ශ්‍රේෂ්ඨ නයිජීරියානු ලේඛක චිනුවා අචිබිවරෙක සඳහන් කළේ “ස්වාභාවික සම්පත් කොතෙක් තිබුණද රටක් ඉබේම පෙරට නොයයි. එය සංවර්ධනය වන්නේ රටේ පුරවැසියන් හට පෞද්ගලිකව ආදර්ශයක් දෙන ප්‍රඥාවන්ත, අල්පේච්ඡ හා දූරදර්ශී නායකයන් අතිනි.” එම කියමනට සමාන රාජ්‍ය නායකයෙකු ලෙස උරුගුවේ 40 වැනි ජනාධිපතිවරයා වූ හුසේ මුජිකායි පෙන්වාදිය හැක. හෙතෙම 2010 සිට 2015 දක්වා උරුගුවේ ජනාධිපති ධූරය හෙබවීය. ඔහු වචනයේ අර්ථයෙන්ම ආදර්ශවත් රාජ්‍ය පාලකයෙකි. ඔහු වෙනුවෙන් දියත රාජ්‍ය නායක පිටුව වෙන්වේ.
ඇමරිකානු කලාපයේ පිහිටි උරුගුවේ නමැති දේශය, අන්ත දුප්පතුන් කිසිවකුත් නැති, ආදායම් බෙදී යාමේ විෂමතාව අවම තත්ත්වයක පවතින, සංවර්ධිත රටක් ලෙස සැලකේ. එය රාජ්‍ය පාලනය හා අදාළ දූෂණය සහ වංචාව, සහමුලින්ම තුරන් කරන ලද රටකි. එමෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, සමාජ සුරක්ෂිතභාවය සහ සාධාරණත්වය යනාදිය උරුගුවේ රජය විසින් උපරිමයෙන් සුරකිනු ලබන අතරේ එරට හැම අංශයකින්ම සංවර්ධනය කිරීම සඳහා සුවිසල් මෙහෙවරක් සිදු කළේ මේ කියනා කතානායකයායි.
2009 ජනාධිපතිවරණයෙන් ජයගත් විගස ඔහු කියා සිටියේ සුඛෝපභෝගී ජනපති මැදුර, ඊට අයත් විශාල කාර්ය මණ්ඩලය, සැප යාන වාහන, ආරක්ෂක භට පිරිස් සහ පරිවාර වාහන යන දේවල් තමන්ට අනවශ්‍ය බවයි. උරුගුවේ රජයේ සෙනෙට් මන්ත්‍රීවරියක වූ ලුසියා ටොපොලැන්ස්කි සමග 2005 වසරේදී යුග දිවියට එළැඹි හුසේ මුජිකායි, එදා සිට ජීවත්වූයේ මොන්ටිවීඩියෝ ගම්මානයේ පිහිටි සිය බිරිඳට අයත් ගොවිපළෙහිය. ගොවිපළෙහි තිබෙන මෙම නිවස සතුව ඇත්තේ එකම එක නිදන කාමරයක් පමණි. ලුසියා සමග විවාහ වන අවස්ථාවේ උරුගුවේ පශු සංවර්ධන, කෘෂිකර්ම හා ධීවර අමාත්‍ය ධූරය දැරුවේ හුසේ මුජිකාය.
ජනපති ධූරයේ වසර 05ක් ගත කොට, 2015 මාර්තු 01 දින ඉන් සමුගන්නා තෙක්ම ඇමරිකන් ඩොලර් 12,000 ක් වූ (ශ්‍රී ලංකා රුපියල් මිලියන 1.9 කි) තම මාසික වැටුපෙන් සියයට 90 ක්ම හුසේ මුජිකා වැය කළේ දුප්පත් උරුගුවේ වැසියන් හට ජීවනෝපායක් සාදා දීම පිණිසය. ජනපති වූ පසුව කලාතුරකින්, රැයක් හෝ දෙකක් ඔහු ජනපති මැදුරේ ගත කළේ විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයන් එරටට ආ අවස්ථාවකදී පමණි.
ගොවිපළේ පිහිටි නිවසේ සිට ජනපති ධූරයේ සිටි කාලයේ ඔහු හැම දිනකදීම ජනාධිපති කාර්යාලයට පැමිණියේ 1987 නිෂ්පාදිත සිය ෆොක්ස්වැගන් මෝටර් රථය පදවා ගෙනය. ඇමති හා ජනපති ධූර හිමි වුවද, තමා කවදත් දෑතේ වෙර වීරියෙන් හරිහම්බ කළ ගොවියකු වන හෙයින්, තමන්ට රථාචාරියකු අනවශ්‍ය බව ඔහු අවධාරණය කර සිටියේය. වසරක් පාසා, දේශපාලනඥයින් උරුගුවේ රජය වෙත අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුතු වත්කම් - බැරකම් ප්‍රකාශයේ ඔහු සටහන් කළේ තම එකම වත්කම වූ ඇමරිකන් ඩොලර් 1800ක් වටිනා සිය ෆොක්ස් වැගන් රථය පමණක් වීම ඔහුගේ සුපිළිපන්භාවයේ ප්රතිමූර්තියකි.
වරෙක උරුගුවේ කඩදාසි කම්හලක සේවය කරන කම්කරුවකු රෑ හතට පමණ තම වැඩ නිම කොට ජුවාන් ලකාස් නගරයේ පිහිටි සිය නිවස වෙත යාම සඳහා මහපාරට පැමිණියද බස් රථයක් අල්ලා ගැනීමට ඔහුට නොහැකි විය. මහමග ගමන් කරන මෝටර් රථ 25කට පමණ අත දිගුකළ ද ඉන් එකක්වත් ඔහු අසල නැවැත්වීමට තරම් කාරුණික නොවීය. අවසානයේ ඔහු ළඟ නතර වූයේ පැරණි මාදිලියේ ෆොක්ස්වැගන් රථයකි. රියැදුරාට ස්තූති කරමින් ඊට ගොඩ වූ ජෙහාල්ඞ්, තමාව ජුවාන් ලකාස් හන්දියෙන් ඇරලවුවහොත් ඉතිරි කිලෝ මීටර් දෙක පයින් යා හැකි යැයි කී නමුත් රියැදුරා ඔහුව නිවස දොරකඩටම ගෙන ගියේය. මගදිගට තම රැකියාවේ විස්තර පිළිබඳ දොඩමලු වූ ජෙහාල්ඞ් හට, රියදුරුගේ වතගොත විමසන්නට තරම් ඉස්පාසුවක් නොතිබිණි.
එහෙත් සුක්කානම හසුරුවන මහතා උරුගුවේ ජනපති හුසේ මුජිකා බව ජෙහාල්ගේ ගෙදර උදවිය නොපමාව හඳුනා ගත්තේය. ඒ මොහොතේ තමා විස්මයෙන් හා සතුටින් මුසපත් වූ බවත්, මෙවැනි නිහතමානී නායකයකු සිටින රටක පුරවැසියකු වීම ආඩම්බරයට කරුණක් බවත්, ජෙහාඞ් පසු දිනම එරට පුවත්පතක් වූ එල් ඔබ්සවාඩෝ පුවත් පතට ප්‍රකාශයක් කරමින් අවධාරණය කර සිටියේය.
උරුගුවේ ජනපති ලෙස නොව, තම බිරිඳ සතු ගොවිපළේ මල් වවන ගොවියකු ලෙස තමාව හඳුන්වනවාට හුසේ මුජිකා කවදත් කැමති විය. ආණ්ඩුව ඔහුගේ ආරක්ෂාවට භට පිරිස් හා පරිවාර වාහන සැපයීම පිණිස මහත් වෑයමක් දැරුවද, අන්ත දුගී බව දුරු කොට, රට දියුණු කළ තමාව පොදු ජනතාව විසින් සුරකිනු ඇතැයි කියමින් මුජිකා ඒවා ප්‍රතික්ෂේප කළේය.
පැරණි ෆොක්ස්වැගන් මෝටර් රථයේ තනිවම හෝ සිය බිරිඳ සමග නිදහසේ ගමන් බිමන් ගිය මේ උදාර මිනිසාට උරුගුවේ වැසියන් පමණක් නොව මුළු ලෝකයම ආදරය කළේය. ඔහු මෙන්ම නිරහංකාර කාන්තාවක් වූ ඔහුගේ බිරිඳ, ලුසියා ටොපොලැන්ස්කි 2017 සැප්තැම්බර් 13 දින උරුගුවේ උප ජනාධිපතිනිය ලෙස තේරී පත් වූවාය. උරුගුවේ උප නායිකාව ලෙස වත්මනෙහි ඇය ඉහළ තනතුරක් දැරුවද ඇය සිය සැමියා සමග ඔවුන්ගේ මල් ගොවිපළෙහි කරට කර වැඩ කිරීමද ඔවුන් ගේ සරල දේශපාලන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වූවා විය හැක.
තිළිණි ද සිල්වා
ඡායාරූප : අන්තර්ජාලයෙනි