ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ‘සඳේ ගින්දර’ නමින් කෘතියක් නිර්මාණය කළේය. මේ එම කෘතියෙන් උපුටාගත් කොටසකි. 87-89 භීෂණයේ මතකය තුළ සරමින් ලියා ඇති මෙම කෘතිය එකල පැවැති මර්දනයේ ප්‍රමාණය ද හෙළි කරන්නකි.
සැබැවින්ම මා මාතර පැමිණියේ, කළුතර දිස්ත්‍රික්කයේ පූර්ණ කාලීන ශිෂ්‍ය නායකයකු ලෙස වැඩ කරමින් සිටියදීය. මාතර ශිෂ්‍ය අංශයේ දිස්ත්‍රික් ලේකම් ලෙස වැඩ භාර ගැනීමට යාමට එකඟ දැයි පක්ෂයේ ඉහළ ප්‍රධානීන් පළමුව විමසා සිටියේ මගෙන් නොව මා සමග එකට ජ.වි.පෙ. පූර්ණ කාලීන දේශපාලනයට පිවිසුණු මගේම පාසලේ මගේම සමකාලීන මිතුරකු වූ පැස්කුවල්ගෙන්ය. කුමක් හෝ අසාමාන්‍ය හේතුවක් මත ඔහු මේ ඉල්ලීමට එකඟ වූයේ නැත. ඒ ඇයි දැයි මා දැනගත්තේ පසුවය.
අප ඉගෙනුම ලැබූ පාසල, ජ.වි.පෙ.ට පූර්ණ කාලීන ශිෂ්‍ය ශිෂ්‍යාවන් බොහොමයක් එක්රැස් කර දීමට සමත් වූ පාසලක් විය. පාසලේ ශිෂ්‍ය සටන් අප මෙහෙයවූයේ ද එක්තරා විනය රීතියකට යටත්වය. එනම්, පාසල සාමාන්‍ය ලෙස පැවැත්වෙන දිනයන්හි පාසලේ විනය උපරිමව රැක දීමට “ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව” මැදිහත් වේ. අනෙක් අතට ශිෂ්‍ය විරෝධතා පැවැත්වෙන දිනයන්හි ඊට බාධා නොකර සිටීමට විදුහල්පතිවරයා සහ ගුරු මණ්ඩලය එකඟ වේ. ඒ අතින් අපගේ පාසල කුඩා විශ්වවිද්‍යාලයක් බඳු විය. පොලිසිය සමග මත ගැටුම්, කඳුළු ගෑස් ප්‍රහාර වෙතින් අඩුවක් නම් එහි දකින්නට නොවුණි.
මෙබඳු පරිසරයක් තිබූ මේ පාසලේ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ නායකයා මම වූයෙමි. පැස්කුවල්, දමිතා, රමාල්, සංජය ආදි පිරිසක් පසුව පූර්ණ කාලීනව ජ.වි.පෙ. දේශපාලනය හා කැපවුණි. ඉන්දු - ලංකා ගිවිසුමත් ඒ සමග ආ ශිෂ්‍ය මර්දනයත් තවත් කාරණා කිහිපයකුත් මීට හේතු විය. කෙසේ වෙතත්, මා පැස්කුවල් හා දමිතා එකම කාලයක ජ.වි.පෙ. පූර්ණ කාලීන දේශපාලනයට එක්වූවෝ වෙති.
පසුව මා දැනගත් පරිදි මාතර දිස්ත්‍රික්කයට මාරු වීමට කැමැති දැයි විමසූ විට පැස්කුවල් එය ප්‍රතික්ෂේප කර ඇත්තේ, ඒ වන විටත් ඔහු හා දමිතා අතර ගොඩනැගී තිබූ, එකිනෙකා අතින්වත් ස්පර්ශ නොකළ, අධ්‍යාත්මිකව පමණක් ඇතිව තිබූ ආදරය හේතු කොටගෙනය.
පැස්කුවල්ගේ ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව පක්ෂයේ කලාප (දකුණු කලාප) බලධාරින් මේ ගැන විමසා සිටියේ මා වෙතිනි. මම එයට දෙවතාවක් නොසිතා එකඟ වූයෙමි. එසේ එකඟ වීමට ඔවුහු මා වෙතින් හේතු විමසා සිටියහ. මා දුන් හේතු මෙසේය.
පළමුවැන්න: මගේ වැඩිමල් සොයුරිය ජීවත්ව සිටින්නේ මාතරය.
දෙවැන්න: ඊට අමතරව මගේ මවගේ තවත් නෑදෑයෝ දිස්ත්‍රික්කය පුරා ජීවත් වෙති.
තෙවැන්න: මේ නිසා හොඳ “කටඋත්තරයක්” සහිතව ගමන් බිමන් යාමේ හැකියාව මා සතුව තිබේ.
සතරවැන්න: මාතරට අලුත් අයකු බැවින් පරණ “බිල්ලන්” (පාවා දෙන්නන්) කිසිවෙක් මා නොදැන සිටීමය.
මාගේ පැහැදිලි කිරීම පිළිගත් පක්ෂයේ ඉහළ බලධාරියෝ ඉන් පසුව කීවේ ඇඟ කිලිපොළා යන කතාවකි.
“මාතර දැනට කිසිවෙක් නෑ. උන් සියල්ලම වාගේ විනාශ කර අවසානයි. හැබැයි ඉතිරි වුණු මිනිස්සු කිහිප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලො එක්ක වැඩේ කරද්දි අංක එක විශ්වාසය. ඒ වගේම රහසිගතභාවය. ඒ ගුණාංග දෙක තියෙනවා නම් මේ අභියෝගය ජය ගන්න පුළුවන්. ආ... අනිත් එක, සතුරාව අවතක්සේරු කරන්න එපා. හැම වෙලේම හිතන්න සතුරා ඉන්නේ අත ළඟ කියලා. තේරුණා ද?”
මම එය තේරුම් ගත් බවත්, පිළිගත් බවත් පැවැසුවෙමි. ඔවුහු මට මාතර පිටත් වීමට දිනයක් සහ හක්මන නගරයේදී ලබා දෙන “සම්බන්ධතාවක්” ගැන පවසා නික්ම ගියහ. දැන් මා අලුත් අත්දැකීමක් ලබා ගැනීමට යාමට සූදානම් විය යුතුය.
මේ අවස්ථාව පැස්කුවල් ප්‍රතික්ෂේප කළේ ඇයි දැයි මටවත් කීවේ නැත. මා ඒ ගැන ප්‍රශ්න කළ විට ඔහු කීවේ “නිකන් බං” කියාය.
මුලින් ගාල්ලත් පසුව මාතරත් සහමුලින්ම පාහේ මර්දනය කළ ආර්.ඩී.එෆ්. (RDF-ක්ෂණික විහිදුම් බළකාය) ඒ වන විටත් කළුතරට පැමිණ තිබිණි. මේ වන විට කළුතරට හැම අංශයකින්ම පාහේ නායකත්වය ලබා දෙමින් සිටියේ ගාල්ලෙන් ආ සහෝදරයන්ය. ඔවුහු ඉතා ලෙන්ගතු නායකයන් වූහ. විශේෂයෙන්ම “ගයා අයියා” ශිෂ්‍ය අංශයේ කළුතර දිස්ත්‍රික් ප්‍රධානියා විය. ඔහු ඉතා කුළුපග සගයෙකි. නායකයකුට වඩා මිතුරෙකි. මෙවන් නායකයන් සමග ඇති වූ සුවිසල් බැඳීම පැස්කුවල්ට මාතර බලා යෑම ප්‍රතික්ෂේප කිරීමට හේතු වන්නට ඇතැයි මම එකල උපකල්පනය කළෙමි.
කෙසේ වෙතත්, මා මාතර පිටත්ව යා යුතු දිනය උදා විය. කෙතරම් මර්දනය තිබුණත් එදා මාගේ නික්ම යෑම වෙනුවෙන් කළුතර ශිෂ්‍ය අංශයේ පූර්ණ කාලීනව වැඩ කළ ක්‍රියාධරයන් සහ නායකයන් කිහිප දෙනෙක්ම එක් තැනකට රොක් වී සිටියහ. ඒ කළුතර විද්‍යාලය පිටුපස පිහිටා ඇති නදීගේ නිවෙසේය. (එය අන්වර්ථ නාමයකි. ඇය කළුතර බාලිකා විද්‍යාලයෙන් පූර්ණ කාලීන දේශපාලනයට ආ සොයුරියකි.) නදීගේ යැයි කීවාට ඇගේ පියාට හා මවට අයත් එම නිවෙස අපගේ තෝතැන්නක් ලෙසින් හැඳින්වුව ද වරදක් නොවේ.
රැස්ව සිටි සැවොම සමග සතුටු සාමීචියේ යෙදී සිටි මා ආහාර පානාදිය ලබා ගැනීමෙන් පසුව පිටත්ව යාමට සූදානම් වූයේ ජ.වි.පෙ. පත්‍රිකා තොගයක් ද “බ්‍රවුන් පේපර්” බෑගයක ඔතාගෙනය. මෙය දුටු කමල් සහෝදරයා, වහාම කිසිවකු නගරයට පිටත් කර යවා අලුත උපන් දරුවකුට ගෙන යන තෑගි කට්ටල සහිත පාර්සලයක් ගෙන ආවේය. පත්‍රිකා සියල්ල එහි යටින් අතුරා, දරුවන්ගේ තෑගි උඩින් සැකසූ ඔහු රිබන් පටි හා වෙනත් දවටන ඔතා එය නියම තෑගි පාර්සලයක් බවට පත් කළේය. මීළඟට සිදු වූයේ කිසිවකුත් අපේක්ෂා නොකළ සිදුවීමකි.
“පිස්සුද ඔයාලාට? මේ කොල්ලා මහා ලොකු තාත්තා කෙනෙක් වගේ මෙහෙම පාර්සලයක් අරන් යනකොට සැක හිතෙන්නෙ නැද්ද? ඉන්න මම සාරියක් ඇඳගන්නකන්. මමත් එනවා උදය පුතා (හෙවත් චමී) එක්ක මේ ගමන යන්න.”
(මෙකල කළුතරදී මා හට පාවිච්චි කළ නම වූයේ චමී හෙවත් චමින්දය.)
අපි කවුරුත් එය අනුමත කළෙමු. පසුව මේ ආදරණීය කලුතර අම්මා (ඇය නදී සහෝදරියගේ මව විය) සහ මම කළුතරින් මාතර බසයකට ගොඩ වී හිටගෙනම මාතර බලා ගමන් කළෙමු. අනතුරුව යා යුතුව තිබුණේ හක්මනටය. හක්මන බසයේ හරි බරි ගැහී වාඩි වූ අප දෙපළ දැන් ඉතින් ප්‍රශ්නයක් ඇති නොවෙනු ඇතැයි සිතා සැනසුම් සුසුමක් හෙළුවෙමු.
හක්මන බසය, තිහගොඩ නගරය කරා සේන්දු වූ වහාම එය නවතන මෙන් යුද හමුදාව විසින් අණ කරන ලදී.
“තම තමන් ගෙනාපු පාර්සල් එක්ක හැමෝම බස් එකෙන් බැහැලා පෝලිමේ එන්න”
ඒ, හමුදා නියෝගය විය. අම්මා මගේ මුහුණ දෙස බලා සිනාසුණි. අපි එකා පසුපස ගමන් කළෙමු. මට ඉදිරියේ සිටියේ අම්මාය.
“කොහෙද යන්නේ?”
“හක්මන සර්”
“මොකටද යන්නේ?”
“ලොකු දූට බබා හම්බ වෙලා සර් එයා බලන්න”
“මේ කවුද?”
“පොඩි පුතා සර්”
“ඔය මොකක්ද?”
“බබාට තෑගි පාර්සලයක් සර්”
“මෙහෙ දෙනවා බලන්න”
අම්මාට කෙසේ වෙතත් දැන් මා හට නම් හීන් දාඩිය දමා තිබේ. සාමාන්‍යයෙන් මෙවැනි තෑගි පාර්සලයක බරට වඩා මෙහි බර වැඩිය. ඒ බව වැටහී සැක සිතුණහොත් සියල්ල අවසානය.
“ආ... ගන්නවා. යන්න පුළුවන්”
“ඔය ඊළඟ එක්කෙනා එන්න!”
අපි ඒ කඩඉම පසු කළෙමු. කළුතර අම්මාට පින් සිදුවන්නට අපි ඒ කඩඉම පසු කළෙමු. කුමන අවස්ථාවක ගිය ද කළුතර අම්මාගේ ගෙදර කෑම වේල වරදින්නේ නැත. ඇය තමාට එන අනතුර තකන්නේ ද නැත. මැක්සීම් ගෝර්කිගේ අම්මාට ඇය දෙවැනි වන්නේ ද නැත. ඒ අම්මා නොවන්නට මා අද ජීවතුන් අතර ද නැත.
නිරුපද්‍රිතව හක්මනට ආ අපි දී තිබූ උපදෙස් පරිදි කටයුතු කළෙමු. සියල්ල නිම වීමෙන් පසුව කළුතර අම්මා තනිවම කළුතර බලා පිටත් වූවාය. ඇය මේ සියල්ල කළේ නිස්සරණාධ්‍යාසයෙනි. ලාභ, යසඉසුරු ඇය කිසිවක් අපේක්ෂා කළේ නැත. එහෙත් අද ඇය කළුතර යන්නේ කිසිවකුට පහසුවෙන් අත් කරගත නොහැකි නිරාමිස ප්‍රීතියකිනි. ඒ ප්‍රීතිය ජීවිතයක් බේරීමේ ප්‍රීතියයි. එය සුළුපටු ප්‍රීතියක් නොවේ.
මාතරට පැමිණ සතියක් ගත වීමට මත්තෙන් මා හට ආරංචි වූයේ පැස්කුවල්, දමිතා, නදී, ලියනගේ ඇතුළු පිරිසක් පානදුර පොලිසියේ අත්අඩංගුවට පත්ව ඇති බවය. පසුව දැන ගැනීමට ලැබුණේ පැස්කුවල් මරා දමා ඔහුගේ නිරුවත් මළ සිරුර ටයර් දමා පුලුස්සා පොතුපිටිය සොහාන් බිමෙහි දමා ඇති බවය. දමිතා, නදී වැන්නන්ට දරුණු වද හිංසා පමුණුවන ලද බව ද ආරංචි විය. ඔවුන් සියලු දෙනාම හෝ වැඩි දෙනකු අත්අඩංගුවට පත්ව තිබුණේ එකම ස්ථානයක රැඳී සිටියදීය.
ගාල්ලේ සිට කළුතරට පැමිණි පක්ෂයේ ප්‍රධාන පෙළේ දිස්ත්‍රික් නායකයන් රැසක් ද මේ ඉරණමට ලක් වූ බව දැනගත හැකි විය. මේ අතර ගයා අයියා ද විය. ඉතා ලෙන්ගතු කුලුපග සහෝදරයකු වූ ඔහු ගැන ආරංචි වූයේ “බිල්ලකුව” පාවා දෙන බවය.
“බිල්ලකු” යනු කවරෙක් ද? අත්අඩංගුවේදී දෙනු ලබන වද හිංසාවලට බියෙන් ඊට පෙරාතුව හෝ වද හිංසාව ලැබ එය තවදුරටත් දරාගත නොහැකි වීමෙන් හෝ තමන් සමග පක්ෂයේ එකට වැඩ කළ දන්නා කියන පුද්ගලයන්, උදව් උපකාර කළ ස්ථාන ආදිය ආරක්ෂක අංශ වෙත පාවා දෙනු ලබන පුද්ගලයා වනාහි බිල්ලකු වේ.
මේ වූ කලී මර්දන යුගයකදී නිර්මාණය වන බිල්ලාය. සාමකාමි දේශපාලන යුගයකදී නිර්මාණය වන්නේ මීට වෙනස් බිල්ලන්ය. ඔවුන් කරන්නේ පුද්ගලයන් පාවා දීමට වඩා (අවශ්‍ය ප්‍රමාණයට එය ද සිදු කරයි) පක්ෂයේ ප්‍රතිපත්ති පාවා දීමය.
මේ කාලයේ මගේ තාත්තා, මරා ටයර් දමා පුළුස්සා ඇති සෑම මළ සිරුරක්ම නරඹන්නට යන්නෙකි. ඒ විශේෂයෙන්ම කළුතර දිස්ත්‍රික්කය තුළය. පැස්කුවල්ගේ මළසිරුර බැලීමට ද ඔහු පොතුපිටිය කනත්තට පැමිණ තිබුණි. ඔහු සෙවූයේ ඔහුගේ පුතාය. අඩුම තරමේ ඔහුගේ පුතාගේ මළ සිරුරය.
මේ වන විට මගේ එකම අයියාව ද අත්අඩංගුවට ගෙන බූස්ස හිර කඳවුරට ගාල් කර අවසන්ය. මේ සියලු හේතු කාරණා කොටගෙන අම්මා මානසික රෝගියකු බවට පත්ව සිටියාය. කෙසේ වෙතත් ඒ වන විටත් මා සිටියේ මාතර නිරුපද්‍රිතවය.
මා පාසල් යන සමයේ සිටම සමාජ – දේශපාලන කරුණු කෙරෙහි උනන්දු වූවෙක්මි. මුලදී චිත්‍ර කතා පත්තර බැලුව ද හතේ පන්තිය පමණ වන විට මා පුරුදුව සිටියේ ඉරිදා පත්තර කියවීමය. පසු කාලීනව එය ඇබ්බැහියක් බවට පත්වුණි. මේ හේතුව මතදෝ ජ.වි.පෙ. කෙරෙහි උනන්දුවක් ද කුඩා කල සිටම මා තුළ ඇතිව තිබුණි. අප පදිංචිව සිටි නිවෙසට යාබදව සිටියේ ජ.වි.පෙ.ට සම්බන්ධ පිරිස් යන එන පවුලකි. එහි වූ අජිත් මාගේ සම වයසේ මිතුරාය. දිනක් මා අජිත්ට යෝජනා කළේ ජ.වි.පෙ. පන්ති පහ කිරීමට අවශ්‍ය බවය. ඒ, ඒ අය දැනගැනීමට මා තුළ වූ කුතුහලය සංසිඳුවා ගැනීම පිණිසය. අජිත් ඊට එකඟ නොවීය. ඒ, එම පන්ති පහ කිරීමට ගිය බොහෝ දෙනකුගේ ගමන අවසන් වූයේ ජ.වි.පෙ. පූර්ණ කාලීන වූවන් බවට පත්වීමෙන් නිසාය. තමන් එයට සූදානම් නැති බව ඔහු අව්‍යාජව ප්‍රකාශ කළේය.
පසුව මා මේ බව පැස්කුවල්ට කී බව මතකය. ඔහු මගේ යෝජනාවට එක පයින් එකඟ විය. අප දෙදෙනාගේම පෙරැත්තය මත පසුව අජිත් ද ඒ සඳහා එකඟ විය.
ඒ අනුව 1988 ජුනි මස දින කිහිපයකදී හිරන්ත නමැති දක්ෂ තරුණ සහෝදරයකු මගින් අපි පන්ති පහ කරගත්තෙමු. අවසානයේ මමත්, පැස්කුවලුත් ජ.වි.පෙ. පූර්ණ කාලීනයන් ලෙස අනාගතයේදී එක්වීමට එකඟ වූ අතර, අජිත් ඊට එකඟ වූයේ නැත.
අ.පො.ස. (සා.පෙළ) සමත්ව උසස් පෙළ හදාරන විට ජ.වි.පෙ. පූර්ණ කාලීනයකු වීමට මට මහත් ඕනෑකමක් තිබුණි. එහෙත් මාගේ තාත්තා ඊට තදබල ලෙස එරෙහි විය. වස කුප්පියක් තම සාක්කුවේ දමාගෙන සිටි ඔහු “උඹ ජේවීපී ගියොත් මම වස බොනවා” යැයි තර්ජනය කළේය. දැන් මා සිටින්නේ දෙලොවක් අතරය. මමත් මගේ සටන අත්හළේම නැත. තාත්තා අවසානයේදී මගේ කේන්දරය රැගෙන ඔහු පිළිගන්නා ප්‍රබල දෛවඥයකු හමු වීමට ගොස් තිබුණි. ඔහු මා ගැන කී දේ තාත්තා අම්මාට පවසනු පසුව මම අසා සිටියෙමි.
“පුතාට ගන්න තීරණ ගන්න දෙන්න. එයාට මාරක තුනක් තියෙනවා. ඒකට බෝධි පූජා පවත්වන්න.”
එය මට ඉබ්බා දියේ දැමීමට සමාන විය. පසු දාම මම නිවෙසින් පිට වූයේ දිග ලියුමක් ලියා තබාය.
නිතිපතා බෝධි පූජා පැවැත්වුවත්, පැමිණි ආරංචි නරක ඒවා විය. මේ වන විට තාත්තා, පිලිස්සූ මළ සිරුරු බලමින් ඇවිද ගියේය. අම්මා මානසික රෝගියකු වූවාය.
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්