ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඉකුත් සිකුරාදා (අප්‍රියෙල් 04) තෙදින නිල සංචාරයක් සඳහා පැමිණියේය. ඔහුගේ නිල කාලය තුළ මෙරටට පැමිණි හතරවැනි වතාව මෙයයි. දෙරට අතර සබඳතා දියුණු කරන අතර විදුලිය හා ඛනිජ තෙල් යන ක්ෂේත්‍ර දෙක යා කෙරෙන අවබෝධතා හා අලුත් ගිවිසුම් පහක් අත්සන් කෙරේ. ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කරන ඉන්දියාව “තම අසල්වැසියා ප්‍රථමයෙන් ” ප්‍රතිපත්තියට අනුව තීරණ ගනිමින් සිටී.
මෙම සියවස ඉන්දියාව අණසක පතුරවන මොහොතක් බවට පත් කරගෙන තිබේ. විශාල ජනගහනය, දැවැන්ත ආර්ථිකය, විශාලතම ආහාර නිෂ්පාදකයා සහ විද්‍යාව හා තාක්ෂණයේ දියුණුව එහි ලා සාක්ෂි වශයෙන් ඉදිරිපත් කළ හැක. ලෝකය පුරා විහිදී ඇති ඉන්දීය සම්භවයක් ඇති පිරිස ඉන්දියාවේ ශක්තිය විදහා දක්වන තවත් අංශයකි. තොරතුරු තාක්ෂණික අංශයේ ප්‍රධානීන් අතර ඉන්දියානුවන් සිටින අතර ලෝකයේ රටවල් ගණනාවක දේශපාලන හා රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රවල ඉහළම තැන්වල ඉන්දියානු සම්භවය සලකුණු කොට තිබේ.
සෙංකෝලය වෙනුවට සෙංගෝලය පාර්ලිමේන්තුවට
නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා ඔහුට අනන්‍ය ශෛලියකට අනුව ඉන්දියාවේ අනාගතය ඉලක්ක කරන අතර රාජ්‍ය පාලන කටයුතු ද විශිෂ්ටත්වයට කැඳවා තිබේ. අඛණ්ඩ භාරත් ඔහුගේ දර්ශනය බවට පත් කරගෙන ඇත. අධිරාජ්‍යවාදීන් ගෙන් නිදහස් කරගත් ඉන්දියාව එසේ තිබිය දී පෙරදිග ශිෂ්ටාචාරයේ ඉහළම උරුමය වශයෙන් සැලකෙන “භාරතය” නැවත ගොඩනඟමින් සිටී. එහි දී සංකේත ගණනාවක් උපයෝගී කර ගැනේ. නවදිල්ලියේ අලුතින් ඉදිකරන ලද ඉන්දීය පාර්ලිමේන්තුව එහි ප්‍රධාන සංකේතයකි.
අධිරාජ්‍යවාදීන්ගෙන් පැවැරුණ භූ ලක්ෂණ ඉවත් කරමින් ඉන්දීය පාර්ලිමේන්තුව නිර්මාණය කර තිබේ. සෙංකෝලය පැත්තකට කරන ලද හෙතෙම සෙංගෝලය පාර්ලිමේන්තුවේ බලය විදහා දක්වන උරුමය වශයෙන් ස්ථාපිත කළේය. එය නව වැනි සහ දහ තුන් වැනි සියවස් අතර බලවත්ව තිබුණ චෝල අධිරාජ්‍යයේ රන් කැටයම් කරන ලද යෂ්ටියකි. නිදහස සමග බ්‍රිතාන්‍යය නැවත භාරදුන් කෞතුක භාණ්ඩ අතර තිබුණ යෂ්ටිය සෙංගෝලය ලෙස නම් කරන ලද අතර එය පාර්ලිමේන්තු දිනයේ නිල භාවය වෙනුවෙන් කතානායකවරයා ඉදිරියේ තැබීය. යටත් විජිත මානසිකත්වයෙන් මිදී අලුත් යුගයකට ඇතුළු වන බව ජනතාව හමුවේ තබන්නට අගමැති මෝදි ගත් අනගීභවනීය තීරණයක් වශයෙන් සැලකේ.
මාතෘ භූමිය භාරතය වශයෙන් ගොඩනැඟීම
අලුත් පාර්ලිමේන්තුව විවෘත කරන අතර භාරතය ලෙස ඔහු සිය මාතෘ භූමිය හැඳින්වීය. අගමැතිවරයා ගේ සංකල්පය අඛණ්ඩ භාරත් බව ප්‍රකාශ වී තිබේ. ඇෆ්ගනිස්ථානය, පකිස්තානය, නේපාලය, බංගලාදේශය හා මියන්මාරය යන කලාපයේ රටවල් එකතු වී අනාගතයේ බිහිවිය හැකි නොබෙදුණු ඉන්දියාවක් ගැන ගැඹුරු දාර්ශනික මතයක් ‘අඛණ්ඩ භාරත්‘ මගින් අනාවරණය කරන බව ඉන්දිය විදේශ අමාත්‍යාංශය කියයි.
කලාපයේ බලවතා වන ඉන්දියාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සලයේ නිත්‍ය සාමාජිකත්වය සඳහා ආයාසයක් දරමින් සිටී. අලුත් ව්‍යුහය තුළ ජනගහනයෙන්, ආර්ථික වශයෙන් හා වෙළෙඳපොළ සම්බන්ධයෙන් ඉදිරියෙන් සිටින අතර ආරක්ෂක හැකියාව හා අභ්‍යවකාශ තරණය ඉදිරියේ දක්වන ලද සමත්භාවය සාක්ෂි ලෙස අනියමින් හුවා දක්වයි. ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, රුසියාව හා චීනය පමණක් නිෂේධ බලය සහිතව ක්‍රියා කළ යුතු නැති අතර භාරතය ද එහි අයිතිය උදෙසා ගමනක පසුවේ. 2022-23 වසර තුළ ජී 20 රටවල සභාපතිවරයා වශයෙන් ඉන්දියාව ගෙන ගිය සැලැස්ම ජාත්‍යන්තර ප්‍රජාව මවිත කළේය. ක්ෂේත්‍ර හතළිහක් අලළා ප්‍රාන්ත අටක සමුළු 200ක් පවත්වන ලද අතර එය පිටුපස ‘මෝදි මන්ත්‍රය විය.
කලාපයේ රටවල් අර්බුදයකට පත්වන පසු වහාම ඉදිරිපත්වීම නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා සිය ඉන්දියානු ආකෘතිය වශයෙන් දියුණු කර තිබේ. ඇෆ්ගනිස්ථානයට පිරිනමන ලද ආධාරය ඇමරිකානු ඩොලර් බිලියන තුනකි. 2025 අයවැය මගින් ද තවත් ඉන්දීය රුපියල් කෝටි 100 ක් වෙන් කර ඇත. බංගලාදේශයට ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක් හා මාල දිවයිනට ඇමරිකානු ඩොලර් බිලියන 1.6 ක් ලබා දී තිබේ. ශ්‍රී ලංකාවට ලැබුණ ආධාර ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 4 කි. මෙම මුදල් මෙම සියලු රටවල් දේශපාලනික හා ආර්ථික වශයෙන් බිඳ වැටුණු පසු නැවත නැගී සිටීම සඳහා වහාම පිරිනැමුණ සහන වශයෙන් දැක්විය හැකිය.
දුප්පත් රටක සිට පොහොසත් තැනකට
ඉන්දියාව පසුගිය වසරේ සියයට 6.4 ක වාර්තාගත ආර්ථික දියුණුවක් ළඟා කරගෙන තිබේ. ආර්ථික වර්ධනය උදෙසා වන සැලැස්මේ දී ප්‍රතිසංස්කරණ රජයෙන් වන අතර ඵලදායීව මෙහෙයැවීම පුද්ගලික අංශයට පවරා ඇත. එය වඩාත් ප්‍රතිඵලදායක වී තිබේ. 2015 වසරේ දී මෝදි අගමැතිවරයා බලයට පත්වන විට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2.1 ක පැවැති ඉන්දීය ආර්ථිකය 2023 වන විට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 4.3 ක් බවට පත්ව තිබේ. මෙහි ප්‍රතිලාභ පොදු ජනතාව අතට පත්ව ඇත. දුප්පත් ජන කොටස මිලියන 300ක සිට මිලියන 72 දක්වා අඩු කරගන්නට හේතු වී තිබේ. මැදි ආදායම් ජන කොටස මිලියන 150කින් ඉහළ ගොස් ඇති අතර මිලියන 550 ක මැදි ආදායම් ජනගහනයක් සහිත ඉන්දියාවක් බිහි කර තිබේ.
පසුගිය වසර දහය තුළ කිලෝ මීටර් මිලියන 6.7 ක මහා මාර්ග සංවර්ධනය කර ඇත. 2025 අය වැය අනුව අලුත් දුම්රිය මාර්ග කිලෝ මීටර් 68,000 ක් ඉදි කෙරේ. 2027 වන විට අධිවේගී දුම්රිය 400 ක් අලුතින් යොදවන්නට සූදානම්ය. භාණ්ඩ ප්‍රවාහනය සඳහා වෙනම විදුලිය දුම්රිය මාර්ග ඇති කෙරේ. අලුත් ගුවන් තොටුපොළ සියයක් ඉදිකරන 2022 සැලැස්ම අවසාන අදියරට පැමිණ ඇති අතර එමගින් ඔඩිස්සා, මහාරාෂ්ට්‍ර, අන්ද්‍රා ප්‍රදේශ්, බිහාර්, තෙලංගානා හා බටහිර බෙංගාලය ආවරණය කෙරේ. අභ්‍යන්තර මගී සේවා සඳහා ඇණවුම් කරන ලද අලුත් ගුවන් යානා ගණන හත්සිය පනහකි. එයාර් ඉන්දියා ජාතික ගුවන් සේවය පුද්ගලීකරණය කරන ලද අතර එය ජාත්‍යන්තරය යා කරන්නට සමත්ව ඇත.
ව්‍යාපාර, බැංකු, රක්ෂණ, ගුවන් තොටුපොළ, වරාය, තොරතුරු සන්නිවේදනය ඇතුළු නිෂ්පාදන, සේවා අංශ පුද්ගලික අංශයට කරගෙන යන්නට ඉඩදීම නරේන්ද්‍ර මෝදි අගමැතිවරයාගේ ප්‍රතිපත්තිය වී තිබේ. දැනට අන්තර් ජාතික ඉසුරුමත් සමාගම් 500 ක ලැයිස්තුවෙන් නමයක් ඉන්දීය වෙෙළඳ නාම වේ. ආර්ථික ප්‍රසාරණයක දැවැන්තභාවය මෙයින් දැක්වේ.
රටවල් යා කෙරෙන අලුත් සැලසුම්
ආර්ථික දියුණුව සඳහා රටවල් හා වෙළෙඳපොළ එකතු විය යුතු බව නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා දක්වා තිබේ. පකිස්තානය හැර අනෙක් දකුණු ආසියානු රටවලට නිදහස් වෙෙළඳ ගිවිසුම් යෝජනා කළේය. භාණ්ඩ හුවමාරුව සඳහා රටවලට තෝරාගත් අංශ සඳහා බදු රහිත කළේය. මෙම අදහස පළමුවෙන් ශ්‍රී ලංකාවව ඉදිරියේ තැබීය. දෙවැනුව සේවා ගිවිසුමක් ද හඳුන්වා දුන් බව සිහිපත් කළ යුතුය.
මහා මාර්ග, දුම්රිය මාර්ග, විදුලිය හා ඛනිජ තෙල් නළ මාර්ගයෙන් ප්‍රවාහනය සඳහා දැවැන්ත ආකෘති මෝදි ආණ්ඩුව අසල්වැසි රටවලට යෝජනා කර තිබේ. භූතානය සමග විදුලිය යෝජනා ක්‍රම ඉදිකිරීම හා විදුලිය මිල දී ගැනීම ගැන ගිවිසුමක් ඇත. මෙම ගිවිසුම අත්සන් කරමින් ඉන්දීය ආධාර ඇති පළමු බලාගාරයට මෝදි අගමැතිවරයා 2014 දී මුල්ගල තබා තිබේ. භූතානයේ විදේශ විනිමය ඉපැයීම්වලින් සියයට 64 ක් විදුලිය අපනයයෙනි. මෙම ව්‍යාපෘති ගැන විවිධ මතබේද ඇත. එහෙත් ඉන්දියාව බංගලාදේශයට ද විදුලිය ග්‍රිඩ් සබඳතාව දිගු කොට තිබේ. රටවල් දෙක අතර විදුලිය හුවමාරු වේ. මෙම ග්‍රිඩ් සම්බන්ධතා මැලේසියාව, සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් සහ සිංගප්පූරුව දක්වා විහිදුවන්නට තීරණය වී ඇත. අනෙක් දිසාවකින් ශ්‍රී ලංකාව හා ඉන්දියාව ග්‍රිඩ් සබඳතාව ද එහි අනෙක් අංශයකි. ශ්‍රී ලංකාවේ දැනට නිපදවන විදුලිය ප්‍රමාණය මෙන් හය ගුණයක් උත්පාදනය සඳහා නැගෙනහිර පළාතේ සුළං විදුලිය බලාගාරවලට හැකිවන බව දැක්වේ. මෙම උත්පාදනය දියුණු කළහොත් මෙරට විදුලිය මැද පෙරදිග හෝ සිංගප්පූරුව දක්වා යැවෙන්නට ඉඩ ඇත. එක ඉරක්, එක ලෝකයක්, එක ග්‍රිඩ් සබඳතාවක් යනුවෙන් මෙම සංකල්පය නම් කර තිබේ.
ඛනිජ තෙල් සම්බන්ධයෙන් ද යා කෙරෙන ව්‍යුහයක් මෝදි අගමැතිවරයා සතුව ඇත. ජාත්‍යන්තර සම්බාධක මැද රැසියාවෙන් ඛනිජ තෙල් ආනයනය කරන ඉන්දියාව සවුදි අරාබිය සමග බොරතෙල් මිල දී ගැනීම සම්බන්ධයෙන් ගිවිසුමක් අත්සන් කර තිබේ. ඉන්දියාවට අවශ්‍ය පිරිපහදු ඉන්ධන සඳහා ලෝකයේ විශාලතම තෙල් පිරිපහදුව මහා රාෂ්ට්‍ර ප්‍රාන්තයේ ඉදිවේ. ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනය කර නළ මාර්ගයකින් සම්බන්ධ කිරීමත් ගෙන එන බොරතෙල්වලින් කොටසක් එහි ගබඩා කිරීමත් නරේන්ද්‍ර මෝදි ආණ්ඩුවේ අභිප්‍රාය වී ඇත.
ඉන්දියාව හා තායිලන්තය අතර එකඟතාවක් අනුව මියන්මාරය හරහා අධිවේගී මාර්ගයක් ඉදිකෙරේ. මෙය කල්කටා සිට බැංකොක් දක්වා ගමන් කළ හැකි අතර 2027 දී විවෘත කරනු ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා අත්සන් කරන ලද ගිවිසුමක් අනුව එක්සත් අරාබි එමිරේට් සිට සවුදි අරාබිය දක්වා ගොඩබිමින් මාර්ගයක් ඉදිකරනු ඇත. මෙම දැවැන්ත යෝජනා ක්‍රම හේතු කොටගෙන ලක්ෂ සංඛ්‍යාත පිරිසකට රැකියා, ආර්ථික ප්‍රසාරණය හා අලුත් අවස්ථා බිහිවේ.
සෘජු විදේශ ආයෝජන ලබාගැනීමේ පියවර
නරේන්ද්‍ර මෝදි බලයට පත් වූ පසු ඉන්දියාවට සෘජු විදේශ ආයෝජන ලබාගැනීමේ රාමුව පුළුල් කළේය. මහ ඇමැති වශයෙන් ගුජරාට් ප්‍රාන්තයේ දී අනුගමනය කළ ප්‍රතිපත්ති ඉන්දියාවට සූත්‍රයක් බවට හැරවීය. රක්ෂණ අංශයේ ආයෝජන සඳහා විදේශිකයන්ට තිබුණ සියයට විසි හයක සීමාව 2014 දී සියයට හතළිස් නමය දක්වා නැංවීය. ඉන්දියාවේ නිපදවන දේ සඳහා තිබුණ ආරක්ෂණවාදී ප්‍රතිපත්ති ක්ෂේත්‍ර විසි පහකින් ඉවත් කළේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස එරටට ලැබුණ විදේශ ආයෝජන සියයට හතළිස් අටකින් 2015 වසර වන විට ඉහළ ගොස් තිබුණි. 2020 දී ආරක්ෂක හා යුද අංශයේ ආයෝජන සඳහා තිබුණ සියයට 49 ක සීමාව සියයට සියයට 74 දක්වා නංවන ලද අතර 2020 දී ඉන්දියානු නොවන ආයෝජකයන්ට අත්පත් කරගැනීමේ අයිතිය සියයට සියයක් දක්වා ඉහළ නැංවීය. 2014 දී සෘජු විදේශ ආයෝජන දිනාගන්නා රටවල් ලැයිස්තුවේ 15 වැනි තැන සිට 2014 වන විට 12 වැනි තැන දක්වා පැමිණි අතර 2015 දී ආයෝජනය සඳහා හොඳම රටක් වශයෙන් කීර්ති නාමයක් දිනා ගෙන තිබේ.
මෝදි අගමැතිවරයා ආර්ථිකයේ සලකුණු කරන ලද ස්වභාවයෙහි වෙනස කෙබඳු ද යන්න 2024 වසරේ එරට සෘජු විදේශ ආයෝජන ලැබීම් පෙන්වයි. 2014 සිට දස වසරක් තුළ ඇමරිකානු ඩොලර් ට්‍රිලියනයක ආයෝජන එරටට ලැබී තිබේ. එය එයට කලින් දස වසරක් තුළ ඉන්දියාවට ගෙන එන ලද ආයෝජනවලට වඩා සියයට 119 කින් ඉහළ ප්‍රතිශතයකි.
අලුත් අවස්ථා, ආයෝජන නිදහස සහ ඉන්දීය වෙළෙඳපොළ ලෝකයේ කීර්තිමත් සමාගම් එරටට කැඳවීය. ඉක්මන් තීරණ ගැනීම හා වහාම ඉඩ දෙන ක්‍රමවේදය එයට මහත් වාසියක් වී ඇත. ඇමෙරිකාව ඔවුන්ගේ සන්නිවේදන වෙළෙඳපොළ සඳහා දුරකථන චිප් මිල දී ගැනීම චීනයෙන් සීමා කළ පසු ඉන්දියාව වහාම ඒ සඳහා සමාගමකට ඉඩ දී තිබේ. චීනයේ කපු වලින් කරන රෙදිපිළි සඳහා ට්‍රම්ප් පාලනය අතිරේක බදු පනවන පුවතින් පසු 2025 අය වැය මගින් කපු වගාකරන ගොවියන්ට හා ආයොජකයන්ට විශාල සහන ප්‍රකාශයට පත් කර ඇත.
ශ්‍රී ලාංකේය සමාගම්වලට පවා ඉන්දියාවේ ආයෝජන අවස්ථා ලැබුණි. මාස් හෝලිඩිං සමාගම ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ඔඩිස්සා හි ඇඟළුම් කර්මාන්තයට ප්‍රවේශ වූ අතර එම ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 140 කි. 2014 වසරේ දී ශ්‍රී ලාංකික සමාගමක් වන බ්‍රැන්ඩ්‍රික්ස් ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රාන්ත ප්‍රදේශයේ ආයෝජනය කළේය. ඇමරිකානු ඩොලර් බිලියනයක ආයෝජනයක් වූ අතර බ්‍රැන්ඩ්‍රික්ස් සමාගමේ කර්මාන්තය සඳහා ආන්ද්‍ර ප්‍රදේශයෙන් අක්කර දහසක ඉඩමක් ලැබුණි.
ඉන්දිය ඩයස්පෝරාව හා විදේශ ප්‍රේෂණ
කමලා දේවී හැරිස් ඇමරිකාවේ උප ජනාධිපති ධුරයට තේරී පත්වූවාය. එය ඇමරිකානු දේශපාලන ඉතිහාසය තුළ කාන්තාවක පත් වූ ඉහළම තනතුර ය. කමලා හැරිස් ගේ ජීවිත කතාව අනාවරණය වන තෙක් ඉන්දියානු ඩයස්පෝරාවේ තරම ගැන වැඩි අවධානයක් නොතිබුණි. ලෝක ප්‍රජාව ඉහළට නැගෙන ඉන්දියානුවන් ගණන් කිරීම අරඹා තිබේ. සෑම රටකම පාහේ ඉන්දියානුවෝය. දේශපාලන, පරිපාලන හෝ ව්‍යාපාරික අංශවල ඉහළ තැන්වල පසුවේ. වාර්තා අනුව රටවල් පහළොවක රාජ්‍ය නායකයන් අතර ඉන්දියානු සම්භවයක් සහිත පුද්ගලයෝ සිටිති. 2021 ලෝක දේශපාලන නායකයන්ගේ නාම ලේඛනය තුළ ඉන්දියානු ඩයස්පෝරා නියෝජනය දෙසීය ඉක්මවයි.
ලෝක ජනගහනය තුළ ඉන්දියානු ඩයස්පෝරාව සියයට 0.2 කි. ප්‍රධාන ව්‍යාපාරික නායකත්ව අතරින් සියට දෙකක කොටසක් ඩැහැගෙන ඇත. 2024 වසරේ ඉන්දියානුවන් ඔවුන් උපයන ධනයෙන් මවු රටට එවා ඇති මුදල ඇමරිකානු ඩොලර් බිලියන 124 කි. ඉන්දියාව තුළ ඇති අවස්ථා, ආර්ථිකයේ නව ප්‍රවණතා සලකා මහත් විශ්වාසයකින් පසුවේ. වසර තුනක කාලයක් අඛණ්ඩව ඇමරිකානු ඩොලර් බිලියන 100 කට වඩා ධනයක් මවු රටට එවා ඇත. ඉන්දියානුවන් මිලියන 35.42 විවිධ රටවල ජීවත්වේ. ඉන්දියාවේ බලය, ශක්තිය හා ඓතිහාසික පදනම ගැන මහත් ආඩම්බරයකින් කටයුතු කරති. මෙම පිරිස අතරින් හරි අඩක් ඔවුන් ජීවත්වන රටවල පුරවැසිභාවය ලබාගෙන තිබේ.
ආසන්න ඉන්දියාව, භාරතය වශයෙන් යළි නැගී සිටින්නටත් ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කරන්නටත් කරන උත්සාහය තුළ අවබෝධ කරගත යුතු දේශපාලනයක් තිබේ. එහෙත් ශ්‍රී ලාංකිකයන් වශයෙන් ඉතිහාසයේ සිට දෙරට අතර තියුණු තරගයක පසුවේ. දෙරට අතර සබඳතා සමබර නැත. වරෙක ඉහළට එන අතර තවත් වතාවක පහත ය. ශ්‍රී ලංකාවේ කටයුතු වලට මැදිහත් වූ ඉන්දියාව පාඩම් ඉගෙන ගෙන තිබේ. ලෝකයේ පවතින නූතන රාජ්‍යතාන්ත්‍රික සබඳතා හා නායකයන් ගේ හැසිරීම අධ්‍යයනය කරන පසු පැවැත්ම ගැන අලුතින් හිතන්නට අවකාශයක් ඉතිරි වී ඇත.
සාරා කන්දෙගොඩ
2014 මැයි 14 වැනි දා නව දිල්ලියේ රාෂ්ට්‍රපති භවන් හි දී ඉන්දියාවේ ඉතිහාසය වෙනස් කරන අගමැතිවරයා වශයෙන් නරේන්ද්‍ර මෝදි දිවුරුම් දුන්නේය. ඉන්දියානුවන් විසින් හෙතෙම දක්ෂව කැපවීමෙන් සේවය කරන සහ සංවර්ධන අභිලාෂ සාක්ෂාත් කරගැනීම අරමුණු කරගෙන ධෛර්යවන්තව ක්‍රියා කරන නායකයෙකු වශයෙන් තෝරා පත්කර ගැනිණ. නිදහස් ඉන්දියාවේ උපත ලැබීමෙන් පසු අගමැති පදවියට පත් ප්‍රථමයා වශයෙන් ඔහු ඉතිහාසයට එකතු වී සිටී.
තරුණ වියේ දී ම හෙතෙම ජනතාව වෙනුවෙන් සේවය කරන අදිටනින් පසුවිය. උතුරු ගුජරාට් හි වාද්නගර් යන කුඩා ගම්මානයේ සාමාන්‍ය පවුලක තුන්වැනි දරුවා වූ අතර පාසල් අවදියේ දී කියැවීම හා පිහිනීම විනෝදාංශ තෝරාගෙන තිබුණි. සියවස් ගණනකට කලින් පැවැති ඓතිහාසික සිද්ධි අනුව වාද්නගර් බුදු දහමට හා අාධ්‍යාත්මික වැඩ සටහන්වලට කේන්ද්‍රීය ස්ථානයක් ව තිබුණි. ස්වාමි විවේකානන්ද ගේ ඇසුර යොවුන් මෝදි ගේ අදහස් සඳහා සංකලනය විය.
වයස දහ හත සම්පූර්ණ වන විට නිවෙසින් පිටත්ව ඉන්දියාව පුරා සැරිසරන මෝදි අහමදාබාද් හි දී ආර්.එස්.එස් සංවිධානය හා එක්වෙයි. සමාජ සංස්කෘතික හා ඉන්දියානු අනන්‍යතාව නැවත ගොඩනඟන ස්වේච්ඡා ව්‍යාපාරයක් වන එහි දක්ෂ සාමාජිකයෙකු වූ අතර විවිධ තනතුරු ඉසිලීය. අහමදාබාද් හි ප්‍රාදේශීය මැතිවරණයට භාරතීය ජනතා පක්ෂයෙන් ඉදිරිපත් වූ හෙතෙම සභිකයෙකු වශයෙන් පත් විය. දේශපාලන ගමනේ ඉදිරියට පැමිණි මෝදි 1995 වසරේ සිට භාරතීය ජනතා පක්ෂයේ ලේකම්වරයාය. ඔහුගේ මෙහෙයැවීම මත 1998 ලෝක් සභා මැතිවරණය ජයග්‍රහණය කළ අතර 2001 වසරේ එවකට අගමැති වජ්පායි ඔහුට ගුජරාට් ප්‍රාන්ත මැතිවරණයට ඉදිරිපත් වන සේ යෝජනා කළේය. එහිදී ඔහු විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරගත් අතර 2014 වසරේ භාරතීය ජනතා පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් අගමැති ධුරයට පත්වන තෙක් අඛණ්ඩව මහ ඇමති ධුරයේ කටයුතු කරන ලදී.
ඉන්දියාවේ එවකට තිබුණ දේශපාලන රාමුව ඉක්මවා වේගයෙන් තීරණ ගනිමින් ගත් ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළ හේතු කොටගෙන ගුජරාටය දැවැන්ත සංවර්ධනයකට හැරවිණ. ගුජරාට් ප්‍රාන්තයට සෘජු විදේශ ආයෝජන කැඳවන දැවැන්ත සමුළුවක් “දිදුලන ගුජරාටය” මැයෙන් සංවිධානය කළ අතර පළමු වරට ඔහු මෙරට එවක සංචාරක අමාත්‍ය මිලින්ද මොරගොඩ එහි ප්‍රධාන දේශනයකට කැඳවීය. ආණ්ඩුකරණය වෙනුවට උපරිමව පරිපාලනය තෝරාගත් මහ ඇමැතිවරයා ඔහුගේ පාලන කාලය තුළ ප්‍රාන්තය වේගවත් සංවර්ධනයකට ලක් කළේය.
ඔහුගේ පවුලේ තීරණය අනුව වයස දහ අටේ දී මෝදි ගේ විවාහය සිදුවිය. ඉතා කෙටි කලෙකින් ඇය සමග වාසය අත්හරින මෝදි එය නීත්‍යනුකූල වෙන්වීමක් සේ නොසලකයි. අගමැති අපේක්ෂකයා වශයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ පළමු වතාවේ දී ඔහු තමුන්ගේ විවාහක බිරිඳ ජොෂෝ දාබීන් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලදී. අගමැති නරේන්ද්‍ර මෝදි චරිතාපදානයට අනුව ආර්.එස්.එස්. සංවිධානය සමග කටයුතු කරන අතරවාරයේ විවාහය ගැන සඳහන් නොකර සම්පූර්ණ කාලයම මහජන සේවයට කැපකර ඇත. අගමැතිවරයා තුන් වතාවක් ඉන්දියාවේ අගමැතිවරයා වශයෙන් අඛණ්ඩව තෝරා පත් කරගෙන තිබේ. 1978 වසරේ දී දිල්ලි විශ්වවිද්‍යාලයේ විවෘත අධ්‍යයන අංශයෙන් උපාධිය ලබාගත් හෙතෙම 1983 වසරේ දී ගුජරාට් විශ්ව විද්‍යාලයේ බාහිර සිසුවෙකු ලෙස අධ්‍යාපනය ආරම්භ කර ශාස්ත්‍රපති උපාධිය පළමු පංතියේ සාමාර්ථයක් සහිතව ලබාගෙන තිබේ.