ලංකාවේ ලාබාලම ගුවන් නියමුවරිය


 

“පුංචි කාලේ ඉඳලම මම ගුවන්යානා වලට හරිම ආසයි. මගේ අම්මා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවක්. ඉස්සර අම්මාගෙන් මම ගුවන්යානා ගැන හරියට විස්තර අහනවා. අම්මා මට පුංචි කාලේ සෙල්ලම්බඩු ගෙනත් දෙන්නෙත් සෙල්ලම් ගුවන්යානා. ඒ එකම සෙල්ලම්බඩුවක්වත් මම කිසිම කෙනෙකුට අල්ලන්නවත් දෙන්නේ නැහැ. මගේ ජීවිතේ වෙලා තිබුණේ ඒ සෙල්ලම් ගුවන්යානා. ගුවන්යානා වලට පුංචි කාලේ ඉඳලා තිබුණේ පුදුම ආදරයක්. ඒක එක විදිහක පිස්සුවක් කිව්වොත් හරි.” එහෙම කියන්නේ ලංකාවේ ලාබාලම ගුවන් නියමුවරිය වන සත්නාරා ප්‍රනාන්දුය.   


 ‘දවසක් ඉස්කෝලේ පුංචි කාලෙදි අනාගත බලාපොරොත්තුව කවුරු වෙන්නද කියලා අහද්දී හැමෝම වෛද්‍යවරු, ඉංජිනේරුවරු, ගුරුවරු වෙනවා කිව්වම මම කිව්වේ ගුවන් නියමුවරියක් වෙනවා කියලා. ඒ වෙලාවේ යාළුවෝ හයියෙන් හිනා වුණා. ගුරුවරුත් හරියට හිනාවුණ. ඔයා කොහොමද ගුවන් නියමුවරියක් වෙන්නේ කියලා විහිළුවට ගත්තා. හිනා වෙනකොට ඒ වෙලාවේ පුංචි දුකක් ඇතිවුණත් මම ඒවා කවද‌ාවත් ඔළුවට ගත්තේ නැහැ. කොච්චර මට හිනාවුණත් මගේ අරමුණ මම අතහැරියෙත් නැහැ. එද‌ා මට හැමෝම හිනා වුණ නිසාම කොහොම හරි මගේ අරමුණට යනවා කියන අධිෂ්ඨානය තිබුණා. Pilot කෙනෙක් වෙන හීනය වෙනුවෙන් මම කැපවුණා. ඉතින් ඒ කැපවීමේ සතුට අද මම භුක්ති විඳිනවා.’ ඇය කියන්නීය.   
ඇය මෙරට ගුවන් නියමුවරියන් අතලොස්ස අතරට පත්වීම ආඩම්බරයක් සේම වයස අවුරුදු 17 දී ශ්‍රී ලංකාවේ ලාබාලතම පෞද්ගලික ගුවන්නියමු බලපත්‍රලාභිනිය (PPL Holder) වීම වශේෂත්වයකි. ජීවිතය ධනාත්මකව හා ආත්ම ශක්තියෙන් ගොඩ නගා ගැනීමට දිරිගත් තරුණියන් අතර ඇගේ කතාව සුවිශේෂි කතාවකි.   
‘මම අධ්‍යාපනය හැදෑරුවේ බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ (හෝලි ෆැමිලි කොන්වන්ට්). මගේ අම්මා ගුවන් සේවයට සම්බන්ධ නිසා පුංචි කාලේ ඉඳලා ගුවන් යානා දකිනවා. ඒවා ගැන විස්තර අහනවා. 2006 දී යුද්ධ කාලේ ගෙදරට උඩින් ගුවන් යානා, කෆීර් යනකොට මම අහස දිහා බලාගෙන කෑ ගහනවා. අතවනනවා. ගුවන් යානයක් ගොඩක් පහළින් ගිය දවසට හරිම සතුටුයි. ඒ සතුට මම දවස් ගණනක් විඳිනවා. අදටත් ගුවන් යානයක් ගෙදර ළඟින් අහසේ යන සද්දේ ඇහෙන කොට දුවලා ගිහිල්ලා බලන ආසාව තාමත් තියෙනවා. ඒක මම දන්නේ නැහැ මොන බැඳීමක්ද කියලා. මට දැනුම් තේරුම් ඇති කාලේ ඉඳලා ගුවන් යානාවලට හරිම ආදරෙයි.   


‘ඇත්තට ඒ දවස් වල Pilot කෙනෙක් වෙන්නේ කොහොමද කියලාවත් මම දැනගෙන හිටියේ නැහැ. දවසක් අපේ ඉස්කෝලේ ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තිය විදිහට ආවේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ පළමු ගුවන් නියමුවරිය වන කැප්ටන් අනූෂා මොහොමඩ් මහත්මිය. මම එතකොට ඉගෙන ගත්තේ අටේ පන්තියේ. ඒ වෙලාවේ ඇය උත්සවය අමතන ගමන් එක කතාවක් කිව්වා. මට ඒක අමතක කරන්න බැරි විදිහට මගේ මතකයේ රැදුණා. ඇය එද‌ා කිව්වා 'Fly high and never give up' ඉහළට පියාසර කරන්න. කිසිවිටෙකත් අත් නොහරින්න. ඒ වචන ටික තමයි මගේ ආත්ම විශ්වාසය වැඩි කළේ. එතන ඉඳලා තමයි පයිලට් කෙනෙක් වෙනවා කියන එක මගේ ඇඟට ගොඩක් දැනෙන්න ගත්තේ.   


අහස උඩට කොහොම හරි යනවා කියන ආසාව මට ඇති කළේ ඇත්තටම ඇය. ඇය එද‌ා දිනූ ආත්ම විශ්වාසය තමයි අහස උඩට මාව අරගෙන ගියේ. එද‌ා ඒ ඇතිවුණු අධිෂ්ඨානය එක්ක මම මොනවද කරන්න ඕනැ කියලා හොයන්න ගත්තා.’   


සත්නාරා අපොස සාමාන්‍ය පෙළ කඩඉමෙන් විශිෂ්ට ලෙස ප්‍රතිඵල ලබා ගත්තද උසස් පෙළ කඩඉමට මුහුණ නොදෙන්නට ඇය තීරණය කරන්නේ ගුවන් නියමුවරියක් වීමේ හීනයට මඟ ඇහිරෙනවාටත් වඩා කෙටි කලකින් තම හීනය ජයගැනීමේ අදිටනින්ය.   


 ‘සාමාන්‍ය පෙළ මම හොඳට පාස්වුණා. එතනින් පස්සේ උසස් පෙළ කරනවට වඩා මගේ අරමුණට යන්න පාර තෝරා ගන්න ඕනැ කියලා හිතුවා. සාමාන්‍ය පෙළ ඉවර වුණු ගමන්ම මම අම්මාට කිව්වා මට උසස්පෙළ කරන්න බැහැ කියලා.   


ඉතින් අම්මා ඒකට කැමැති වුණාද? මම සත්නාරාගෙන් විමසීමි.   


‘විශ්වාසයක් තිබුණා අම්මා මගේ තීරණයට කැමැති වේවි කියලා. ඇය කවද‌ාවත් මගේ හීනවලට, මම ආස කරන දේවල්වලට වැටකඩුළු බැඳපු කෙනෙක් නෙමෙයි. කවද‌ාවත් කිසිම දේකට එපා කිව්වේ නැහැ. ගොඩක් මව්පියෝ උසස් පෙළ නොකර වෙනත් මාර්ගයකට යොමු වෙනවට කැමැති නෑනේ. ඒත් මගේ අම්මා ඒකට කැමැති වුණා. අම්මත් කිව්වා උසස් පෙළ නොකර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල වලින් මොකක් හරි උපාධියක් කරලා කැමැති දේ හද‌ාරන්න කියලා.   


 කැප්ටන් අනූෂා මොහොමඩ් කියන්නේ ශ්‍රී ලංකන් එයාර්ලයින් වල පළමු ගුවන් නියමුවරිය වූ නිසා මට ඕනෑ වුණේ කවද‌ාහරි අපේ රටේ ළාබාලතම ගුවන් නියමුවරිය වෙන්න. ඒ අනුව තමයි පෞද්ගලික ගුවන් නියමු බලපත්‍රය අඩුම වයසකදී ගන්න මම පෙළඹුණේ.’   


ගුවන් නියමුවරියක් වීමේ සිහිනයත් සමඟ ඇය ශ්‍රී ලංකාවේ සකුරායි ගුවන් සේවය හා ගුවන් පුහුණු පාසලට එකතු වන්නේ 2020 ජනවාරි 27 වැනිද‌ාය. එතැන් පටන් සිය කැපවීම, අධිෂ්ඨානය සමග ඉතා කෙටි කාලයක් තුළ ඇය දක්ෂතා ප්‍රගුණ කරමින් 2021 මාර්තු 4 වැනිදා පෞද්ගලික ගුවන්නියමු බලපත්‍රය හිමිකරගන්නේ මෙරට ළාබාලතම ගුවන්නියමුවරිය ලෙසය.   


‘මම සකුරායි ගුවන් පුහුණු පාසලට එනකොට මට සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවත් ඇවිත් තිබුණේ නැහැ. එතකොට මට අවුරුදු 16 යි. සමහරු කියනවා මේ පාඨමාලාව හද‌ාරන්න ගණිත අංශයෙන් විශාල දැනුමක් තිබිය යුතුයි කියලා. මමත් මුලදි එහෙම හිතුවට ඇත්තටම ඒක බොරු මතයක් විතරයි. ගණන් අවශ්‍යයි. හැබැයි ගණන් සම්බන්ධ විශාල දැනුමක් මේ පාඨමාලාව හද‌ාරන්න අවශ්‍ය නැහැ.   


සාමාන්‍ය පෙළ විෂයන් 06 ක් එකවර සමත්ව තිබීමත් ඉංග්‍රීසි සහ ගණිතය විෂයන්වලට ඒ සාමාර්ථ ලබා තිබීම පමණයි අවම සුදුසුකම. ඒ වගේම වයස අවුරුදු 16 සම්පූර්ණ කර තිබීම අවම සුදුසුකමක් වෙනවා. ගණන්වල අඩුකිරීම, බෙදීම වැඩි කිරීම, එකතු කිරීම පුළුවන් නම් ආසාව තියෙනවා නම් මේ වෘත්තියට පිවිසෙන්න හරිම ලේසියි. ඊට අමතරව වාණිජ ගුවන් නියමු බලපත්‍රයක් ලබා ගැනීමේදී උපාධියක් සම්පූර්ණ කිරීමක් අනිවාර්ය වෙනවා. මම මේ වෙනකොට සයිබර් සිකියුරිටි සහ නෙට්වර්කින් උපාධිය හද‌ාරමින් සිටිනවා.  


තව දෙයක් තමයි මේ ගුවන් නියමු (Pilot) වෘත්තියට එන්න පුළුවන් පිරිමි අයට විතරයි කියලා අපේ සමාජයේ මතයක් තියෙනවා. ඒ වගේම ආසාව තිබුණත් ගොඩක් ගෑනු ළමයි මේ වගේ වෘත්තියක් තෝරාගන්න ගොඩක් බයවෙනවා. ජීවිතේ කිසිම තැනකදී කෙල්ලෙක් කියලා අපෝ කෙල්ලන්ට ඒවා බැහැ කියලා තමන්ගේ හීන කවද‌ාවත් නැති කරගන්න එපා. Pilot වෘත්තිය ගෑනු ළමයෙකුට සාර්ථක ගමනක් යන්න හොඳ වෘත්තියක්.’  


වයස අවුරුදු 17 වැනි පුංචි වයසකදී ගුවන් යානයක් පැදවීම හිතන තරම්ම ලේසිද? ඒ අභියෝගය ජයගන්න සත්නාරා ගුවනේ පියාසර කරපු දවස ඒ මොහොත ගැන අපි ඇයගෙන්ම අහමු.  


2020 අගෝස්තු 18 වැනිද‌ා මුලින්ම මම ගිය ගුවන් ගමන මගේ ජීවිතේ ගොඩක් විශේෂ දවසක්. මට ඒ අසුනේ වාඩිවෙද්දී පොඩ්ඩක්වත් බයක් දැනුණේ නැහැ. ඒක තමයි මගේ හීනය වුණේ. මට සතුටට වඩා දෙයක් ඒ වෙලාවේ දැනුණේ නැහැ. ගුවන් යානය අතට ගත්තම මේක හීනයක් ද කියලා හිතුණා. මට ලොකු උනන්දුවක් තිබුණා ඒ අසුනේ වාඩිවෙන්න. විශේෂයෙන් මතක් කරන්න ඕනෑ මට දැනුම දීපු සකුරායි ගුවන් පුහුණු පාසලේ සියලුම ගුරුවරු. විශේෂයෙන් මගේ පුහුණුකරු කැප්ටන් දුමිඳු රුවන් පතිරණගේ මහතා මට මුල ඉඳලම හොඳ පුහුණුවක් ලබා දුන්නා. මගේ අතින් කොයි තරම් වැරදි වුණත් අඩුපාඩු වුණත් කවද‌ාවත් මට සැරවැර කරලා නැහැ. වැරදි හද‌ාගන්න ගොඩක් උදව් කළා. හද‌ාගන්න ඕනැ තැන් වගේම ආත්ම විශ්වාසය ගොඩ නගාගැනීමේ ඉඳලා මට ගොඩක් දැනුම දුන්නා. ඔහු මට බය කියන දේ හිතට දැනෙන්න දුන්නෙම නැහැ.  
 පුංචි කාලේ ඉඳලා මම කිසිම දේකට, අභියෝගවලට බය තිබුණු ළමයෙක් නෙමෙයි. හැමදේම උත්සාහ කරලා, අත්දැකීම් ගන්න තමයි මම නිතරම උත්සාහ කළේ. කිසිම වෙලාවක මට මේක කරන්න බැහැ, අමාරුයි, තේරෙන්නේ නැහැ කියලා මම පසුබට වෙලා නැහැ.  


මෙතැනින් එහාට මොකක්ද සත්නාරාගේ අලුත් බලාපොරොත්තුව මම ඇයගෙන් විමසීමි.  


මේ වෙනකොට මම මගේ වාණිජ ගුවන් නියමු බලපත්‍රය (CPL) ලබාගන්න පුහුණු වෙනවා. ඒක තමයි මගේ සිහිනයේ දෙවැනි පියවර. මේ වෙනකොට ලංකාවේ ලාබාලතම පෞද්ගලික ගුවන් නියමු බලපත්‍රය ලබාගත් කෙනා වීම ගැන ලොකු සතුටක් තියෙනවා. (Commercial Pilot License) එක ලබා ගත්තාම ලෝකයේ පිළිගත් ගුවන් සමාගමක ගුවන් නියමුවරියක් ලෙස රැකියාවේ නියැලෙන්න තමයි එකම බලාපොරොත්තුව. දැනට මම රත්මලාන සකුරා ගුවන් පුහුණු පාසලේ අධ්‍යාපනය හද‌ාරමින් යනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ළාබාලතම ගුවන් නියමු පුහුණු උපදේශකවරිය වෙන්නත් ලොකු අරමුණක් තියෙනවා.’  


හැකියාව වගේම දැඩි කැපවීම අධිෂ්ඨානය තිබෙනවා නම් ජීවිතේ කොයිතරම් අභියෝග ආවත් ඒ ඕනැම දෙයක් ජයගන්න පුළුවන් කියන එකට හොඳම උද‌ාහරණය තමයි ඇය. සත්නාරා තරුණියක් ලෙස ජීවිතේ අරමුණු කරා යද්දී ආත්ම ශක්තිය තිබේ නම් සියල්ල ජයගත හැකි බව ඇගේ අත්දැකීමයි. 

 
‘මුලින්ම මගේ දෙවියන් වහන්සේට ස්තූතිවන්ත වෙනවා. ඉගෙන ගන්න හොඳ ප්‍රඥ‌ාවක් මට දුන්නට. ඊට පස්සේ මගේ අම්මාට. පුංචි කාලේ ඉඳලා මගේ හීන වලට ඉඩ දීලා ගුවන් නියමුවරියක් දක්වා මාව ගෙනාවේ අම්මාගේ ශක්තිය. හීන මැව්වට අපි හිතන තරම් අරමුණුවලට යන ගමන සුන්දර නැහැ. මට වැරදෙන තැන්වල අම්මා මට උදව් කළා. හැම දෙයක් දිහාම උපේක්ෂාවෙන් බලන්න කියලා දුන්නේ අම්මා. හැමදේකදීම මගේ ළඟ ශක්තිය වුණේ අම්මා. ඒ වගේම මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ කැප්ටන් අනුෂා මොහොමඩ් කියන චරිතය. මට ජීවිතේට අරමුණක් දුන්නේ ඇය නිසා.  


 අපිට උත්සාහයයි කැපවීමයි තියෙනවා නම් ගෑණු ළමයෙක්ද පිරිමි ළමයෙක්ද වයස මදිද වැඩිද කියන දේ කිසිවෙලාවක වැදගත් වෙන්නේ නැහැ. අහසට ආදරෙයි නම් පියාසර කරන්න කැමැති නම් ඒ සමඟ හිතින් බැඳෙන්න. අහස ජය ගන්න බය කියන දේ ජීවිතෙන් අයින් කරන්න ඕනැ. බය තිබුණොත් කවද‌ාවත් ජීවිතේට පියාසර කරන්න බැහැ.  


ඉතින් ඇගේ සුන්දර කතාබහට අපි එලෙසින් සමුදුනිමු.  

 

 

 

නදීශා අතුකෝරළ