ශ්‍රී ලංකාවේ උරුමය ලොවට ගෙනගිය සෙනරත් පරණවිතාන


මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා අභාවයට පත් වී අදට (4) වසර 49ක් සපිරීම නිමිත්තෙන් පළ වන ලිපියකි.

මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා අපරටේ ඉතිහාසය සහ පුරාවිද්‍යාව ආශ්‍රිත වූ උරුමය මීට වසර පනහක පමණ ඉහතදී ලොවට ගෙනගිය මහා ප්‍රාඥයකු බව අද අප රටේ ජනතාවට වඩා ලෝක ජනතාව ඉතා හොඳින් දන්නා කරුණකි.

මහාචාර්ය සෙනරත් පරණවිතාන ජ්‍යෙෂ්ඨතම ලාංකික පුරාවිද්‍යාඥයා ලෙස පිළිගැනීම සම්බන්ධයෙන් කිසිදු මතභේදයක් ඇති විය නොහැකිය. අපේ රටේ ඕනෑම ගමක, ගෙයක, පන්සලක හෝ සභාවක ‘පුරාවිද්‍යාව’ යන වචනයත් සමගම පරණවිතාන මහතාගේ නමත් නිතැතින්ම සිහියට නැගෙනු ඇත. මීට වඩා අමරණීය අනුස්මරණ ස්මාරකයක් විද්‍යාඥයකුට හෝ ලේඛකයකුට අවශ්‍ය නොවේ.
පුරාවිද්‍යා මහාචාර්ය සේනක බණ්ඩාරනායක (තුන්කල් දුටු පරණවිතාන – සිරිසමන් විජේතුංග සරසවි ප්‍රකාශකයෝ)

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සිරිමා කිරිබමුණේ මහත්මියගේ සඳහනක් මෙසේය.
පරණවිතාන මහතා මූලික වශයෙන් උනන්දුව දැක්වූයේ පුරාවිද්‍යාව කෙරෙහිය. අනාගතයේ දී ඒ මහතාගේ අගය මනිනු ඇත්තේ ඒ මහතා පුරාවිද්‍යාව අරබයා කළ සේවය මුල්කොට ගෙනය. එසේ වුවද, ඉතිහාසය පිළිබඳ පොතපත ලිවීම පරණවිතාන මහතාගේ කාර්යයන් අතර වැදගත් අංශයක් විය. මෑතක සිට ඒ මහතා ඉතිහාසය ගැන දැඩි උනන්දුවක් දක්වන්නට පටන් ගෙන ඇත. ලංකාවේ පැරණි අභිලේඛනයන්හි දක්නට ලැබෙන සාක්ෂිවල මහත් විවිධත්වය නිසා මෙම පඬිවරයාගේ අවධාන විෂයයන් රාශියක් කෙරෙහි යොමු වී ඇත. මේ අනුව පරණවිතාන මහතාගේ අදහස් පිළිගත ද නොපිළිගත ද ලංකාවේ පුරාතන හෝ මධ්‍යතන ඉතිහාසය පිළිබඳ කවර විෂයයක් හෝ විමසා බලන ඉතිහාසඥයකුට පරණවිතාන මහතාගේ අදහස් ගැන සඳහන් නොකර සිටිය නොහැකිය.

(මහාචාර්ය සිරිමා කිරිබමුණේ - පරණවිතාන මහතා ඉතිහාසඥයෙකු වශයෙන් ලියූ ලිපියෙනි. පුරාවිද්‍යා සඟරාවේ 8 වැනි කලාපය)

මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා පිළිබඳ 1982 මා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සම්බන්ධවීමෙන් පසුව මෙතෙක් සෑම වසරකම කුමන හෝ ජනමාධ්‍යවල එතුමා ගැන අවස්ථා දෙකක් අරබය ලිපි සැපයීමේ යෙදුණි. එයින් එකක් එතුමා 1896 දෙසැම්බර් මස 26 වැනිදා උපත ලැබූ දිනය අරමුණු කර ගෙනය. අනෙක් අවස්ථා එතුමාගේ අභාවය සිදු වූ 1972 ඔක්තෝබර් මස 4 වැනිදා නිමිති  කර ගෙනය. මේ (ඔක්. 4දා) එතුමා අභාවයට පත් වී වසර 49 ගතවන දිනයයි.

ආචාර්ය පරණවිතාන පඬිවරයා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 1940 සිට 1956 තෙක් පුරාවිද්‍යා කොමසාරි නම් වූ එම තනතුර බැබලවීමට සමත් වූ බව විද්වතුන් සියලු දෙනාම පිළිගන්නා කරුණකි. 1940 වසරේ දී ආචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් (ලාංකික) ලෙසට පත්වීමට අදාළව හෙළයේ තවත් පඬිවරයකු වූ දකුණු පළාතේම උපත ලද මුණිදාස කුමාරතුංග පඬිවරයා මෙසේ සඳහන් කර ඇත.

‘ඇතැමෙක් තනතුරු නිසා බැබලෙති. එහෙත් පරණවිතාන මහතා පිළිබඳව එය නොයෙදේ. පරණවිතානයන් නිසා තනතුරු බැබලේ - මුනිදාස කුමාරතුංග (සැකසූ සුබස දෙවන වෙළුම 8 කලඹ – 1940-09-09)

මෙම කරුණ අද වනවිට කෙතරම් සත්‍යයක් ද යන්න ඉතා පැහැදිලි කරුණකි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වසර 16ක ප්‍රථම ලාංකික පුරාවිද්‍යා කොමසාරිස්වරයා ලෙසින් (1940-1956) කළ සේවාව පිළිබඳ ඉතා ප්‍රකටය. එතුමා 1956දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාම ලබන විට ඊට වසර ගණනාවක සිට ඉංග්‍රීසි බසින් ලියන ලද සීගිරි කුරුටු ගී SIGIRI GRAFFITI (සීගිරි ග්‍රැෆිටි) වෙළුම් දෙකින් යුක්ත වූ එම සුවිසාල ග්‍රන්ථය එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්‍වවිද්‍යාලයේ මුද්‍රණාලයේ මුද්‍රණය කරන ලද්දකි. සීගිරි කුරුටු ගී 685 අඩංගු කර ලියන ලද එම ග්‍රන්ථය ජාත්‍යන්තරවද මෙරටේ ද ඉමහත් සම්භාවනාවට පත් වූ ග්‍රන්ථයකි. සීගිරියේ පොල් අතු බංගලාව නමින් ප්‍රකට සීගිරි සංචාරක නිවාසයේ සිට දිනකට කීප වතාවක්ම සීගිරියට නගිමින් එතුමා විසින් ඉටු කරන ලද එම මෙහෙය සීගිරි පර්වතය මෙන් අචලව සදාකල්හිම පාඨක ජනතාව අතර රැඳෙනු ඇත.

‘සීගිරි කැටපත් පවුරේ ගී පිළිබඳ නිබන්ධය මුද්‍රණය කිරීම මේ අවුරුද්දේ (1951) දී ආරම්භ විය. එහි පිටු 200ක ශෝධ්‍ය පත්‍ර කියවනු ලැබ මුද්‍රණය සඳහා යවන ලදී. (1951 වැනනේ පුරාවිදු පුවත - ආචාර්ය සෙනරත් පරණවිතාන පි. 5)

පුරාවිද්‍යා කේෂ්ත්‍රය පිළිබඳ තුළනාත්මක අධ්‍යයනයක් කරන කවර විද්වතකුට වුවද මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයාගේ පර්ෙෂණ ක්‍රියාවලිය අධ්‍යයනය කිරීමට සිදුවීම අනිවාර්ය ව්‍යයාමයක් වන්නේය. ඊට ප්‍රධාන හේතුව වන්නේ ඒතරමටම එතුමාගේ පුරාවිද්‍යා පර්ෙෂණයන් විවිධ කේෂ්ත්‍ර හා විවිධ අංශවල ව්‍යාප්ත වී ඇති හෙයිනි. ‘ස්තූප ඉන් සිලෝන්’ නමින් පරණවිතාන පඬිවරයා විසින් ලියන ලද පර්ෙෂණ ග්‍රන්ථයට අදාළ මුල් පරිච්ජේද හතර උපාධි නිබන්ධයක් ලෙසින් ඕලන්දයේ ලෙයිඩ්න් විශ්වවිද්‍යාලය විසින් ආචාර්ය උපාධිය සෙනරත් පරණවිතාන පඬිවරයාට පිරිනැමීමට තරම් එතුමාගේ පර්යේෂණ ක්‍රමවේදය ඉතා උසස් මට්ටමක පැවති හෙයිනි. (පුරාවිද්‍යා සඟරාව හත් වැනි කලාපය සංස්කාරක සිරිසමන් විජේතුංග)

දඹදෙණියේ සිරි විජයසුන්දරාරාමයේ දී 1958 වර්ෂයේ අගෝස්තු මස 23 වැනිදා සාහිත්‍ය උත්සවයට සහභාගි වූ මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා මෙසේ සඳහන් කර ඇත.

ඉතිහාසය පිළිබඳ පොත්පත් ඉතිහාසය දැනගන්නටත් බොහෝම පුළුවන්කම තිබෙන්නේ සාහිත්‍යයෙන්. ඒ නිසා සාහිත්‍යයත් ඉතිහාසයත් එකට සම්බන්ධව හැදෑරීම බොහොම ප්‍රයෝජනයි. එකක් අතහැරලා අනික කරන්ට ගියොත් එකක්වත් හරියට කෙරෙන්නේ නෑ.

(දඹදෙණි සාහිත්‍ය සම්මේලනය සම්මේලන සටහන් සකස් කිරීම – වින්සන්ට් පණ්ඩිත හා අහුන්ගල්ලේ අරුණතිලක)

පසුගිය කාලයක දී සාහිත්‍යය සහ ඉතිහාසය විෂයයන් සාමාන්‍ය පෙළ පන්තියෙන් ඉවත් කර තිබූ යුගයක් ද තිබුණු බව මේ අවස්ථාවේ දී අපගේ මතකයට නැඟේ. සාහිත්‍ය උත්සවයකදී සංස්කෘතික අමාත්‍යාංශයේ හිටපු ඉතා ප්‍රවීණ ලේඛකයෙකු ද වූ අමරහේවා මද්දුම මහතා සඳහන් කළ කරුණක් අපගේ මතකයට නැගේ. සාහිත්‍යය සහ ඉතිහාසය නොදන්නා පුද්ගලයන් වලිගය සහ අං දෙක නැති හරක් වාගෙයි. හරකුන්ගේ වාසනාවට ඒ අය තණකොල නොකෑම තමයි වෙනස. අද වනවිට මෙම වාතාවරණය පහවී ගොස් ඇතත් ඇතැම් ජනමාධ්‍ය මගින් සිංහල භාෂාව භාවිතය ඉතාමත් සෝචනීය බව සඳහන් කළ යුතුව ඇත.

ජන මාධ්‍යයන් අතරේ ජාතික උරුමය රැක ගැනීමේ පුවත්පත් වාර්තාවල වටිනාකම මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා ඉහළින්ම අගය කළේය. ජාතික උරුමය පිළිබඳ පමණක් නොව රාජ්‍යයක සිදු කෙරෙන කටයුතු සඳහා උකුසු ඇසින් ඒ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමු කරවීම යහපත් පාලනයකට ඉතාමත් අවශ්‍ය වන අංගයකි.

ජනතාවගේ මතයට හිස නමමින් පුරාවස්තු ආරක්ෂා කිරීමත් ඔවුන්ගේ ආගමික ශ්‍රද්ධාව සුරැකීමත් යන අංග සියල්ල කෙරෙහි සිය අවධානය යොමු කිරීමට එදා පුරාවිද්‍යා කොමසාරිස්වර ආචාර්ය සෙනරත් පරණවිතාන මහතාට සිදු වූ අවස්ථාවක් සටහන් කර ඇත්තේ පහත සඳහන් පරිදිය. එමෙන්ම හමුවන එම පුරාවස්තු පිළිබඳ පූර්ණ අධ්‍යයනයක් ද එහි අඩංගු වන හෙයින් එතුමාගේ පුරාවිද්‍යා පාලන වාර්තා හුදු වැලි, ගඩොල්, සිමෙන්ති භාවිතය පිළිබඳ වාර්තාවක් නොවන බව ද මෙයින් පැහැදිලි වේ.

අවුරුදු කීපයකට ඉහත දී මහඉලුප්පල්ලම ගොවිපළෙන් හමු වූ කැඩී බිඳී ගිය කිරිගරුඬ බුදු පිළිමයක් සංරක්ෂණය කරවූයේය. මෙතරම් විශාල කිරිගරුඬ බුදු පිළිමයක් ලංකාවෙහි මේතාක් (1952) මෙය හැර ලැබී නැත. අමරාවතී මූර්ති ශිල්පය අනුව නෙලන ලද අඩි 6 පමණ උස ඇති මෙම බුදු පිළිමය ක්‍රි.ව. දෙවැනි සියවසේ දී පමණ ආන්ධ්‍ර (දකුණු ඉන්දියාවේ) දේශයෙන් මෙහි ගෙනෙන ලද්දක් විය හැකිය. නීත්‍යානුකූලව මේ බුදු පිළිමයේ අයිතිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටය. එහෙත් ඒ පිළිබඳ ආගමික බලපැවැත්වීම උග්‍ර වූ හෙයින් නිසි ලෙස නීතිය ඉටු කරන්නට මේ අවස්ථාවේ දී නොහැකි වී භක්තියෙන් ඇලලුණු වැසියන් විසින් ඒ සඳහා සාදන ලද පිළිම ගෙයක තාවකාලිකව එය තැන්පත් කරන්නට ඇත. (1952 පුරාවිද්‍යා වාර්ෂික වාර්තාව ආචාර්ය සෙනරත් පරණවිතාන)

මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා පුරාවිද්‍යාත්මකව සහ ඓතිහාසික කරුණු ඇසුරෙන් එකල පමණක් නොව මීට වසර 30 පමණ ඉහත දී ද පැවැති දෙමළ නිජබිම් මිත්‍යාවට පහර දුන්නේය. ඒ සඳහා එතුමා ARYA KINGDOM IN NORTH CEYZON නමින් රාජකීය ආසියාතික සමිතියේ (ලංකා ශාඛාවේ) සඟරාවේ 1961 දී හත්වන කලාපයේ පළ කළේය. ඒ ලිපිය එතුමාගේ ශිෂ්‍යයකු වූ මහාචාර්ය අභය ආරියසිංහ මහතා විසින් 1986 වර්ෂයේ දී ‘උතුරේ ආර්ය රාජ්‍යය’ නමින් සිංහල භාෂාවෙන් ග්‍රන්ථයක් පළ කළේය. එහි මෙසේ ද සඳහන් වේ.

දහතුන් වැනි ශතවර්ෂයේ දී උතුරු ප්‍රදේශයේ දෙමළ පාලනයක් පැවැති බවට මෑතක දී (1961) ග්‍රන්ථාරූඪ කළ සාක්ෂි අනුව ගොඩනගා ඇති තර්ක අසත්‍ය බව කිව යුතුයි. එසේ දෙමළ නිජබිමක් පැවති බවට තීරණයකට බැසීමට තුඩුදෙන සාක්ෂියක් නැත. මෙසේ තීරණයකට බැසීමට උපයෝගී වන සෙල්ලිපියක් කාසියක් හෝ පුරාණ ස්මාරකයක් (පුරාවිද්‍යාත්මක) යාපනය අර්ධද්වීපයෙන් සොයා ගෙන නැත.

ඉතාම පැරණි යැයි තීරණය කළ හැකි දෙමළ සෙල්ලිපි හමුවන්නේ ලංකාවේ වෙනත් පළාත් වලිනි. යාපනය දිස්ත්‍රික්කයේ පැරණි ස්ථාන වලින් හමුවන මූර්ති මෙන්ම පුරාණ ගොඩනැගිලි අවශේෂ ද කාසි ආදිය අප රටේ අනෙකුත් පළාත්වලින් හමුවන බුදුපිළිම හා ඊට අදාළ වන පුරාණ මූර්ති කැටයම් හා ගොඩනැගිලි අවශේෂවලට සමානය.

අප දිවයින ගැන අපමණ විස්තර සඳහන් කරන දකුණු ඉන්දියාවේ ශිලාලේඛනවල දහතුන් වැනි සියවසට පෙර ලංකාවේ උතුරේ වෙනම දෙමළ රාජ්‍යයක් පැවැති බවට සාක්ෂි නොමැත. (THE ARYA KINGDOM IN NORTH CEYLON – නම් වූ ග්‍රන්ථයේ සිංහල අනුවාදය මහාචාර්ය අබය ආර්යසිංහ – උතුරේ ආර්ය රාජ්‍යය පි. 17-18 (1986)


(***)
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ
 සිරි සමන් විජේතුංග