වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය තවත් පුළුල් කළ යුතුයි


ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය උපාධිය සඳහා මෙරට ශිෂ්‍යයන්ට මුදල් ගෙවා ඇතුළුවීමට පහසුකම් සැලසීම සඳහා වන යෝජනාවකට පසුගියදා කැබිනට් අනුමැතිය හිමි වී තිබිණි. එම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. මේ තීන්දුව මෙරට උසස් අධ්‍යාපනයේ ඉතා වැදගත් දූරදර්ශී තීන්දුවක් වශයෙන් සැලකිය හැකිය.

මේ රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීම පිළිබඳ මාතෘකාව හැමදාමත් විවාදසම්පන්නය. උණුසුම්ය. පොදුවේ විශ්වවිද්‍යාල සිසුන්ගේ ශිෂ්‍ය සංගම් මගින් එය හඳුන්වාදී තිබුණේ ‘උපාධි කඩ’  පිහිටුවීමක් වශයෙනි. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ඉතාම ජනප්‍රිය සටන් පාඨයක් වුවත් එතැනින් ඔබ්බට ගොස් ලෝකයේ විශ්වවිද්‍යාල පද්ධතිවල නව ප්‍රවණතා පිළිබඳ කිසිදු හැදෑරීමකින් තොරව එහිම එල්බ ගෙන සිටීම අවාසනාවක් විය. එයට ප්‍රධානම හේතුව වූයේ විශ්වවිද්‍යාල සිසුන්ගේ එම සටන් පාඨයේ  ඇතැම්  දේශපාලන නායකයන්ද තදින්ම එල්ලී සිටීමයි. එය එම දේශපාලන පක්ෂවල නායකයෝ මෙරට විශේෂයෙන්ම ග්‍රාමීය ජනතාවගේ ලේ උණුසුම් කරන සටන් පාඨයක් බවට පෙරළා ගත්හ. මේ හේතුවෙන් අදටත්  ඇතැම් පිරිස් පෞද්ගලික විශ්වවිද්‍යාල දකින්නේ රටේ නිදහස් අධ්‍යාපනයට එරෙහි කුමන්ත්‍රණයක් වශයෙනි.

මේ සියලු කතාවල ප්‍රතිඵලය වී ඇත්තේ අපොස උසස් පෙළ විභාගයෙන් ඉහළ සුදුසුකම් ලැබුවත් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළුවීමට වරම් නොලබන දක්ෂ සිසුන් රැසක් විදේශීය විශ්වවිද්‍යාල උපාධි ලබා ගැනීම සඳහා විදෙස් ගත වීමයි. ඒ සඳහා ඉතා විශාල මුදලක් වැය කෙරෙන අතර වාර්ෂිකව ඒ වෙනුවෙන් මෙරටින් කෝටි ගාණක මුදලක් එතෙරට ඇදී යයි. මෙරට ඇතැම් අඳබාල දේශපාලකයන්ගේ ඉතාම පටු ‘උපාධි කඩ’ ප්‍රතිපත්තිය හේතුවෙන් රටේ ආර්ථිකයට සිදු වන විනාශය සුළුපටු නැත. තමන් සිදු කරන්නේ පටු දේශපාලන වාසි ලබා ගැනීම සඳහා විදෙස් විශ්වවිද්‍යාල පොහොසත් කිරීමක් බව මේ දේශපාලකයෝ පහසුවෙන්ම අමතක කර දමති.

පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීමේ අදහස ක්‍රියාවට නැංවීමට උත්සාහ දැරීමේදී වඩාත්ම විරෝධයකට ලක්වූයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමේ තීන්දු ක්‍රියාත්මක කිරීමට බවද කැපීපෙනෙයි. ඒ සඳහා ශක්තිමත් පදනමක් තිබෙන බව අපිද පිළිගනිමු. ඒ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල ප්‍රමිතිය සම්බන්ධයෙනි. මේ රටේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම දූරදර්ශී පියවරක් වශයෙන් සැලකුවත් ඒ සඳහා නියම ප්‍රමිතිය තිබිය යුතු බවට වගබලා ගැනීම රජයේ වගකීම වෙයි. සෙසු පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් වුවද ප්‍රමිතිය අංක එකට තිබිය යුතු  වුවත් වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන්  එය වඩාත් සුපරීක්ෂාකාරී ලෙස ක්‍රියාත්මක කිරීම අවශ්‍ය බව කිව යුතුය. පිළිගත් ප්‍රමිතියෙන් තොර පෞද්ගලික විශ්වවිද්‍යාල නම් ‘උපාධි කඩ’ වශයෙන් හැඳින්වූවාට වරදක් නැත. රාජ්‍ය විශ්වවිද්‍යාලවල සිසුන් විරුද්ධ විය යුත්තේ එවැනි ‘උපාධි කඩ’වලට මිස නිසි ප්‍රමිතියට අනුකූලව ස්ථාපිත කෙරෙන පෞද්ගලික විශ්වවිද්‍යාලවලට නොවන බව අපගේ අදහසයි.

මේ රටේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට ගනු ලැබූ අවස්ථා දෙකම අවසන් වූයේ ඒවා රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේම කොටස් බවට පත්වීමෙනි. වර්තමානයේ කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වශයෙන් ආරම්භ කෙරුණු වෛද්‍ය විද්‍යාලය වූ අතර පසුව ස්ථාපිත කෙරුණු සයිටම් වෛද්‍ය  විද්‍යාලයද අවසානයේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුයුක්ත කෙරිණි.

මේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය එකතැන පල් වියයුතු නැත. රාජ්‍ය විශ්වවිද්‍යාල ආරක්ෂා කර ගනිමින් රටේ බුද්ධිමත් සිසු දරුවන්ට එතෙර නොගොස් මෙරට තුළදීම උපාධි ලබා ගැනීමට තිබෙන අයිතිය ආරක්ෂා කරදිය යුතුය. ඒ අදිටනින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සඳහා ප්‍රවේශයක් ලබාගැනීමේ යෝජනාව ඉතා කාලෝචිත සහ දූර්දර්ශී තීන්දුවක් බව කිව යුතුය. 

(***)