ගෝලීය මාධ්‍ය කෙටි කාලයකට මඳක් අමතක කර තිබූ ගාසා තීරය ගැන දැන් යළි කතා බහ කිරීම අරඹා තිබේ. එය මෙතෙක් අප දුටු පරිදි සාමාන්‍ය ප්‍රවෘත්තිමය කතා බහක් නොවේ. මෙතෙක් කළ ගාසා ගැන බොහෝ මාධ්‍ය කතා කළේ - ඊශ්‍රායල් යුද මෙහෙයුම් ක්‍රියාත්මක වීම, ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම, රෝහල් වලට පහර එල්ල වීම, සාමාන්‍ය වැසියන් මියයාම, ආධාර සැපයීම, අන්තර්ජාතික බලපෑම් ආදි මාතෘකා පිළිබදවයි.
එහෙත් මේ වනවිට ගාසා පිළිබඳ ගෝලීය අවධානය යොමු වනුයේ, අන්තර්ජාතික ප්‍රජාවට මෙතෙක් සිටියාක් මෙන් ඇහැ කණ පියාගෙන සිටිය නොහැකි සමස්ත ලෝකයම බියගන්වනසුලු මාතෘකාවකි. ගාසා තීරයේ 14000ක් දරුවන් ආහාර නොමැතිව මියයාමේ අවදානමක සිටින බව එක්සත් ජාතීන්ගේ සහන සේවා ආයතන ඉකුත් සතියේ නිවේදනය කළේය. මෙය සදාචාර සම්පන්න ලෝකයකට තවත් නිහඬව බලා සිටිය හැකි තත්ත්වයක්ද? කිසිදු තත්ත්වයක් යටතේ මෙය අනුමත කළ හැකි දෙයක්ද? ඒ අතරවාරයේ අන්තර්ජාතික මාධ්‍ය ගාසාහි මන්දපෝෂණයට ගොදුරු වූ දරුවන්ගේ වීඩියෝ දසුන් හා ඡායාරූප ලෝකය හමුවේ විදහා දක්වන්නට විය. මෙතෙක් නිදා සිටි ලෝකය විශේෂයෙන්ම නිදි වැද සිටි බටහිර ප්‍රජාව ගාසා ගැන හිටි අඩියේ අවදිවූවාක් මෙන් කතා බහ කිරිමට පටන් ගත්හ. එහෙත් බටහිර ප්‍රජාවේ ප්‍රබලයන් නොවේ. බලවතුන් ගෙන් කිහිප දෙනෙකු පමණි.
හිමිකම් අහිමි දරුවන්
“හොඳම දේ දරුවන්ටයි” යන්න අප සමාජයේ විවිධ ළමා සුබසාධන වැඩසටහන් සඳහා බහුලව යොදා ගන්නා පාඨයකි. යුද්ධයකදී කුමන පාර්ශ්වයක් අතින් හෝ ළමයින් මිය යාම බරපතළ යුද අපරාධයකි. යුද්ධය සඳහා ළමා සොල්දාදුවන් යොදවා ගැනීම අපරාධයකි. එල්.ටී.ටී.ඊ සංවිධානය අන්තර්ජාතික තහනමට ලක්වෙද් දී ඊට බලපෑ එක් මුලික සාධකයක් වන්නේ ළමා සොල්දාදුවන් බඳවා ගැනිම පිළිබඳ ප්‍රශ්නයයි. යුද්ධය සමයේ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ඔලාරා ඔටුනු, ශ්‍රී ලංකාවට පැමිණ මේ ගැන අවධානය යොමු කළ ආකාරය අපගේ මතකයේ පවතී. ලොව පුරා ළමුන් පිළිබඳ කටයුතු කරන අන්තර්ජාතික ආයතන රැසක් පවතී. යුනිසෙෆ්, ළමා අයිතවාසිකම් පිළිබඳ අන්තර්ජාතික ජාලය, රයිට් ටූ ප්ලේ, ළමා ආරක්ෂාව පිළිබඳ අන්තර්ජාතික සංවිධානය, වී චැරිටි, වීථි දරුවන් පිළිබඳ අන්තර්ජාතික සංවිධානය ආදි සංවිධාන ඒ අතරින් මුල් තැනක් ගනී. එවැනි සංවිධාන කොතෙක් තිබුණත් ගාසා හි දරුවන් ආරක්ෂා කරගැනිමට නොහැකි වීම ඛේදනීය තත්ත්වයකි.
අද වනවිට මේ සංවිධාන බොහොමයකට සිදුව ඇත්තේ නිවේදන නිකුත් කරමින් බලා සිටීමටයි. ගාසාහි දරුවන් දිගින් දිගටම ආහාර නොමැතිව කෘශ වෙමින් ජිවිත තර්ජනයට ලක්ව සිටිම වැළැක්වීම තබා ඊශ්‍රායල් තහංචිවලට එරෙහිව යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට පවා එම සංවිධාන අසමත් වී ඇත. ගාසාහි ළමා ජනගහනය 1060000 ඉක්මවයි. එය සමස්ත ගාසා ජනගහනය වන මිලියන 1.7න් සියයට47 කි. ගාසා යනු ලොව ජනගහන ඝනත්වය අධිකතම කලාප වලින් එකකි. ගාසා හි විශාලත්වය වර්ග කිලෝමිටර 45ක් තරම් අඩු ප්‍රමාණයකි. එහි දිග කිලෝමිටර 41ක් වන අතර පළල කිලෝමිටර 12ක් පමණ වේ. මේ බිම්කඩ තුළ 17ලක්ෂයකට අධික ජනකායක් කොටුවී සිටිති. ඊශ්‍රායලයේ පළමු යුද ක්‍රියාන්විතයෙන්ම ගාසා තිරයේ යටිතල පහසුකම් විනාශ විය. නිවාස, පොදු ගොඩනැගිලි, පාසල්, දේවස්ථාන හා රෝහල් පවා ඊශ්‍රායල් යුද මෙහෙයුමේ ඉලක්ක බවට පත්විය. ඊශ්‍රායලය ගාසා තිරයට පහරදීම සඳහා යොදාගත් ප්‍රධාන මාධ්‍යය වූයේ ගුවනින් බෝම්බ හෙලීමයි. මේ සඳහා ඊශ්‍රායලය සතු නවීනතම අමෙරිකානු ප්‍රහාරක යානා යොදාගනු දක්නට ලැබිණ. එහිදී ඊශ්‍රායලය ප්‍රබල පිපිරීම් අගයකින් යුත් බංකර් බස්ටර් බෝම්බ භාවිත කළේ තට්ටු ගොඩනැගිලි කඩා දැමීමටයි. එම නිසා වඩාත් හානියට පත්වුයේ ජීවිතාරක්ෂාව පතා පළාගිය පලස්තීන ජනතාවගේ - එනම් ගාසා වැසියන්ගේ නිවාස විනාශ වීමයි. ඊශ්‍රායලයේ අනතුරු ඇඟවීම් මත ගාසා වැසියෝ මේ වර්ග කිලෝමිටර 45 තුළ අවස්ථා ගණනාවක දී එහා මෙහා ගියේ ඊශ්‍රායලයේ යුද නිවේදනවලට අවනත වෙමිනි. වරෙක උතුරු ගාසා ඛාන් යුනිස් ප්‍රදේශයේ ජීවත් වූ ජනතාව සිය සබ්බ සකළ මනාවම පොදි බැඳගෙන ගාසාහි ඊජිප්තු දේශසීමාව අසළ පිහිටි මුර කපොල්ල වන රෆා දෙසට ගමන් කළහ. මෙහෙයුම් කලාපයෙන් ඉවත් වුණත් නැතත් ඊශ්‍රායලය ප්‍රහාර දියත් කළේය. ඇතැම් විට ඉවත්විමට පමා වූ ජනතාව ඊශ්‍රායල් බෝම්බවලට ගොදුරු වූහ. ගාසා වැසියන් ශීඝ්‍ර වශයෙන් මිය යාමට මූලික හේතුව එයයි.
ගාසා හි ජනයා 53000 කට අධික ප්‍රමාණයක් මේ වනවිට ඊශ්‍රායල් ප්‍රහාර හමුවේ දිවි දී අවසන්ය. පලස්තීන ජනගහන හා සංඛ්‍යාලේඛන බියුරෝවේ ගණන් බැලීම අනුව යුද්ධය ආරම්භ වීමෙන් පසු ගාසා ජනගහනය සියයට 6කින් පහත වැටී තිබේ. ගාසාහි ජනගහන අනුපාතිකය යුද්ධයට පෙර ඉහළ මට්ටමක පැවතිණ. කාන්තාවකගේ දරුවන් ලැබීමේ අගය 6ක් ලෙස සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.
ගාසාහි ජනයා 53000 කට අධික ප්‍රමාණයක් මේ වනවිට ඊශ්‍රායල් ප්‍රහාර හමුවේ දිවි දී අවසන්ය. පලස්තීන ජනගහන හා සංඛ්‍යාලේඛන බියුරෝවේ ගණන් බැලීම අනුව යුද්ධය ආරම්භ වීමෙන් පසු ගාසා ජනගහනය සියයට 6කින් පහත වැටී තිබේ. ගාසාහි ජනගහන අනුපාතිකය යුද්ධයට පෙර ඉහළ මට්ටමක පැවතිණ. කාන්තාවකගේ දරුවන් ලැබිමේ අගය 6ක් ලෙස සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. එහෙත් යුද්ධය ආරම්භ වීමෙන් පසු ගාසාහි දරුවන් ලැබිමේ අගය 3.38 දක්වා අඩුවී තිබේ. සෑම අතින්ම පැහැදිළි වන පරිදි ගාසා යනු මේ වනවිට ඉතා බරපතළ ලෙස සාමාන්‍ය වැසියන්ගේ ජීවිත අවදානමේ හෙළන කලාපයක් බවට පත්ව ඇත. ගාසාහි මියගිය සාමාන්‍ය වැසියන් 53000න් 60෴ ක් පමණ කාන්තාවන් හා ළමයින් බව අන්තර්ජාතික වාර්තා පෙන්වා දෙයි. මියගොස් ඇති දරුවන් සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස සියයට30 ඉක්වමයි. මෙය ඉතා කණගාටුදායක තත්ත්වයකි. සිවිල් ජනගහනයක මරණ වලින් 1/3ක් දරුවන් වීම හා එම මරණ යුද්ධය නිසා හුදෙක් සිදුවීම යන කාරණා සැලකිල්ලට ගත් කළ කිසිදු මානුෂීය නීතියකට යටත් නැතිව මෙවැනි සමුහ මිනිස් ඝාතන සිදුවීම බෙහෙවින් ප්‍රශ්නකාරීය. මා මුළින් සඳහන් කළ මානව හිමිකම් ආයතන නිවේදන වලට පමණක් සීමා වී තිබේ.
ඊශ්‍රායල් යුද උපාය
ඊශ්‍රායලය මෙතරම් බිහිසුණු යුද බලයක් ගාසා වෙත මුදාහැර ඇත්තේ ඇයි? මෙවැනි දරුණු යුද ක්‍රියාන්විතයක අරමුණ කුමක්ද? සතුරා මේ වනවිට බලවත් නැත. සතුරාගේ නායකත්වය සම්පූර්ණයෙන් වැනසීමට ඊශ්‍රායලය සමත් වී ඇත. හමාස් සටන්කරුවන්ගේ ප්‍රහාරක හැකියාවද බෙහෙවින් අඩු වු බවක් පෙන්නුම් කරයි. ඔවුන් සැපයුම් ලබාගත්තේ මූලික වශයෙන් සිය ප්‍රධාන අන්තර්ජාතික මෙහෙයුම්කරු වන ඉරානයෙනි. ඉරාන සැපයුම් මේ වනවිට බොහෝ දුරට නතර වී ඇත. ඉරානය ඉතා බරපතළ ලෙස බටහිර යුද යාන්ත්‍රණයේ බලපෑමට ලක්ව තිබේ. ඊශ්‍රායලය සමග පසුගිය වසරේ අප්‍රේල් මැයි කාලසීමාවේ මිසයිල හුවමාරු කර ගැනීමේ සිද්ධියෙන් පසු ඉරානය මේ වනවිට අනුගමනය කරන්නේ තරමක් නිහඬ පිළිවෙතකි. ඒ අතරම ට්‍රම්ප් පාලනය ඉරානය සමගද සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂා කරන්නේ දිගු කාලීනව එනම් 1990 දශකයේ සිට මේ දක්වා නොවිසඳී පවතින ඉරාන න්‍යෂ්ටික වැඩසටහන අවසන් කිරීමේ අපේක්ෂාවෙනි. මේ නිසා ගාසාහි හමාස් සංවිධානය වෙත ලැබෙන යුද සහය සැලකිය යුතු ලෙස අඩුවී තිබේ. අනෙක් අතට සිරියාවේ ෂියා මුස්ලිම් හිතවාදි අසාද් රජය බිඳ වැටී ඉරාන විරෝධී සුන්නි මුස්ලිම් සටන්කාමී කල්ලියක් වන හයාත් අල් තරීර් කල්ලිය බලය අත්පත් කරගැනීම හා ඒ තුළ මැදපෙරදිග ඉරානයේ තවත් බල කේන්ද්‍රයක් අවසන් වීම තීරණාත්මක සාධකයකි. මීළඟට හමාස් කල්ලියට සහය දක්වන ලෙබනනයේ හිස්බුල්ලා ගරිල්ලා සංවිධානය ඊශ්‍රායලය දකුණු ලෙබනනය ඉලක්ක කරගනිමින් සිදුකළ කෙටි කාලීන ප්‍රහාරක මෙහෙයුම හා බුද්ධි අංශ මෙහෙයුම් මගින් හසන් නස්රල්ලා ඇතුළු හිස්බුල්ලා නායකත්වය විනාශ කිරීම ආදි ක්‍රියාකාරකම් තවදුරටත් හමාස් බල පරාක්‍රමය දුර්වල කරන්නකි. ඊට අමතරව ඊශ්‍රායලයට සහය පිණිස අමෙරිකාව යේමනයේ හුති ගරිල්ලන් ට පහර දීම අරඹා ඇත්තේ අරාබි අර්ධද්වීපයේ දකුණේ ඉරානය ලද බලය තවදුරටත් සීමා කිරිමේ අපේක්ෂාවෙනි. මේ වනවිට ඊශ්‍රායලය ගාසා තීරය වෙත මෙතරම් දැඩි යුද බලයක් යෙදිය යුතුද යන්න ප්‍රශ්නයක් වී ඇත්තේ හමාස් සංවිධානය බරපතළ ලෙස දුර්වල වී ඇති නිසාවෙනි. කෙසේ වෙතත් හමාස් සටන්කාමීන් තවදුරටත් ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවන් රඳවාගෙන සිටීමෙන් පෙනී යන්නේ ඔවුන් තවදුරටත් යුද්ධය සඳහා සූදානම් බවයි. ඒ අතරම සටන් විරාමයක් හා ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරිමේ වැඩසටහනහකට ද ඔවුන් සුදානම් බවක් පෙන්නුම් කරයි. ඊශ්‍රායල වැසියන් බුරුතු පිටින් මියයාම මිස - වර්ග කිලෝමිටර 45ක ගාසා තීරයේ විසිරී සිටින හමාස් සටන්කාමීන්ට මොන තරම් යුද්ධ කළද අපේක්ෂිත තරම් හානියක් සිදුවන්නේද යන්න ප්‍රශ්නයකි. ඒ මන්ද හමාස් සටන්කාමීන් තවදුරටත් ගාසා තිරයේ පාලකයන් ලෙස ක්‍රියාත්මක වීම නිසාය.
හමාස්වරුන් හිතු තරම් හානියට පත් නොවෙද්දි යුද යාන්ත්‍රණයේ පුර්ණ බලපෑම දරා ගැනීමට සාමාන්‍ය වැසියන්ට සිදුව තිබේ. එයද එක්තරා උපායකි. හමාස් කල්ලිය පලස්තීන සටන්කාමී සංවිධානයකි. අමෙරිකාව ඇතුළු රටවල් රැසක් එය ත්‍රස්තවාදී කල්ලියක් ලෙස නම්කර ඇත. ඔවුන් බලවත් ත්‍රස්තවාදී කල්ලියක් බව සනාථ කෙරුණේ 2023ඔක්තෝබර් 7 වෙනිදා ඊශ්‍රායලයට එල්ල කෙරුණු මනා සංවිධානාත්මක ප්‍රහාරය තුළිනි. ඊශ්‍රායලය ඉතිහාසය පුරා විවිධ අවස්ථාවලදී ගාසා තීරය ආක්‍රමණය කර ඇතත් ගාසා තිරයේ පාලකයන් වන හමාස් ත්‍රස්තවාදි කල්ලිය ඊශ්‍රායලය ආක්‍රමණය කළ ප්‍රථම වතාව මෙයයි. එය ඊශ්‍රායල් හමුදාවේ හා බුද්ධි අංශවල මෙන්ම අගමැති බෙන්ජමින් නෙතන්යාහු ගේ පාලනයේද ඇස් ඇරවීමට හේතු වූ තත්ත්වයකි. ඊශ්‍රායල් වැසියන් 1200කට අධික පිරිසක් ඉතිහාසයේ මුල් වරට ඊශ්‍රායලය තුළදීම ඝාතනය කිරිම, ඊශ්‍රායලය ගුවනින් ආක්‍රමණය කිරිමට ග්ලයිඩර් යානා වැනි අඩු තාක්ෂණික එහෙත් ඵලදායක උපකරණ යොදා ගැනීම, හමාස් කටන්කරුවන් ඊශ්‍රායල් හමුදාවට හසු නොවීම, කිසිම සූදානමක් නැතිව යොම් කිපුර් නම් සංස්කෘතික උත්සවය නිසා විවේකී මානසිකත්වයෙන් පසුවු සෙබළුන් සහිත කඳවුරු වලට ක්ෂණික ප්‍රහාරයක් දී ඒවා අත්පත් කරගැනිම හා ඒවායේ සිටි සෙබළියන් ප්‍රාණ ඇපකරුවන් ලෙස ඊශ්‍රායලයෙන් ගාසා තීරය වෙත රැගෙන යාම, යුදෙව් ජාතික දරුවන්, කාන්තාවන් හා වැඩිමහල්ලන් ආදී කිසිදු බේදයකින් තොරව ප්‍රාණ ඇපකරුවන් ලෙස යුදවේ ජාතිකයන් 240කට අධික සංඛ්‍යාවක් ගාසා තිරයට ගෙන ගොස් හමාස් උමං පද්ධති වල සැඟවීම හා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමේ පරික්ෂණ වාර්තා පෙන්වා දෙන ආකාරයට ස්ත්‍රී දූෂණය අවියක් ලෙස යොදා ගනිමින් කෙටි කලක් තුළ යුදෙච් කාන්තාවක් රැසක් දූෂණය හා ලිංගික අඩන්ට්ටම් වලට ලක්කිරීම හා ඉන් ඇතමුන් කෲර ලෙස ඝාතනය ආදි ඉතා බිහිසුණු යුද ක්‍රියාමාර්ග අනුගමනය කිරීමක් දක්නට ලැබිණ.
ඔක්තෝබර් 7 ප්‍රහාරය හමාස් සංවිධානය ප්‍රහාරාත්මක ශක්තියේ නව මානයකට ගෙන ගිය අතර කපටි යුද නායකයෙකු වූ යහියා ෂින්වාර් එම මෙහෙයුමේ මහ මොළකරු විය. එහිදී හමාස් කල්ලිය අපේක්ෂා කළ තත්ත්වයන් ලෙස සැලකිය හැක්කේ ඊශ්‍රායලය අගමැති නෙතන්යාහු නිසා දේශපාලනික අර්බුදයක තිබිම හේතුවෙන් දැඩි ප්‍රතිචාරයක් බලාපොරොත්තු නොවීම, යුදෙව් ප්‍රාණ ඇපකරුවන් තමන් සතුව සිටින නිසා ඊශ්‍රායල් ප්‍රහාරයකින් ආරක්ෂාවීමට හැකි යැයි අනුමාන කිරීම හා ඊශ්‍රායල් ප්‍රහාරයකදී හමාස් සටන්කරුවන් සැඟවුණු විට පලස්තීන සාමාන්‍ය වැසියන් ඉලක්ක බවට පත්විම නිසා ඇතිවන අන්තර්ජාතික විරෝධය තුළ ඊශ්‍රායලය හිර කිරීම වැනි උපාය මාර්ගයන් විය හැක.
එහෙත් ඒ සියල්ල වෙනස් වුයේ ඊශ්‍රායලය අතිශය දරුණු හා ප්‍රබල යුද බලයක් හමාස් සංවිධානයට මෙන්ම සමස්ත ගාසා වැසියන් වෙතද මුදාහැරිමෙනි. එහිදී සාමාන්‍ය වැසියන් මියයාම ගැන ඊශ්‍රායලය කිසිදු කණස්සල්ලක් පෙන්නුම් නොකළේය. විවිධ රටවල් හඬ පමණක් නැගුවද( ක්‍රියාවකින් තොරව) ඊශ්‍රායලයට එය වගේ වගක් නැත. ඊශ්‍රායලය හමාස්වරුන්ට එරෙහිව යුද වදින බව පෙන්වමින් සමස්ත ගාසා තීරය සමතලා කිරිමට පටන් ගත්තේය. එහි අරමුණ ඉතා පැහැදිළිය. හමාස්වරු සමග බද්ධව සිටි පලස්තීන සාමාන්‍ය ජනගහනය ඉවත් කිරීමයි. අද වනවිට පලස්තීන වැසියන්ට ගාසාහි ජිවත්වීම දුෂ්කර වි තිබේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගාසා වැසියන් ගැන අනුකම්පාවක් පෙන්වමින් කියා සිටියේ පහසුකම් නැති ගාසා තීරය අතහැර ඔවුන් සරණාගයන් ලෙස ඊජිප්තුවේ හා ජෝර්දානයේ පදිංචි විය යුතු බවයි. එම යෝජනාව ඊජිප්තුව හෝ ජෝර්දානය මෙතෙක් පිළිගෙන නැත. ඒ වෙනුවට ගාසා තීරයේ ඊශ්‍රායල් යුද මෙහෙයුම් අවසන් කිරිමේ අවශ්‍යතාව එම රටවල් විසින් පෙන්වා දී ඇත.
හමාස් කල්ලිය අපේක්ෂා කළ තත්ත්වයන් ලෙස සැලකිය හැක්කේ ඊශ්‍රායලය අගමැති නෙතන්යාහු නිසා දේශපාලනික අර්බුදයක තිබිම හේතුවෙන් දැඩි ප්‍රතිචාරයක් බලාපොරොත්තු නොවීම, යුදෙව් ප්‍රාණ ඇපකරුවන් තමන් සතුව සිටින නිසා ඊශ්‍රායල් ප්‍රහාරයකින් ආරක්ෂාවීමට හැකි යැයි අනුමාන කිරීම හා ඊශ්‍රායල් ප්‍රහාරයකදී හමාස් සටන්කරුවන් සැඟවුණු විට පලස්තීන සාමාන්‍ය වැසියන් ඉලක්ක බවට පත්විම නිසා ඇතිවන අන්තර්ජාතික විරෝධය තුළ ඊශ්‍රායලය හිර කිරීම වැනි උපාය මාර්ගය විය හැක.
ආහාර නැති කිරිම
ඊශ්‍රායල් දරුණුම යුද උපාය වූයේ ගාසා වැසියන්ට ආහාර නැති කිරිමයි. ආහාර ජලය හා සෙසු අත්‍යව්‍යශ ද්‍රව්‍ය ගාසා වැසියන් ලබාගත්තේ ඊජිප්තුවෙනි. යුද්ධයට පෙර ඊජිප්තුවේ සිට ගාසාහි රෆා දේශසීමාව හරහා පැමිණි ට්‍රක් රථ 600ක් මගින් ගාසාහි අවශ්‍යතා සම්පුර්ණ කෙරිණ. එහෙත් මාර්තු මස 2නිදා සිට ඊශ්‍රායලය එම සියලු සැපයුම් නවතා දැමුවේ ගාසාහි ආහාර ඇති බව හා හමාස් සංවිධානය සැපයුම් පැහැරගන්නා බව සඳහන් කරමිනි. හමාස් වරුන් මාධ්‍ය හමුවට පැමිණි අවස්ථාවල පෙනී ගියේ ගාසා වැසියන්ට ආහාර හිඟයක් ඇතත් ඔවුනට කිසිදු හිඟයක් නැති බවකි. කෘශ වූ ගාසා වැසියන් වෙනුවට හමාස් කල්ලි සාමාජිකයන් තුළින් ලෝකය දුටුවේ කඳ බඩ ආරා ගිය නැඩ පුරුෂයන් රොත්තකි. ඒ කුමක් වුවත් ගාසා වැසියන්ට ආහාර නවතා දැමීම කිසිසේත් ලෝක නීතිය අනුව අනුමත කළ නොහැක්කකි. බඩගින්නේ මියයන ජිවිතවල වගකීම ගන්නේ ඊශ්‍රායලයද එසේත් නැත්නම් කරන්නට බැරි යුද්ධයක් කරපින්නා ගත් හමාස් කල්ලියද? දැනට පෙනී යන්නේ මේ දෙපාර්ශ්වයම පලස්තීන ජනතාවගේ ජිවිත උගසට තබා සූදු කෙළින බවයි. පලස්තින ජනයා ඊශ්‍රායල් හා හමාස් පාර්ශ්ව අතර පන්දුවක් බවට පත්ව ඇත. මේ ඓතිහාසික අසාධාරණය නැවැත්වීමට සැබෑ අන්තර්ජාතික මැදිහත්විමක් අවශ්‍ය වේ. එහෙත් මේ දක්වා එවැනි සාධනීය ක්‍රියාමාර්ගයක් දක්නට නොවීම කණගාටුවට කරුණකි.
ප්‍රසාද් කෞශල්‍ය
දොඩන්ගොඩගේ