වය ජර්මනියට සමානය. සංඛ්‍යාත්මකව ගතහොත් එය වර්ග කිලෝමීටර් 350000 කට වැඩි අගයකි. 2023 තුර්කි භූමි කම්පාව නිසා මියගිය සංඛ්‍යාව 56000 කට අධිකය. මෙවර මියැන්මාර භූමිකම්පාවේ මියගිය සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතී. ඒ නිසා මියැන්මාර මරණ සංඛ්‍යාව ද ඇතැම් විට තුර්කි භූමි කම්පාවට ආසන්න විය හැක.
තවත් විශේෂ ලක්ෂණයක් වෙන්නේ, තුර්කි සිරියා කලාපයේ මෙන්ම මණ්ඩලේ කලාපය ආශ්‍රිතව සිදුවු අති මහත් විනාශයයි. ගොඩනැගිලි හා විශේෂයෙන් බෞද්ධ විහාරස්ථානය ආශ්‍රීතව සිදුවූ විනාශය ඉන් මුල්තැනක් ගනී. චෛත්‍ය කඩා වැටී පෙති පිළිම විනාශ වී පන්සල් වැනසී ඇති ආකාරය ලොව පුරා බොදුනුවන්ගේ සිත් සතන් කම්පා කිරීමට මුල් වූ තත්ත්වයකි. මේ නිසා ලෝකය පුරා බොදු ජනතාව හා මහා සංඝරත්නය මියැන්මාර වැසියන්ට පිහිට වීමට පෙළ ගැසෙමින් පවතී. එහෙත් ගැටලුව වෙන්නේ, මියැන්මාරයේ ක්‍රියාත්මක හමුදා ආණ්ඩුවේ ක්‍රියා කලාපයයි. වර්තමාන හමුදා ආණ්ඩුව මියැන්මාරයේ පාලන බලය පැහැරගත්තේ 2021 පෙබරවාරි 1 වෙනිදා සිදු කෙරුණු හමුදා කුමන්ත්‍රණයෙනි. එවකට පැවති අවුං සාං සුකිගේ මගපෙන්වීමෙන් යුත් රජය බලයෙන් පහ කිරීමටත්, සුකි ඇතුළු ප්‍රජාන්තත්‍රවාදී ක්‍රියාකාරින් සිරගත කිරීමටත්. දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීමටත් , ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිදු කෙරුණු ජනතා උද්ඝෝෂණ ඉතා දැඩි ලෙස මර්දනය කිරීමටත් වත්මන් හමුදා ආණ්ඩුව ක්‍රියාකොට ඇති අතර අන්තර්ජාතික මාධ්‍ය පෙන්වා දෙන ආකාරයට එරට පවතින්නේ ඉතා දැඩි අයෝමය පාලනයකි. මේ වනවිට අන්තර්ජාතික සහන සේවා කණ්ඩායම්වලට පවා මියැන්මාරයට පැමිණීමට හමුදා ආණ්ඩුව ඉඩ සලසා ඇත්තේ ඉතා අල්ප වශයෙන් බව සහන සේවා ආයතන පෙන්වා දෙයි. මේ නිසා හමුදා පාලනයක් යටතේ දැඩි සීමාවලට යටත්ව ජීවත්වෙන ජනතාව භූමි කම්පාවකින්ද බැට කෑම ගහෙන් වැටුනු මිනිහාට ගොනා ඇන්නා වැනි යැයි අප ජනවහරේ පවතින ප්‍රස්තාව පිරුළ සිහිපත් කරයි.
මෙහි වඩාත්ම බරපතළ මානුෂීය ඛේදවාචකය වෙන්නේ, දිවි බේරා ගත් ජනතාවට තම දිවි රැක ගැනීමට අවශ්‍ය තත්ත්වයන් මෙතෙක් නිසි පරිදි සම්පාදනය නොවීමයි. නිසි පරිදි ආහාර ආධාර නොලැබෙන හා රැකවරණයක් නොමැති ජනතාව තවත් බොහෝ සේ බොහෝ ප්‍රදේශවල සිටින බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

තායිලන්තය සෙලවීම
මියැන්මාරයේ සිදුවූ භූමිකම්පාව ගැන ජනතාවට දැන ගැනීමට පෙර, එහි හානිය ගැන දැනුවත් වීමට පෙර ලෝක වාසීන්ගේ අවධානය යොමු වූයේ තායිලන්තය දෙසටයි. ඒ මන්ද යත්, මණ්ඩලේ නගරයේ සිට කිලෝමීටර් 1028ක් දුරින් පිහිටි තායිලන්තයේ අගනුවර වන බැංකොක් නගරය ද ඉතා දරුණු ලෙස සෙලවීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස, ඉදිකෙරෙමින් පැවති ගොඩනැගිල්ලක් කඩා වැටි 80කට අධික පිරිසක් ඒ තුළ කොටුවීමයි. 7-8 දෙනෙකු බේරාගනු ලැබීම හැරුණු කොට ඉන් සිදුවූ ප්‍රතිලාභයක් නොමැත. ඒ මන්ද යත්, ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම පස් ගොඩක ආකාරයට කඩා වැටි තිබිමයි. ඒ තුළ ඉතිරි 76 දෙනා සිරවී සිටීමක් ගැන පවා අපේක්ෂා කිරීමට අපහසු බව සහන සේවකයෝ පවසති. කෙසේ වෙතත්, එම සේවකයන් බේරා ගැනීම හා ඔවුනට ප්‍රවිශ්ටයක් ලබාගැනීම ඉතා දුෂ්කර වී ඇති වාතාවරණයක් නිර්මාණය වී තිබීම නිසයි. කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර බහුල වශයෙන් කොන්ක්‍රිටි කම්බි දැල් වශයෙන් එක්රැස් වී පැවතීම හා සුන්බුන් ඉතා හානිදායක ලෙස සහන සේවකයන් අනතුරෙහි හෙළන ආකාරයෙන් පිහිටාතිබීම තවත් සාධකයකි.
තායිලන්තයේ බැංකොක් නගරය මෙතරම් බිහිසුණු අවදානමකට ලක්වුයේ ඇයි? භූ විද්‍යාඥයන් පෙන්වා දෙන ආකාරයට, බැංකොක් නගරයේ පවතින්නේ ඉතා ඉක්මනින් වෙනස් වෙන හා භූමිකම්පාවක් අවස්ථාවේ පස දියරයක් ලෙස ක්‍රියාකරන තත්ත්වයක් මතයි. ඒ නිසා භූමි කම්පාව කිලෝමීටර් 1000කට වැඩි දුරකින් සිදුවු ද බැංකොක් නගරය අනාරක්ෂිත වෙයි. ඒ පස මුහුදු රැල්ලක් මෙන් චලනය වීම ගැන විද්‍යාඥයෝ අනතුරු අගවති. මේ නිසා බැංකොක් හි ගොඩනැගිලිවල සුරක්ෂිත බව රැකීම ගැන විශේෂ අවධානයක් යොමුව තිබේ. මණ්ඩලේ නගරය ආශ්‍රීතව භූමි කම්පාව හටගත් ඉකුත් සතියේ සිට මේ දක්වා ආසියා ශාන්තිකර කලාපයේ භූ චලන ගණනාවක් වාර්තා වීමයි. ටොංගා දුපත්, නේපාලය, පාකිස්ථානය ආදි රටවලින් එක පෙළට භූමි කම්පා සිදුවීම ඊට ප්‍රධාන හේතුවක් ලෙස පෙන්වා දිය හැක. භූ තලයේ අස්ථාවර බව නිසා එය එම සංසිද්ධිය තවත් බොහෝ රටවලට අඩු වැඩි වශයෙන් බලපෑමේ තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
ප්‍රසාද් කෞශල්‍ය දොඩන්ගොඩගේ