සත්‍යය විකෘති කරන්නෝ


දේශපාලන නායකයන් වේදිකාවල දී මහජනතාවගේ දුක වෙනුවෙන් පෙනී සිටින බව පවසමින් ජනප්‍රියතාව උදෙසා සිදුකරන ප්‍රකාශ කොතෙක් දුරට යථාර්ථයට ගැළපෙන්නේද යන්න පිළිබඳව මහජනතාව දැඩි විමසිල්ලෙන් සිටීම අවශ්‍ය වන යුගයකට අපි පැමිණ සිටින්නෙමු. එයට හේතුව ප්‍රසිද්ධ වේදිකාවලදී ජාතික වැදගත්මක් ඇති කරුණු පිළිබඳව පවා ජනතාව නොමග යවන ප්‍රකාශ ඉදිරිපත් කළත් එම ප්‍රකාශ අනුව කටයුතු කිරීමට ඔවුන් ඉදිරිපත් නොවීමයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා ඇතුළු නියෝජිත කණ්ඩායමක් පසුගිය 11 වැනි දා සිට 19 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමේ ප්‍රගතිය පිළිබඳව සමාලෝචනයක යෙදුණේය. අදාළ කාලය තුළ එම කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් පිරිසක් ද හමුවූහ. අවසානයේ IMF ශ්‍රී ලංකා ප්‍රධානියා මාධ්‍ය හමුවක් පවත්වා ගිවිසුමෙන් පසු ඇතිව තිබෙන ප්‍රගතිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කළේය. එම සිදුවීම් සතරට අදාළ කරුණු නිරීක්ෂණය කරන විට අද රට මුහුණ දී සිටින ප්‍රධාන ගැටලු‍ව වන ආර්ථික අර්බුදයේ දී සමහර දේශපාලන පක්ෂ බලය සඳහා මහජනතාව රැවටීම පමණක් අරමුණු කරගෙන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාවක් සැලසේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම මුලින්ම හමු වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. ජනවාරි 11 වැනි දින ජනාධිපතිවරයා සමග පැවැත්වූ හමුවේ දී IMF සමඟ ඇතිකරගෙන තිබෙන එකඟතාවල ප්‍රගතිය පිළිබඳව මෙන්ම ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳව ද සාකච්ඡා පැවැත්වුණි. ගිවිසුමට අනුකූලව හඳුන්වා දෙන ලද බදු ක්‍රම සහ පසුගිය දා ක්‍රියාත්මක කරන ලද සියයට 3 ක වැට් බදු වැඩි කිරීම වැනි හේතු නිසා ජනතාව මත සැලකිය යුතු පීඩනයක් එල්ල වී තිබේ. මහජනතාව මත බර පැටවීමෙන් තම ජනප්‍රියතාව අඩුවන බව ජනාධිපතිවරයා අවබෝධ කරගෙන සිටින නමුදු මේ අවස්ථාවේ දී ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට වෙනත් විකල්ප නොමැති බව ඔහු හොඳින් දැන සිටී. එබැවින් ඇති කරගෙන තිබෙන කොන්දේසි පිළිබඳව වෙනසක් ඇති කිරීම ගැන කරුණු ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති  බව ඔහු හොඳින් දැන සිටියේය.

එවැනි තත්වයක් තුළ දෙපාර්ශ්වයේ සාකච්ඡාවේ දී දෙපාර්ශ්වයේම අවධානය යොමු වූයේ ඇති කරගෙන තිබෙන එකඟතා නියමිත කාල පරිච්ඡේදය තුළ සම්පූර්ණ කර ගැනීමත් ඒ තුළින් රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට කටයුතු කිරීමත් පිළිබඳවය. මෙම සාකච්ඡාවේ විස්තර ඇතුළත් ප්‍රකාශයක් ජනාධිපති මාධ්‍ය අංශය විසින් මාධ්‍යවලට නිකුත් කරනු ලැබ තිබුණි.

සාකච්ඡාවෙන් පසුව පැවැති රැස්වීම් කිහිපයකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ මෙම අවස්ථාවේ දී තමා සැලකිලිමත් වන්නේ මහජනතාවගේ ඡන්දය දිනා ගැනීම පිළිබඳව නොවන බවත් තම අරමුණ වන්නේ කොතෙක් ජනතාවගේ අප්‍රසාදයට පත් වූවත් ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම බවත්ය.

IMF නියෝජිත කණ්ඩායම ජනවාරි 18 වැනි දා රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක නියෝජිතයන් සමඟ සාකච්ඡාවලට සහභාගී විය. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එම පක්ෂයේ නියෝජිත කණ්ඩායමක් සමග විපක්ෂ නායක කාර්යාලයේ දී සාකච්ඡාවක්  පැවැත්වුණි. එම සාකච්ඡාවට ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, ඉරාන් වික්‍රමරත්න ඇතුළු පිරිසක් සහභාගී වූහ. සාකච්ඡාව පිළිබඳව සමගි ජන බලවේගය කිසිදු නිවේදනයක් නිකුත් කර තිබුණේ නැත. ඒ පිළිබඳව තොරතුරු දැනගැනීමට හැකි වූයේ එම පක්ෂයේ නායකයා සහ සාකච්ඡාවට සහභාගී වූ සමහර පිරිස් විසින් මාධ්‍යවලට කරනු ලැබ තිබූ ප්‍රකාශ මගින්ය. ආචාර්ය හර්ෂ ද සිල්වා Sunday Times  පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ පාර්ශ්ව දෙක අතර පැවැති සාකච්ඡාවේ දී වර්තමාන වැඩපිළිවෙළ ප්‍රධාන වෙනස්කම්වලින් තොරව පවත්වාගෙන යෑම පිළිබඳව සුහද අවබෝධයක් ඇතිකරගත් බවයි. ප්‍රේමදාස මහතා  ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති පරිදි විස්තීර්ණ ණය ගිවිසුම සංශෝධනය කරන්නේ නම් එය කවරාකාරයෙන් සිදු කරන්නේ දැයි යන්න IMF කණ්ඩායම් නායකයා ඍජුවම ප්‍රශ්න කර සිටියේය. තමන් බලයට පැමිණියහොත් සමහර බදු සංශෝධන ඉදිරිපත් කරන බව ඔවුන් විසින් ප්‍රකාශ කරනු ලැබ තිබූ  නමුත් මූලික එකඟතාවල ප්‍රධාන වෙනස්කම් ඇති කිරීමකින් තොරව ගිවිසුම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කර සිටියේය.

සජිත් ප්‍රේමදාස මහතා සහ එම පක්ෂයේ නායකයන් IMF සමග ගිවිසුමේ බොහෝ වෙනසක්ම් ඇති කර ජනතාවට සහන සලසන බව  දේශපාලන වේදිකාවලදී ප්‍රකාශ කර ඇති නමුදු එවැනි වෙනස්කම් පිළිබඳව කිසිදු අදහසක් මෙම සාකච්ඡාවේ දී ප්‍රකාශ වූ බවක් නොපෙනේ. බඩු මිල අඩු කිරීමක්, පඩි වැඩි කිරීමක් හෝ ගිවිසුමට එහා ගිය වෙනත් කිසිදු විකල්පයක් පිළිබඳව අදහසක් කිසිදු ආකාරයකින් IMF නියෝජිතයන්ට ඉදිරිපත් කළ බවක් ද නොපෙනේ.

IMFනියෝජිතයන් එදිනම තවත් දේශපාලන පක්ෂයක් සමඟ සාකච්ඡාවක් පැවැත්වූයේය. ඒ ජනතා විමුක්ති පෙරමුණ සමගයි. ඒ සඳහා නියෝජිත කණ්ඩායම එම පෙරමුණේ කාර්යාලයට ගිය අතර පක්ෂ නියෝජිත කණ්ඩායම සුනිල් හඳුන්නෙත්ති සහ ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු පිරිසකගෙන් යුක්ත විය.  සාකච්ඡාවේ විශේෂත්වය වූයේ රජය IMF සමඟ ඇතිකරගෙන තිබෙන ගිවිසුම පිළිබඳව විශාල විරෝධතාවක් ප්‍රකාශ කරන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා එම සාකච්ඡාවට සහභාගී නොවීමයි.

මෙම සාකච්ඡාව පිළිබඳව ද ජනතා විමුක්ති පෙරමුණ විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබුණේ නැත.  සාකච්ඡා කළ කරුණු පිළිබඳව තොරතුරු දැනගැනීමට ලැබුණේ සුනිල් හඳුන්නෙත්ති මහතා Sunday Times   පුවත්පතට කර තිබූ ප්‍රකාශවලිනි. ඔහු ප්‍රකාශ කර තිබුණේ පක්ෂයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කිරීම පිළිබඳව ප්‍රශ්නයක් නැති නමුත් එම ජාත්‍යන්තර ආයතනයේ වැඩසටහන් ජාතික වැදගත්කම අනුව සකස් විය යුතු බවයි. එසේ වුවද දැනට කරගෙන යන කටයුතු හෝ ආර්ථික වැඩසටහන් නවතා දැමීමට හෝ විශාල සංශෝධන ඇති කිරීමට හෝ යෝජනා වූ බවක් ද නොපෙනේ. එම පක්ෂයේ සමහර නායකයන්  ප්‍රකාශ කර තිබූ පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි පිළිගැනීම වෙනුවට එම පක්ෂය  ඉදිරිපත් කරන කරුණු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පිළිගත යුතු බවක් ප්‍රකාශ කළ බවක් ද නොපෙන්. විදේශ විනිමය අර්බුදයට තම සාමාජිකයන්  ඩොලර් 500 බැගින් එවා විසඳුම් ලබා ගන්නා බවක් ප්‍රකාශ කළ බවක් ද නොපෙනේ.

මෙම පක්ෂ දෙක විසින්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග පැවැත්වූ සාකච්ඡාවල දී දැනට ක්‍රියාත්මක කරන ගිවිසුම සම්බන්ධයෙන් වෙනස්කම් ඇති කළ යුතු බවට කිසිදු ප්‍රබල යෝජනාවක් ඉදිරිපත් කර නැති බව එම සාකච්ඡා පිළිබඳ කරුණු නිරීක්ෂණය කරන විට පැහැදිලි වන මූලිකම කරුණ වේ. අඩුම තරමින් දැනට බදු හා වෙනත් යෝජනා හේතුවෙන් මහජනතාව විශාල පීඩනයකට ලක්ව ඇති බව පෙන්වාදීමක් හෝ එම තත්වයට විසඳුම් වශයෙන් වහාම ක්‍රියාත්මක කළ යුතු එක යෝජනාවක් හෝ ඉදිරිපත් කර නැති බව පෙනෙන්නට තිබෙන පැහැදිලි සත්‍යය වේ.

පක්ෂ දෙකේම නායකයන් සහ එම පක්ෂවල අවශේෂ පුද්ගලයන් මහජන වේදිකාවල දී කරන ප්‍රකාශ හුදු රඟ දැක්මක් පමණක් බවත් ඒවා ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නොමැති බව ඔවුන් විසින් ම වටහාගෙන ඇති බවත් පැහැදිලි වේ.

මෙම සිදුවීම් මාලාවේ සතරවැනි අවස්ථාව වූයේ IMFප්‍රධානී බෲවර් සහ නියෝජිත කණ්ඩායම  පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවයි. චාරිකාව අවසන් කරමින් ජනවාරි 19 වැනිදා ශ්‍රී ලංකා මහබැංකු පරිශ්‍රයේදී එය පැවැත්විණ. එහිදී ඔහු පෙන්වා දුන්නේ ගිවිසුම නියමිත අයුරින් ක්‍රියාත්මක කර ඇති බවත් එහි ප්‍රගතිය දැනටමත් දකින්නට ලැබෙන බවත්ය. 2023 වසරේ තුන්වැනි කාර්තුවේ දී ධන ආර්ථික වර්ධනයක් වාර්තා කිරීම, උද්ධමනය අඩු වීම, රජයේ ආදායම වැඩි විම, විදේශ සංචිත වැඩි වීම ආදියෙන් ඒ බව පැහැදිලි වන්නේ යැයි ද එකඟතාවලට අනුව ඉදිරි කටයුතු පවත්වාගෙන යැමෙන් ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් ශක්තිමත් වීම සඳහා අවස්ථාව සැලසෙන බව ද ප්‍රකාශ කළේය.

මෙම සිදුවීම් හතර මගින් කියවන කතාව අංගසම්පූර්ණ වන්නේ පස්වැනි කොටසක්ද එකතු කිරීමෙන්යැයි සිතමි. ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා IMF නියෝජිත පිරිස පැමිණීමට පෙර දින 2024 ආර්ථික මූල්‍ය ස්ථායීකරණ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති පෙර දැක්ම’ ඉදිරිපත් කරන අවස්ථාවේ කළ ප්‍රකාශය පස්වැනි කොටස ලෙස සැලකිය හැක. ‘2022 දී ඉන්ධන, විදුලිය, ගෑස් පෝලිම් වැනි දුෂ්කරතා රාශියක් මැද ජන ජීවිතය ගෙන යෑමට මහජනතාවට සිදු වූ තත්වය වළක්වා ගනිමින් මේ වනවිට විදේශ විනිමය අනුපාත ස්ථාවර කර ගැනීම, රුපියලේ අගය සියයට 12කින් වැඩිවීම, 2023 තුන්වැනි සහ හතරවැනි කාර්තුවල ආර්ථිකය ධන මට්ට්මකට ගෙන ඒම, උද්ධමනය සියයට 70 සිට 3.9කට පහළ දැමීම, පොලී අනුපාත අඩු කිරීම ඇතුළු ආර්ථික ස්ථායීකරණ ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට රටට හැකි වී තිබේ. ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගෙන ඇති එකඟතා අනුව වර්තමාන රජය නොව කවුරුන් රට පාලනය කළද එම එකඟතා සමඟ කටයුතු කිරීමට සිදු වන අතර වෙනත් විකල්පයක් නොමැත.’’ 

 

(***)

කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර