කැරලි ඇවිළෙයි


 

චෙන් හා මාඕගේ පෙළඹවීම නිසා දෙසැම්බරයේ දී දරුණු සිද්ධීන් හට ගත්තේය. මේ අතරවාරයේ දී ඔවුහු මීට වඩා අප්‍රකට උපක්‍රම ද භාවිත කළහ. ආර්ථිකවාදය යළිත් ඔවුහු අවදිකර ගත්හ. කැරලි ඇතිවූයේ හුදෙක් කම්කරුවන්ගේ දුක්ගැනවිලි නිසා බව පෙන්වන්නට තැත් කළ ඔවුහු අතිශයින්ම අනුකම්පා සහගත ආකල්පයක් දැක් වූහ. පාරිතෝෂික වැටුප් බෙදාදුන් ඔවුහූ මෙතෙක් නොගෙවා තිබූ පඩිපත සොයාගෙන ඒවා ද ගෙවා දමා ආධුනිකයන්ට පූර්ණ වේතන ගෙවූහ. පැරණි හා තරුණ කම්කරුවන් අතර මේ නිසා අර්බුද පැන නැංගේය. ඕනෑම කෙනෙකුට ඉල්ලූ ඕනෑම දෙයක් ලබාගත හැකි විය.


ඉහළ වැටුප් තලයක පිහිටුවනු ලැබූ ඇතැම් කම්කරුවෝ පසුගිය වසර දහය සඳහා නව වැටුප් තලය යටතේ තමන්ට හිමි වේතන තරයේම  ඉල්ලා සිටියහ. සමහර අය යුආන් දෙදහසක් තුන්දහසක් තම අතට ලබා ගත්හ. (සාමන්‍ය මාසික වැටුප යුඅන් 6ක් පමණය)  පීකිංවලට ගොස් කැරැල්ලට සහභාගි වන ලෙසට ප්‍රතිගාමීන්  විසින් ඇතැම් කම්කරු පිරිස් පොලඹවන ලදී. මාඕ ගේ විප්ලවය මැනවින් වටහා ගන්න යන පාඨය ප්‍රචාරය කළ ඔවුහු නිෂ්පාදනය වර්ධනය කරන්න අමතක කළහ. මේ ගමන සඳහා වියහියදම් ගෙවන ලදී. දේශපාලනය තරයේම වැලඳ ගන්න. ආර්ථික අංශය සම්බන්ධයෙන් විවේක ගන්න. යන්න ඔවුන්ගේ සටන් පාඨය විය. වෙළඳපොළෙහි ඌණතාවයන් ඇති කරමින් කිසිදු ඉවක් බවක් නොමැතිව කම්කරුවෝ භාණ්ඩ මිලදී ගනිමින් තැනින් තැන සැරිසැරූහ.


ඇතැම් කර්මාන්තශාලාවල නිෂ්පාදනය සහමුලින්ම ඇන හිටියේ බඩු ගොඩබෑම සඳහා බටහිර ජර්මනියෙන් පැමිණි නැවක් නැරංගුම්ලා තිබුණේය. බඩු ගොඩබෑමේ වැඩ ගබඩා හතරකින් කළ යුතුව තිබුණත් වරාය කම්කරුවෝ කෙතරම් ගණනක් නොයෙකුත් ගමන් බිමන් ගොස් සිටි නිසා දෙපළකින් පමණක් බඩු ගොඩබෑමට හැකි වූයේ නියමිත කාලයට වැඩකටයුතු නිමකර ගැනීමට නොහැකි වන ලක්ෂණ පහළ වෙත්ම නැව් කපිතාන් තැන නන් අයුරින් ආක්‍රෝෂ පරිභව කරන්නට විය. සංස්කෘතික විප්ලවය වැඩ වර්ජනයකට වැඩි දෙයක් නොවන බව කියන්නටත් මාඕ සේතුංට නොයෙකුත් නම් භාවිත කරන්නටත් ඔහු පටන් ගත්තේය. වරාය කම්කරුවන් මේ බව වාර්තා කළ විට ඉක්මනින් වැඩ කිරීමට අවශ්‍ය මිනිසුන් ගණනක් කැඳවා දින හතරකින් කළ යුතුවූ වැඩ කොටසක් දෙදිනකින් නිමකොට නියමිත කාලයට පැය 4ක් කලින් බඩු බෑමේ වැඩ කටයුතු සමාප්ත කරන ලදී. නැව වරායෙන් ඉවතට ඇදෙත්ම වරාය කම්කරුවෝ මෙසේ කෑ ගැසූහ. “ඔබට සංස්කෘතික විප්ලවයට පරිභව කළ නොහැකිය.” කපිතන් තැන ද ඉංග්‍රීසියෙන් මෙසේ පිළිතුරු දුන්නේය. “ඔව්, ඔව්, චීන කම්කරුවෝ සභාපති මාඕගේ නායකත්වය යටතේ අති උත්කෘෂ්ට ලෙස වැඩ කරති.” 


දුර්භාග්‍ය කාලපරිච්ජේදයේ දී ගම් ප්‍රදේශවලට යවන ලද කොමියුන් කිහිපයක කම්කරුවන් අල්ලාගත් ප්‍රතිගාමීහු ඔවුන්ට වරදක් කර ඇති බවත් දැන යළිත් නගරයට පැමිණිය යුතු බවත් පැවසූහ. මේ තුළින් කොමියුනයේ වැඩ කිරීමට අවශ්‍ය ශ්‍රමය අඩු වූ අතර අවුල් තත්ත්වය තව තවත් වර්ධනය කිරීම ඔවුන්ගේ අභිප්‍රාය විය. විසංවිධානය වර්ධනය කරනු සඳහා විදුලි ආලෝකය කපා හැරීමටත් නගරයේ ජල හා ප්‍රවාහන පහසුකම් අත්හිටුවීමටත් රතු පුරවැසි හමුදාවට අවසානයේ දී ඔවුන් උල්පන්දම් දුන්හ. ඔවුන්ගේ බලාපොරොත්තුව වූයේ ඔබේ අති උත්තම සංස්කෘතික විප්ලවය  කළ හදිය බලන්නැයි කියා මධ්‍යම කාරක සභාවට වාර්තාකොට එයට බලපෑම් කිරීමටය. බලය අල්ලා ගැනීම සංස්කෘතික විප්ලවයේ ස්වභාවික මැඩීමක් විය. බලතත්ත්වයන්හි ප්‍රතිගාමීන් වැජඹෙමින් සිටින තාක්කල් මුදල් පෙට්ටිවල යතුරු ඔවුන් සතුව පැවති තාක්කල් විප්ලව සම්පූර්ණ කළ නොහැකි විය. ආර්ථිකවාදයේ කළු වලාකුළින් මේ පාඩම කම්කරුවන්ට මැනවින් අධ්‍යනය කිරීමට උපකාරී විය. 


1967 ජනවාරියේ දී ප්‍රතිගාමින් විසින් මේ දක්වාත් බල තත්ත්වයන් දරනු ලැබූ හැම ආයතනයක්ම ව්‍යවසායක් පාලන බලය ඔවුන් වෙතින් ඉවත්කර මේ මා පාලනය කිරීම සඳහා තාවකාලික බල තන්ත්‍රයන් පත් කිරීමට විප්ලවීය නියෝජිත කමිටුවලට සිදුවිය. ජනවාරි කුණාටුව පැවති කාලපරිච්ඡේදයේ දී ගැටුම ඉතා තියුණු විය. හැම පංතියකටම සහ හැම කණ්ඩායමකටම නැගී සිට යථා තත්ත්වය පැහැදිලිව ප්‍රකාශ කිරීමට සිදුවිය. නගර සභා මට්ටමේ දී යටත් පිරිසෙයින් විවිධ මහජන සංවිධාන 700ක් පමණ ගොඩනගා ගන්නා ලදී. ඇතැම් සංවිධාන නියම විප්ලවීය කණ්ඩායම් වූ අතර සමහර තත්ත්ව සංරක්ෂණවාදී වූහ. තවත් කොටසක් ආර්ථික වාදයෙන් ප්‍රයෝජන ගැනීමට ඉදිරිපත් වූ කණ්ඩායම් විය. සමහරක් ඇත්ත වශයෙන්ම ප්‍රතිවි්ප්ලවාදී වූහ. මේ හැමකටම තම තමන්ගේ අභිමතාර්ථයත් විය. අරගලය අතිශයින්ම සංකීර්ණ විය. 


බලය අල්ලා ගැනීමේදී මුලින්ම කළ යුතුව තිබුණේ මහජන මතය කෙරෙහි බලපාන ආයතන ග්‍රහණයට හසුකර ගැනීමය. ජනවාරි 4 වන හා 5 වන දිනවලදී ෂැංහයිවල ප්‍රධාන පුවත්පත් කැරලිකරුවන් විසින් අල්ලා ගන්නා ලදී. 1962 දී ප්‍රතිගාමීන් විසින් තම ප්‍රචාරක ව්‍යාපාරය පටන් ගත්තා සේම දැන් ඔවුන්ට ද තමන්ගේ ප්‍රචාරක කටයුතු පටන්ගෙන මහජන මතය කෙරේ බලපාන්නට ඉඩකඩ ලැබිණි. 


ඉන් අනතුරුව ඔවුන් පාලන බලය ලබා ගත්තේ දුම්රිය, ජලය සැපයුම විදුලිය සැපයුම සහ බැංකුවලය. නගරය අවුල් තත්ත්වකට ඇද දැමීමට ගත් උත්සාහය ව්‍යර්ථ කොට දැමූ ඔවුහු සේවාවන් යථා තත්ත්වයට පවත්වාගෙන ගියහ. ව්‍යුහාත්මක වශයෙන් පැරණි නගරසභා පක්ෂ පවත්වාගෙන ගියහ. ව්‍යුහාත්මක වශයෙන් පැරණි නගර සභා පක්ෂ කමිටුව හා නගර සභා පරිපාලනය තවදුරටත්  පැවතිය ද එය කිසිවක් කරකියා ගත නොහැකි තත්ත්වයක පැවතියේය. නගරාධිපති තැන තනතුරෙන් ඉවත් කරනු සඳහා විශාල ජනරැලියක් කැඳවන ලදී. නගරාධිපති වශයෙන් තවදුරටත් ඔහු නොසැලකෙන බව ඔහුට දන්වන ලදී. නගර සභා පරිපාලන කටයුතු කැරැල්ලේ ක්‍රියාත්මක මධ්‍යස්ථානය විසින් සියතට ගන්නා ලදි. ආර්ථිකවාදයට එරෙහිව සටන්කොට කම්කරුවන් යළිත් වැඩට ගෙන්වා ගනු සඳහා තවත් ක්‍රියාත්මක මධ්‍යස්ථානයක් පිහිටුවන ලදී. මේ අතරතුර වරාය සහ දුම්රිය සේවා කටයුතුවල ආධාරයට මහජනයා සහභාගි කරවා ගන්නා ලදී. ශිෂ්‍ය හා කම්කරු සමූහයන් ඇතැම් විට දිනකට පැය 24ක් වැඩ කළහ. ඇතැම් විට එක් පුද්ගලයෙක් දින තුනක් එකදිගටම වැඩ කළ අවස්ථාවන් ද විය.

 

 


මතු සම්බන්ධයි.

 

 

 

 

 

මාතලේ - එම්. තාරික්