තනිකඩයාගේ නාරිලතා සිහිනය


සිරියහනේ ලණු ඉහිරී
සුසුම් හෙළන රෑ
මකුළු දැලෙන් සිරි සිරියේ
වියන් බඳින රෑ
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ.. //

සඳෙන් සඳට මුවාවෙලා
කල දවසත් ගෙවී ගිහින්
නෙතට නුහුරු කඳුළු බින්දු
පැදුරට මුහුවෙලා හොරෙන්
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ...//

යහන තලා සැප විඳිනා
පලදී නැතුවා පෙර පින්
මාල වළලු නොතිත් අයට
අප අමතක වෙලා ගිහින්
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ...//

ගායනය : විශාරද එඩිවඩි ජයකොඩි
ගේය පද  : ලූෂන් බුලත්සිංහල
සංගීතය : එච්. එම් ජයවර්ධන

 

ප්‍රතිභාපූර්ණ ප්‍රවීණ ගේය පද රචක ලූෂන් බුලත්සිංහලයන් විසින් විරචිත , විශාරද එඩිවඩි ජයකොඩි විසින් සුගායිත, සුදුර්ලභ ස්වර සංරචක එචි .එමි ජයවර්ධනයන්ගේ සර සරණියෙන් සුසැදි මේ ගීතය ඇසෙන විට ඕනෑම අයකු තුළ  නාරිලතා පුෂ්පය දැකීමෙි නොතිත් ආසාවක් උපදියි.

නිරුවත් නාරිදේහයකට සමාන නාරිලතා මල සියැසින් දැකගැනීමට හිමාලයට යෑමටද සිතෙයි. නාරිලතා පුෂ්පය දුටු මතින් භාවනායෝගීව සිටින තවුසකුගේ පවා දැහැන් බිඳෙන බව පුරාණෝක්තිවල සඳහන් වේ.

දශක ගණනාවක් තුඩ තුඩ රැව්දෙන මේ ගීතයේ සමස්තාර්ථය නොදත් ඇතැමිහූ එය කුණුහරුපයක් යැයි ද සිතති. එහෙත් තනිකඩ මිනිසකුගේ පාළුව, කාන්සිය දුරුකිරීමට යට ලීයෙන් නාරිලතා මල් පූදින්න බැරිද?

වරක් නවගමුවේ පැරැණි පත්තිනි දේවාලයේ කොස් ලීයෙන් තැනු උළුවස්සක කොස්ගෙඩි හටගත්  බවට කතාවක් ද ඇත. ඒ කතාවෙන් පවා පෙනෙන්නේ දේවාලයේ තිබෙන අනුහස් නොවේද? 

කසාද බැඳපු පිරිමින්ට යටලීයෙන් නාරිලතා මල් පිදීම අරුමයක් වුවද තනිකඩයාට එය අරුමයක් නොවේ. මේ පිපෙන්නේ සියඹලා මල්, දෙහි මල්, ඇපල් මල් නොව නාරිලතා මල්ය.

අවිවාහක තරුණයකුගේ සංවේදි ආත්ම ප්‍රකාශනය ගීතයේ අන්තර්ගතයයි. අද්‍යතන සමාජයේ රැකියා වියුක්තියෙන්, ආර්ථික අහේනියෙන් පීඩාවට පත්වන ස්ත්‍රි -පුරුෂ දෙපාර්ශ්වයේ විවාහය කල්ගත වන්නක් වී තිබේ.නිසි කල වයසද පසුවී විවාහ වීමට නොහැකිව පීඩනයෙන් ළතැවෙන එබඳු කථකයෙක් සිය හැඟීම් මේ ගීතයෙන් පළ කරයි.

ගීතයේ ස්ථායි කොටසෙහි අපූරු කාව්‍යෝක්තියක් සුවිශද වෙයි.ලණු ඉහිරුණු ඇඳක උඩුබැල්ලෙන් දපා සිටින තනිකඩයෙක් රාත්‍රියට මුහුණදී සිටියි.

සිරියහනේ ලණු ඉහිරී
සුසුම් හෙළන රෑ
මකුළු දැලෙන් සිරි සිරියේ
වියන් බඳින රෑ
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ

මේ තනිකඩයාගේ සිරි යහන ලණු ඉහිරි සුසුම් හෙළයි. දරිද්‍රතාවයෙන් පෙළෙන ඔහුට සිරියහනක්  කොහින්ද? ඔහු සතු ලණු ඇඳ සිරියහනක් කොට දැකීම වත්මන් තරුණ පරපුරේ ඛේදවාචකය උත්ප්‍රාසාත්මකව කවියට නැගීමකි. ඒ උත්ප්‍රාසය වඩා තීව්‍ර වූ කාව්‍යමය ප්‍රකාශනයක් බවට පත්වන්නේ සිරියහනේ ලණු ඉහිරි සුසුම් හෙළන බව කීමෙනි.

එය නාමපද, ක්‍රියාපද එක්ව සෑදෙන රූපකයකි. කථකයාගේ ආත්මය වටා පැතිර පවත්නා දුක ශෝකය හා වේදනා අන්ධකාරය එයින් අතිශය ප්‍රබල ලෙස නිරූපණය කිරීමට රචකයා සමත්වේ. මකුළු දැලෙන් සිරි සිරියේ වියන් බැඳීම ද තවත් එබඳු ප්‍රබල තියුණු සංකේතාත්මක යෙදුමකි. කථකයා කෙරෙහි කුටුම්බයක් පිළිබඳව වන අපේක්ෂාව සහ එම අපේක්ෂාවල අවිනිශ්චිතභාවය ද ඉන් ගම්‍යවේ.

මේ ගීතය පුරාම ගලා යමින් ගීතයේ සමස්ත අන්තර්ගතය  අතිප්‍රබල ලෙස සුපෝෂණය කරන සංකේතාත්මක යෙදුමක් ද ඉන්පසු අපට හමුවේ. යට ලීයෙන් නාරිලතා මල් පීදීම බහුඅරුත් දනවන සංකේතයකි. ස්ත්‍රි රූපකයක් කථකයාගේ භාව ලෝකය තුළ මැවී එම ස්ත්‍රි රූපකය පිළිබඳ ඔහුගේ ලෝලීතාව ගැහැනියක සමිබන්ධයෙන් ඔහු තුළ පවත්නා බලාපොරොත්තුව එයින් තියුණුව නිරූපණය කෙරේ.

සඳෙන්  සඳට  මුවාවෙලා
කල දවසත්  ගෙවී  ගිහින්
නෙතට  නුහුරු කඳුළු බින්දු
පැඳුරට  මුහුවෙලා  හොරෙන්
යට  ලීයෙන් නාරිලතා
මල් පුදින්නේ...


ස්ත්‍රී රූපයට  සමාන ස්වරූපයක්  ගන්නා  නිසාත් , ස්ත්‍රී  සෞන්දර්යය නිරූපණය වන නිසාත්  නාරිලතා  පුෂ්පය පුරුෂයන්  තුළ ආකර්ෂණයක්  ඇති  කිරිමට  සමත් වේ. තමාගේ  කල දවස ගෙවී  යෑම පිළිබඳව වන වේදනාව ද ඒ පිළිබඳ ඔහු රහසේ කඳුළු සලන බව ද ඒ කඳුළු ඔහු වැනි පීඩිතයන්ගේ  නෙතට  නුහුරු  බව ද ඉන්  විද්‍යමාන වේ.

ස්ත්‍රියකගේ ස්පර්ශය නොමැති  බිත්තිවල පවා මකුළු දැල් බැඳී ඇත. ඒවා කඩා ශුද්ධ  බුද්ද කිරීමට ද කෙනකු නැත. ගැහනිකගේ ලද බොළඳ සිනාව නොමැති නිවෙස ජීවිතය නැති කඩදාසි ගෙයක් බඳුය.පාළු  නිවසේ සිරි සිරි හඬින් මකුළුවන් වියන් බඳින හඬ පවා ඔහුට ඇසෙයි.

යහන තලා සැප විඳිනා
පලදී නැතුවා පෙර පින්
මාල වළලු නොතිත් අයට
අප අමතක වෙලා ගිහින්
යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ

තම දුප්පත්කම නිසා ස්ත්‍රියකගේ ප්‍රේමය නොලැබි  යෑමේ  ඛේදවාචකය කථකයා  දෙවැනි  අන්තරා කොටසෙන් හෙළිදරවු  කර සිටියි. එහිදි තමන්  මේ  තත්ත්වයට  පත්වුයේ  පෙර  පින් නැතිවිමේ  අභාග්‍යය  නිසා  බවද කියා පායි. මෙනයින්  තමන්ට  කායිකව සංතෘප්ත විමේ  අවස්ථාව නොලැබුණු බවද සම්භෝග ශෘංගාර  රස අහිමි වු  බවද ප්‍රකාශ කරයි.

ඒ සඳහා  රචකයා  යොදා ගෙන ඇති  යහන තලා  සැප විඳිනා  යන යෙදුම ගැමි වහරේ අපුර්වත්වය මේ ගීයට  කදිම ලෙස යොදාගත්  බවට සාක්කියකි. ඖචිත්‍යයෙන් අනුන ඒ බස රූපකාර්ථවත්ය. සිරි යහනේ   ලණූ ඉහිරී සුසුම්  හෙළීම , යට  ලීයෙන් නාරිලතා  මල් පීපිම, සඳෙන්  සඳට  මුවාවෙලා කල දවස ගෙවි යෑම එබඳු  රූපකාර්ථ භාව ප්‍රයෝග වේ. අද්‍යතන  සමාජයේ  කාලීන ප්‍රශ්නයක්  වඩාත්  සංයමශිලි කථන ස්වරූපයකින් සංවේදීව කියා පෑමට  මෙහිදී  ලුෂන්  බුලත්සිංහ නමැති  ප්‍රතිභාපූර්ණ ගේය පද රචකයා  සමත්වී තිබේ.

 ශෝකය උපදින්නේ  තමාට  අවශ්‍ය යම්  දෙයක්  නැති  වීමෙනි. නැති  බැරියාව, අහිමියාව, නොහැකියාව ශෝකයට  හේතුය. සාහිත්‍යයට හා  කලාවට  බහුල ලෙස ම විෂය වන්නේ  මේ ශෝකයයි.

සාහිත්‍යයෙහි  හා  කලාවෙහි  මුඛ්‍යරසය ලෙස කරුණරසය පවතිනුයේ ද  එහෙයිනි. පුරුෂයන්ට තමා පතන ලියන් ද ස්ත්‍රීයන්ට තමා පතන පුරුෂයන් ද නොලැබීම ඉහත කී  වියෝගයේ  ම කොටසකි.

විප්‍රලමිබ ශෘංගාරය යනු ප්‍රේමය සාක්ෂාත් නොවූ කල්හි පෙමිවතුන් තුළ උපදින අනුරාගික විරහවයි. මේ ගීතයේ කථකයා තනිකඩයකු වූවද ⁣පැරැණි පෙම්වතියන් ගැනද සිහිපත් කරයි.

“සිරි යහනේ ලණූ  ඉහිරි“ නමැති  ගීතය ලූෂන්  බුලත්සිංහලයන්ගේ  විශිෂ්ට ගේය පද රචනා  අතර ප්‍රබල රූපක, සංකේතාර්ථ මතු කරන ජනකාන්ත, මනකාන්ත ගීතයකැයි කීම අතිශයෝක්තියක් නොවේ.

 

විවරණය : ශෂී ප්‍රභාත් රණසිංහ