සියලු ඡන්ද එක දිනක බැරි ඇයි?


විපක්ෂයේ එකමුතුවක් නොමැති වීම, මුලින් එන්නේ මොන මැතිවරණය ද, මැතිවරණ ක්‍රමයේ වෙනසක් අවශ්‍ය ද යනාදි දේශපාලන කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සමග කළ සාකච්ඡාවකි මේ.

 

ප්‍රශ්නය:- මැතිවරණ උණුසුමක් රටේ වර්ධනය වෙමින් පැවැතියත් විපක්ෂය එක තැනක සිටින බවක් පේන්න නැත්තේ ඇයි?

පිළිතුර:- ඒක යම් ඛේදවාචකයකට කාරණාවක්. ආණ්ඩුවට සම්බන්ධ දර්ශක දහයක් ගත්තොත් එයින් නවයක්ම තිබෙන්නේ ආණ්ඩුවට ඉතාම ඍණාත්මකවයි. ආණ්ඩුවට අගයක් ලැබෙන එකම දර්ශකය වන්නේ විපක්ෂයේ පක්ෂ අතර තවමත් ඒකමිතිකභාවයක් නොමැති වීම විතරයි. අපි පසුගිය කාලයේදීත්, අදත් උත්සාහ කරමින් සිටින්නේ මේ පක්ෂ අතර පොදු වේදිකාවක්, යම් එකඟතාවක් ඇති කරගැනීමටයි.

 

ප්‍රශ්නය:- ආණ්ඩුව ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගනිමින් සිටින අවස්ථාවකදී පවා මෙවැනි එකඟතාවක් ඇති කරගැනීමට මෙතරම් පමා වීමට බලපෑ හේතු මොනවා ද?

පිළිතුර:- ප්‍රධානතම ගැටලුව පොදු න්‍යායපත්‍රය වෙනුවට පෞද්ගලික න්‍යායපත්‍ර ඉදිරියට ගැනීමයි. සෑම දේශපාලන කඳවුරකම තත්වය එයයි. අපි නියෝජනය කරන කඳවුරේ පවා අඩු වැඩි වශයෙන් ඒ තත්වය තිබෙන්න පුළුවන්. ආණ්ඩුව ලබාදෙන න්‍යායපත්‍රයට අනුව අපි සියලු දෙනාම කටයුතු කරන්න යනවා. විපක්ෂයේ එක්සත්කමක් තිබුණා නම් අපි හදන න්‍යායපත්‍රයට ආණ්ඩුව කැඳවන එක කරන්න තිබුණා. මේ වෙලාවේ සිදු වෙන්නේ ආණ්ඩුවේ න්‍යායපත්‍රයට අනුව කැමැත්තෙන් හෝ අකැමැත්තෙන්, දැනුවත්ව හෝ නොදැනුවත්ව සියලු කණ්ඩායම් කටයුතු කිරීමයි. අද දවසේ මොනවා වුවත් අප්‍රේල් මාසය දේශපාලන භූ දර්ශකවලට ඉතාම තීරණාත්මකයි. මේ මොහොතේ අපි දකින දේශපාලන සිතියම වෙනස් වීමට අප්‍රේල් මාසය බලපාවි කියා මම ඉතාම ධනාත්මකව සිතනවා. විපක්ෂයේ පක්ෂ අතර තිබෙන නොගැළපීම් දිනෙන් දින අඩු වෙමින් යනවා.

 

ප්‍රශ්නය:- පළමුව ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව කියැවුණත්, මහ මැතිවරණය ගැනත් අදහස් පළ වෙනවා. දැනට ඔබලාගේ කැමැත්ත මොන ඡන්දයට ද?

පිළිතුර:- මේ වර්ෂයේ නියමිතව තිබෙන්නේ මැතිවරණ දෙකයි. පළාත් පාලන මැතිවරණය එයින් එකක්. ජනාධිපතිවරණය අනෙකයි. මහ මැතිවරණය පැවැත්විය යුත්තේ 2025 අගෝස්තු මාසයේ. මුලින් එන්නේ ජනපතිවරණය ද මහ මැතිවරණය ද කියන සටන් පාඨ එන්නේ ආණ්ඩුවෙන්. කිසිම සාධාරණ හේතුවක් නැතුව පළාත් පාලන ඡන්දය කල් දමා අවුරුද්දකුත් මාස ගණනක් වෙනවා. පළාත් සභා ඡන්ද කල් දමා වසර පහකට වැඩියි. ඒවා අමතක කර කලින් මොන ඡන්දය එනවා ද කියා වාද කරමින් සිටිනවා. මේ වාද අවකාශයට මාතෘකා ගේන්නේ ආණ්ඩුවෙන්. මැතිවරණ සිතියම් දෙකක් අකුලපු ආණ්ඩුවක් දිහා බැලිය යුතු විධියක් තිබෙනවා. දැනට කල් දමන්න බැරි, ආණ්ඩුවට ඕනෑ ආකාරයට වෙනස් කරන්න බැරි එකම මැතිවරණයයි මේ රටේ තිබෙන්නේ. ඒ, ජනාධිපතිවරණයයි. ජනාධිපතිවරණය පැවැත්විය යුතු කාල වකවානු ඉතා පැහැදිලිව රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. එනිසා නිසැකවම සැප්තැම්බර් 17 වැනිදාත් ඔක්තෝබර් 17 වැනිදාත් අතර ජනාධිපතිවරණය පැවැත්විය යුතුමයි. ඒ නිසා මේ විධායක ජනපතිට ඔක්තෝබර් 18න් එහාට බලයේ සිටීමේ හැකියාවක් නැහැ. ආණ්ඩුවට අවශ්‍ය ආකාරයට ජනාධිපතිවරණය වෙනස් කරන්න බැහැ. ඒ නිසා ඒ මැතිවරණය නිසැකවම අප හමුවට එනවා.

 

ප්‍රශ්නය:- එහෙත්, කලින් මහ මැතිවරණය පැවැත්වීමට පොහොට්ටු පක්ෂය දැඩි උත්සාහයක නිරත වන බව පේනවා. ජනපතිට සහාය දෙන ප්‍රධාන පාර්ශ්වය හැටියට ඔවුන්ගේ ඉල්ලීම ජනපති ඉටු නොකර සිටීවි ද?

පිළිතුර:- ඔය ඉල්ලීම කොතරම් අවංක ද කියන ප්‍රශ්නය තිබෙනවා. මම දකින ආකාරයට මේක දේශපාලන රංගනයක්. ජනපතිගෙන් ඉල්ලන්න දෙයක් නැහැ. පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්තෙන් යෝජනාවක් සම්මත කරගෙන පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන්. ඒ නිසා මම නම් මේක තේරුම් ගන්නේ දේශපාලන විගඩමක්, රංගනයක් හැටියට.

 

ප්‍රශ්නය:- ඇතැම් දේශපාලනඥයන්ට මැතිවරණ කුලප්පුවක් තිබුණාට ජනතාවට එහෙම අවශ්‍යතාවක් නැති බව ආණ්ඩුවේ ඇමැතිවරු කියනවා. ඇත්තටම ජනතාවට එවැනි අවශ්‍යතාවක් තිබෙනවා කියා විපක්ෂයට හැඟීමක් තිබෙනවා ද?

පිළිතුර:- ස්ථිර වශයෙන්ම ජනතාවට එවැනි වුවමනාවක් තිබෙනවා. එහෙත් මේ වගකීම පැවැරිය යුත්තේ කාට ද කියා ජනතාව නිශ්චිතව තීන්දු කර නැහැ. සමස්ත දේශපාලනය පිළිබඳව ජනතාවට තිබෙන්නේ යම් ආකාරයක අතෘප්තිමත්භාවයක්. කලකිරීමක්. මම ද ඇතුළු දේශපාලනඥයන් සහ පක්ෂ පිළිබඳව පොදුවේ ජනතාවට තිබෙන්නේ අපේක්ෂාභංගත්වයක්. මේ ආණ්ඩුව මෙලෙසම තබා ගන්න ඕනෑ, ඒ නිසා අපට මැතිවරණ එපා කියන්න කවුරුවත් නැහැ. ආණ්ඩුවට මැතිවරණ භීතිකාවක් ඇති වී තිබෙන්නේ මහජන මතය දන්නා නිසා. ඒ නිසා ඔය කියන කාරණය සමග මම නම් එකඟ වෙන්නේ නැහැ.

 

ප්‍රශ්නය:- මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක් සම්බන්ධව මේ වන විට අදහස් මතුව තිබෙනවා. එවැනි උත්සාහයකදී ඔබලාගේ ස්ථාවරය කුමක් ද?

පිළිතුර:- මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක් අවශ්‍යයි. ඒ සම්බන්ධ කිසිදු ගැටලුවක් නැහැ. මම ඒ වෙනුවෙන් පෙනී සිටි කෙනෙක්. ඒ වගේම ඊට අදාළව මැතිවරණ ක්‍රමයක් නිර්මාණය කර දිනේෂ් ගුණවර්ධන කමිටුවට ඉදිරිපත් කළ පළමුවැන්නා මමයි. ඒ, මීට වසර විසි ගණනකට පෙරයි. එහෙත් ආණ්ඩුව මේ මොහොතේ මැතිවරණ ක්‍රමයේ වෙනසක් ගැන කතා කරන්නේ අවංක වුවමනාවකින් නොවෙයි. ව්‍යාජ වුවමනාවකින්. මැතිවරණ ව්‍යුහයේ වෙනසක් පැහැදිලිවම අවශ්‍යයි. සමානුපාතික ක්‍රමයේ ධනාත්මක ලක්ෂණ තිබෙනවා. සුළුතරය නියෝජනය කරන පක්ෂවලට සාධාරණයක් ඉටුවන ආකාරයට මැතිවරණ ක්‍රමයේ වෙනසක් අවශ්‍ය බව අපි පිළිගන්නවා. හැබැයි මේ මොහොත ඒකට වෙලාව නෙමෙයි. මැතිවරණ ක්‍රමයේ පමණක් නෙමෙයි, ඊටත්  එහාට ගිහින් මම තවත් එකක් යෝජනා කරනවා.

 

ප්‍රශ්නය:- ඔබ කරන ඒ යෝජනාව මොකක් ද?

පිළිතුර:- මේ රටේ ප්‍රධාන මැතිවරණ හතරක් පැවැත්වෙනවා. ජනාධිපතිවරණය වසර පහකට වරක් පැවැත්වෙනවා. වසර හයකට වරක් මහ මැතිවරණයත්, වසර පහකට වරක් පළාත් සභා මැතිවරණයත් පැවැත්වෙනවා. වසර හතරකට වරක් පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනවා. මේ මැතිවරණ පවත්වන්න රුපියල් බිලියන 10ක් පමණ වියදම් කිරීමට මැතිවරණ කොමිසමට සිදු වෙනවා. බලයේ සිටින අය නිර්ලෝභීව රාජ්‍ය සම්පත් මේ මැතිවරණවලට පාවිච්චි කරනවා. ක්‍රමයේ වෙනසකට පෙර එක දිනක මැතිවරණ දෙකක් පවත්වන්න අපට පුළුවන්. මේවා කරන්න පුළුවන් දේවල්. ගිය මාසයේ ඉන්දුනීසියාවේ මැතිවරණය පැවැත්වූවා. ඔවුන් මැතිවරණ පහක් එක දිනයේ පැවැත්වූවා. ඡන්දදායකයාගේ අතට ඡන්ද පත්‍රිකා පහක් දුන්නා. එරට ඡන්දදායක සංඛ්‍යාව මිලියන 204යි. අපේ මිලියන 16යි. ඡන්ද මධ්‍යස්ථාන 8,22,000ක් ඉන්දුනීසියාවේ තිබුණා. දූපත් 17,000ක් පමණ තිබෙනවා. මිලියන පහයි දශම ගණනක නිලධාරි පිරිසක් ඡන්ද මධ්‍යස්ථානවල වැඩ කළා. ඒ නිසා රටට ආදරේ නම්, ප්‍රජාතන්ත්‍රවාදයට ආදරේ නම්, ජාතික ධනය ආරක්ෂා කරගන්න නම් අප කළ යුත්තේ, අවම වශයෙන් මෙරට ඇති මැතිවරණ හතර දින දෙකකදී පැවැත්වීමයි. හැබැයි ආණ්ඩුව එවැනි ප්‍රායෝගික යුක්තිසහගත යෝජනා කරන්නේ නැහැ. මේ රටේ දුෂ්ටසහගත දේශපාලන සංස්කෘතිය ගොඩනැගී තිබෙන්නේ එක් ඡන්දයක් පවත්වා එය ජයගෙන, ඊළඟ ඡන්දයට යන්නයි. ඒක සෑම දේශපාලන පක්ෂයක්ම කළ වැරැද්දක්. ඒ නිසා පළමුවෙන්ම කළ යුත්තේ මැතිවරණ ආකෘතිය වෙනස් කරගැනීමයි.

 

ප්‍රශ්නය:- වත්මන් ජනාධිපතිවරයා නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා හැටියට ඉදිරිපත් වන බව ප්‍රකාශ වී තිබෙනවා. එවන් තැනකදී ගන්නා ස්ථාවරය කුමක් ද?

පිළිතුර:- මේ රටේ නිර්පාක්ෂික, පොදු අපේක්ෂක කතා විනෝදය සැපැයීම සඳහා මිස දේශපාලනයට යොදාගන්න එපා. ජනතාවට විහිළු සපයන්න ඉතිහාසය පුරාම ඔය වචන දෙකම මේ රටේ අර්ථ ශුන්‍ය කරපු වචන දෙකක්. මේ මොහොතේත් ඔය කතාව කරළියට එන්නේ විකාරරූපී හෝ හාස්‍යජනක අර්ථයෙන් මිස වැදගත් දේශපාලන අර්ථයකින් නෙමෙයි. අපි මේ මොහොතේ පුද්ගලයන් දෙස බලන්නේ නැහැ. ඉතිහාසය පුරාම අපට වැරැදුණේ පුද්ගලයන් පදනම් කරගෙන තීන්දු ගත් නිසයි. ඒක වැරැදියි කියා ඔප්පු කර අවසන්. ඒ නිසා කිසිදු පුද්ගල සාධකයක් පදනම් කරගෙන දේශපාලන තීන්දු ගන්න එපා කියා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අපි එහෙම තීන්දු ගන්නෙත් නැහැ. ඉතිහාසයේ සිදු වූ වැරැද්ද නිවැරැදි කරගත යුතු වේලාවක් මේක. දේශපාලකයාගේ ප්‍රතිපත්ති ප්‍රශ්න කරන තැනට මෙරට ඡන්දදායකයා පත්කළ යුතුයි. එසේ නොවුණොත් නැවත වතාවක් රැවැටීමට ලක්වී ආඩපාලි කියමින් කාලය ගෙවාවි.

 

ප්‍රශ්නය:- රටේ ආර්ථිකය යම් ස්ථාවර මට්ටමකට ගෙන එමින් ඇති පසුබිමක ජනතා කැමැත්ත ආණ්ඩුව දෙසට හැරෙන්නේ නැති ද?

පිළිතුර:- සැබැවින්ම ආර්ථිකය ගොඩනැගී තිබෙනවා නම් ඔබ කියන දේ සිදු වේවි. 2022 අප්‍රේල් 13 වැනිදා ණය, පොලී, වාරික ගෙවීම් අත්හිටුවීමෙන් පසු ඇති වුණේ කුමක් ද? අද අපි ඉන්නේ 2024 අප්‍රේල් මුල. හරියටම තව දින දොළහකින් ණය ගෙවීම අත්හිටුවා වසර දෙකක් වෙනවා. මේ කාලයේ නොගෙවා පැහැර හැරි ණයවල වටිනාකම පමණක් ඩොලර් බිලියන 5කට වැඩියි. අද පෝලිම් නැති බව ඇත්ත. එදා ගෝඨාභය ණය නොගෙවා ඉන්ධන, ගෑස් ගෙනාවා නම් පෝලිම් තිබේවි ද? ඔහු එදා ණය ගෙව්වා. මේ ආණ්ඩුව ණය නොගෙවා භාණ්ඩ ආනයනය කරනවා. සාපේක්ෂව විදේශ ප්‍රේෂණ සුළු අගයකින් අද වැඩි වෙලා. සංචාරක කර්මාන්තයේ ආදායමත් වැඩි වී තිබෙනවා. ඊට සාපේක්ෂව රාජ්‍ය වියදම් ඊට වඩා වැඩි වෙලා. එක්සත් ජාතීන්ගේ දර්ශක අනුව ඇති නැති පරතරය වැඩි වෙලා. 2023 ජනවාරි මාසයට වඩා ඒකපුද්ගල මාසික වියදම සියයට 144කින් වැඩි වී ඇති බව සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ගිය සතියේ නිවේදනය කළා. හතර දෙනෙක්ගෙන් යුත් පවුලක මූලික අවශ්‍යතා ඉටු කරගැනීමට මසකට රුපියල් 68,000ක් අවශ්‍ය බව ඔවුන් පෙන්වා දී තිබෙනවා. මේ දර්ශක දෙස බැලුවාම ආර්ථිකය දියුණු වී තිබෙන බව පේනවා ද? දියුණුවක් ඇති බව පේන්නේ වසර දෙකක් තිස්සේ ණය, පොලී, වාරික ගෙවීම පැහැර හැර ඇති නිසයි. මේක නරක තීන්දුවක් නොවුණත් ඒ හරහා අපනයන ආර්ථිකයක් සේවා ආර්ථිකයක් හදන්න මෙලෝ තීන්දුවක් ගෙන නැහැ..

 

ප්‍රශ්නය:- එහෙම නම් රට තවම තිබෙන්නේ අවදානම් තැනක ද?

පිළිතුර:- ආණ්ඩුවේ දේශපාලනඥයන් පමණක් නොව විපක්ෂයේ දේශපාලනඥයන් පවා මේ අර්බුදය හමුවේ වගකීම් සහගතව හැසිරිය යුතුයි. අපේ න්‍යායපත්‍රයේ අංක එක විය යුත්තේ අපේ පක්ෂය නොව මගේ රටයි. එතැන සිටිමින් සෑම අර්බුදයක්ම විග්‍රහ කරගත යුතුයි. ලෙඩේ පැහැදිලි කරන්න අපි දක්ෂයි. එහෙත් අපි බෙහෙත් දෙන්නේ නැහැ. බෙහෙත් කියන්නෙත් නැහැ. ඒ නිසා ලෙඩේ තේරුම් ගෙන ලෙඩේට ඇති ප්‍රතිකර්ම ජනතාවට පැහැදිලි කළ යුතුයි. එසේ නොවුණොත් ණය නැවත ගෙවීම අරඹන විට තවත් අර්බුදයකට ගමන් කරනවා. ඒ, කිසිදු ආර්ථික සංවර්ධනයක් කරගෙන නැති නිසයි. දැන් ආණ්ඩුව තනිකරම මැතිවරණ සංස්කෘතියට ඇතුළු වී ලාබ බාල සහනාධාර වැනි දේ මත ඉදිරියට යාමට කටයුතු කරමින් සිටිනවා. තොරොම්බල් වැඩ කරමින් ඡන්දය ගැනීමට මාන බලනවා මිස ආරම්භයේ තිබූ සැලසුම්වත් දැන් ආණ්ඩුව සතුව නැහැ. ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය මිලදී ගැනීමට අවශ්‍ය වෙළෙඳපොළ නිර්මාණය කරමින් සිටිනවා.

 

(*** සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ)