.jpg)
.jpg)
මම ගහ උඩට නැගලා ආමි ට‍්‍රක් එකක් හෝ බස් එකක් හෝ වෙනත් හමුදා වාහනයක් එනවද කියලා බලාගෙන ඉන්නකොට කහපාට බස් එකක් එනවා මීටර් දෙසීයක් විතර ඈතින් දැක්කා. එවිටම හරි හරි කහපාට බස් එකක් එනවා කහපාට බස් එකක එනවා කියලා මා කෑ ගැසුවා. ඒ අතරේ මා දැක්කා ඒ ආ කහපාට බස් එකේ සුදු ඇඳුම් ඇඳගත්තු සිවිල් ගැහැනු අය ඉන්නවා වගේ. ඒ ගමන්ම මා කෑ ගැහුවා ගහන්න එපා. ගහන්න එපා සිවිල් බස් එකක්. සිවිල් බස් එකක් කියලා. එහෙම කෑ ගහනවාත් සමගම ක්ලේමෝ බෝම්බය පුපුරුවා හැරිමට සූදානම් කර තිබූ රිමෝට් එක අතේ තියාගෙන පාර අයිනේ ගසක් මුල සැඟව සිටි කොටි කෙල්ලෝ දෙන්නගෙන් එක්කෙනෙක් රිමෝට් එක තද කළා. එවිට බෝම්බ දෙකම පිපිරුණා. විශාල ශබ්දයක් ඇසුනා. අප පැනලා වේගයෙන් කැලය පැත්තට දිව්වා.
කැබිතිගොල්ලෑව යකාවැවදී මගී බස්රථයකට ක්ලේමෝ බෝම්බ ප‍්‍රහාර දෙකක් එල්ලකොට සිවිල් වැසියන් 60 දෙනකු මරණයට පත්කර තවත් සිවිල් වැසියන් 68 දෙනකුට තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු කොටි ප‍්‍රබලයකු වන මහාලිංගම් මුත්තුලිංගම් හෙවත් ඉන්ද්‍රන් නමැති විත්තිකරු අනුරාධපුර විශේෂ මහාධිකරණයේදී විභාගයට ගැණුනු ඊට අදාල නඩුවට පාපොච්චාරණයක් ලබා දෙමින් මේ බව පවසා ඇත.
අපි කොටි කඳවුරට ගියාට පස්සේ අපි දැන ගත්තේ අපි බෝම්බ ගහලා තියෙන්නේ සිවිල් මිනිස්සු ගමන් ගත් ලංගම බස් එකට කියලා. කොටි කර්නල් ලලිත් අපට කිව්වා උඹලා බෝම්බ ගහලා තියෙන්නෙ වැරදි බස් එකට කියලා. ඒ හින්දා උඹලට දඬුවම් දෙන්න ඕන කියලා. පසුව අපි වැරදි බස් එකකට බෝම්බ ගැහුවා කියලා අපි සමග වැඬේට ගිය කෙල්ලෝ දෙන්නා හැර පිරිමි හැමෝම යකඩ කම්බිකූඩුවකට දාලා දවස් 08ක් තිබ්බා. පොලූ වලින් හොඳටම ගැහුවා. අපි එ දා හිටිය කූඩුව ඇතුලේ කටුකම්බි තිබුණා.
නැගිටින්න නිදාගන්න බැරි කූඩුවක් ඒක.
කැබිතිගොල්ලෑව යකාවැවදී 2006 වසරේ ජූනි 13 වැනි දින කැබිතිගොල්ලෑව ඩිපෝවට අයත් ලංගම මගී බස් රථයකට ක්්ලේමෝ බෝම්බ ප‍්‍රහාර දෙකක් එල්ල කර සිවිල් වැසියන් 60 දෙනකු එම ස්ථානයේම මරණයට පත්කර තවත් සිවිල් වැසියන් 68 දෙනකුට තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ පැවැති නඩු විභාගවලින් ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාස මගින් පාපොච්චාරණයක් ලබා දෙමින් මේ නඩුවේ ප‍්‍රධාන විත්තිකාර හිටපු ප‍්‍රධාන කොටි ප‍්‍රබලයකු වන මහාලිංගම් මුත්තුලිංගම් හෙවත් ඉන්ද්‍රන් මේ බව පවසා ඇත.
මූතූර් කිලිවෙඞ්ඩි තංගනගර් ලිපිනයේ මහාලිංගම් මුත්තුලිංගම් හෙවත් ඉන්ද්‍රන් නමැති හිටපු ප‍්‍රධාන කොටි ප‍්‍රබල සාමාජිකයා ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අනුරාධපුර විශේෂ මහාධිකරණයේ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය හමුවේ විභාගයට ගැනුණු මෙම අපරාධයට අදාල නඩුවට ලබා දී ඇති එම පාපොච්චාරණය තවදුරටත් මෙසේද සඳහන්ය.
මා ඉස්කෝලෙට ගියේ දෙකේ පන්තියට විතරයි. මට දෙමළ කතා කරන්න පුළුවන් ලියන්න බෑ. අත්සන් කරන්න පුළුවන්. ආර්ථික අපහසුතා නිසා පාසල් ගියේ නෑ. කුඹුරු වැඩකළා. මට සහෝදරයෝ තුන් දෙනෙක් ඉන්නවා. මම වයස අවුරුදු 15දි තාත්තා එක්ක රණ්ඩු කරගෙන පදිංචිව සිටි මුතූර් තංගනගර් සිට යාපනයට ගියා. යාපනයට ගිහිං රා මදින වැඬේ කළා. යාපනයේ මාස 06ක් විතර ඉද්දී එල්ටීටීඊ එකෙන් ඇවිත් මට කතා කළා කොටි සංවිධානයට බැඳෙන්න කියලා.
මම බෑ කිව්වා. ඒත් බලෙන් මාව අරන් ගියා. එහිදි මාව කොටි වත්තකට වැඩට දැම්මා. ඒ අතරේ ගස් කැපීම, බංකර් කැපීම කළා. පසුව මාන්කුලම් වත්තක මාව වැඩට දැම්මා. ඒ අතරේ මම කොටි සංවිධානයේ වැඩට දැම්මා. පසුව මම කාන්තාවක් සමග ජීවත් වුණා. ඒත් නීත්‍යානුකූලව නොවේ. මම බැඳපු කාන්තාවට ඒ අවස්ථාව වනවිට ළමයි දෙන්නෙක් හිටියා. එහෙම ජීවත් වෙද්දී ටික කාලයකට පසුව සල්ලි නැති නිසා ඒ කාන්තාව මාව දාලා ගියා. පසුව මම තවත් කාන්තාවක් බැන්ඳා. ඒත් නීතියෙන් නොවේ. මම 2004 වසරේ කෝපායි ප‍්‍රදේශයේ කෝවිලක පින් කැටයක් කැඩුවා. ස්පීකර් එකක් හොරකම් කළා. මාව ඒකට කෝපායි පොලිසියෙන් අරං ගියා. පසුව අනුරාධපුර සහ වැලිකඩ බන්ධනාගාරවල හිටිය. ඉන් නිදහස් වෙලා නැවත මාන්කුලම් ගෙදරට ඇවිත් ජීවත් වෙද්දී 2006 වසරේ නැවත එල්ටීටීඊ එකෙන් ඇවිත් මාව අරං ගියා.
එහිදී මාව චාල්ස් ඇන්තනී බලකායට (කොටි නායක ප‍්‍රභාකරන්ගේ පුතාගේ බලකායට) දාලා මාස 03ක යුද පුහුණුවක් දුන්නා. ටී 56, අත්බෝම්බ පුහුණුව කොටි නායක කිරුබා තමයි අප ටේ‍්‍රන් කළේ. ටේ‍්‍රනින් වලින් පස්සේ මාව කොටි ග‍්‍රාම ආරක්ෂක බලකායට දැම්මා. පසුව මුහමාලේ ඉදිරි ආරක්ෂක බලකායට දැම්මා. ඒ වනවිට මුහමාලේ එතරම් යුද්ධය තිබුණේ නැහැ. මාස 03කට විතර පස්සේ එතැනින් පුලියංකුලමට ගෙනල්ලා එහි ඉදිරි ආරක්ෂක වළල්ලට දැම්මා. එහි ඉදිරි ආරක්ෂක වළල්ලේ ඉන්නකොට අපට අණ දුන්නේ චාල්ස් ඇත්නතී බලකායේ ලලිත් කියන කොටි කර්නල්වරයා. එම කොටි කර්නල්වරයා පුලියන්කුලම කොටි කඳවුරට එන්න කියලා මට නියෝග කළා. එම කඳවුරේ නම සීරෝවන්. එම කොටි කඳවුරට මා යද්දී තවත් කොටි සාමාජිකයෝ පස් දෙනෙක් එහි හිටියා.
ඒ අතර කොටි ගෑනු ළමයි දෙන්නකුත් හිටියා. ඒ ගෑණු ළමයි කොටි සෝනියා බලකායට අයත් අය. එතන සිටි පිරිමි කොටින්ගෙන් නම තමයි මනිවාරන්, ගිලෙයි, අරපන්, ජින්නා සහ අරසුපන්. ටේ‍්‍රනින් එකේදී මට දුන්න කොටි නම තමයි ඉන්ද්‍රන්. කොටි සෙබල අංකය 154. එතන හිටිය කොටි කර්නල් ලලිත් කීවා. අපි 6 දෙනකුට වැඩක් භාර දෙනවා කියලා. එතන හිටිය කොටි කාන්තාවන් දෙදෙනාට කරන්න ඕන වැඬේ කර්නල් ලලිත් කිව්වා. පසුව අපට ඒ දෙන්න එක්ක යන්න කියලා කිව්වා. කාන්තාවන් දෙදෙනා ජී.පී.එස් (මාලිමාව) දෙකකුයි ක්ලේමෝ බෝම්බ දෙකකුයි බෑග් දෙකක දාගෙන
ගියා. අපි එයාලත් එක්ක ගියා.
අපි ළඟ තිබුණේ ටී 56 ගිනි අවි, මම අරසු සහ අරපන් යන අය තමයි බිස්කට්, නුඞ්ල්ස්, රොටි, ජෑම්, කෑමට අරන් ගියේ. කොහේටද යන්නේ කියලා අපි හරියටම දැනගෙන සිටියේ නෑ. ඒත්අපි යන්නේ ක්ලේමෝ ප‍්‍රහාරයකට පමණක් කියලා දැනගෙන සිටියා. මේ විදිහට කැලේ මැදින් දවස් දෙකක්
ගියා. ඒත් යන්නේ කොහාටද කියලා කැලේ මැදිල් යනවිටත් දැනගෙන ගියේ නෑ. දවස් දෙකකට පස්සේ පාන්දර 5 විතර වෙද්දී තාර පාරක් ළඟට ගියා. එතන පාර දිගේ ලයිට් වයර් ඇදපු කණු තිබ්බා. අපට කැලේ ඇතුලේ ඉන්න කියලා අරපන් සහ කොටි කාන්තාවන් දෙදෙනා තාර පාර පැත්තට ගිහින් ටික වේලාවකට පස්සේ කැලේට ආවා.
ඇවිල්ලා කිව්වා ක්ලේමෝ දෙක සෙට් කළා. වැඬේ හරි කියලා මට කිව්වා ගහක් උඩට නැගල ආමි වාහනයක් එනව නම් කියන්න කියලා. මම එතන තියෙන ගහකට නැග්ගා. ඒ ගහ උඩ ඉන්නකොට තාර පාර දිගේ මීටර් 200ක් විතර ඈත දුර පේනවා. පාර දිගේ ඈතින් එන වාහනත් පේනවා. මේ වනවිට උදේ ඉරත් පායලා තිබුණි. වටපිටාව හොඳට පේනවා. මේ විදිහට මා ගහ උඩට නැගලා ආමි ට‍්‍රක් එකක් හෝ බස් එකක් හෝ වෙනත් ආමි වාහනයක් එනවද කියලා බලා ගෙන ඉන්නකොට මීටර් 200ක් විතර ඈතින් කහ පාට බස් එකක් එනවා දැක්කා. එවිටම හරි හරි කහපාට බස් එකක් එනවා කියා මා කෑ ගැහුවා. ඒ අතරේ දැක්කා ඒ බස් එකේ සුදු ඇඳුම් ඇඳ ගත්ත සිවිල් ගැහැණු අය ඉන්නවා වාගේ.
ඒ ගමන්ම මම නැවත කෑ ගැහුවා ගහන්න එපා. ගහන්න එපා. සිවිල් බස් එකක් සිවිල් බස් එකක් කියලා. එහෙම කෑ ගසනවාත් සමගම ක්ලේමෝ බෝම්බ පුපුරුවා හරින රිමෝට් එක අතේ තියාගෙන පාර අයිනේ කැළේ සැඟවී සිටි කොටි කෙල්ලෝ දෙන්නගෙන් එක්කෙනෙක් රිමෝට් එක තද කළා. එවිට ක්ලේමෝ බෝම්බ දෙකම පිපිරුණා. ඒ ගමන් විශාල ශබ්දයක් ඇසුනා. අපි පැනලා වේගයෙන් කැලයට දිව්වා. ඒ ගමන්ම දවස් දෙකක් කැලේ මැදින් අපේ කොටි කෑම්ප් එකට ගියා. අපි ක්්ලේමෝ ගහලා පිපුරුවේ මොන බස් එකක්ද ඒකෙ කවුද හිටියේ කියලා හරියටම දැක්කේ නෑ.
අපේ කොටි කෑම්ප් එකට ගියාට පස්සේ තමයි අප දැන ගත්තේ අපි බෝම්බ ගහලා තියෙන්නේ සිවිල් බස් එකකට කියලා. කොටි කර්නල් ලලිත් අපට කිව්වා උඹලා බෝම්බ ගහලා තියෙන්නේ වැරදි බස් එකට කියලා. ඒ හින්දා උඹලට දඬුවම් දෙන්න ඕනෑ කියලා. පසුව අපි වැරදි බස් එකකට බෝම්බ ගැහුවා කියලා. අප සමග වැඬේට ගිය කෙල්ලෝ දෙන්න හැර පිරිමි හැමෝම යකඩ කම්බි කූඩුවකට දාලා දවස් 08 තිබ්බා. පොලූවලින් හොඳටම ගැහුවා. අපි දාල හිටිය කූඩුව ඇතුලේ කටුකම්බි තිබුණා. නැගිටින්න නිදාගන්න බැරි කූඩුවක් ඒක.
දීන කීපයකට පස්සේ අපි පාලමොට්ටේ බංකර් කපන්න දැම්මා. පසුව නැවත කෑම්ප් එකට ගත්තා. පසුව කොටි කර්නල් ලලිත්ගෙන් මා නිවාඩු ඉල්ලූවා. නිවාඩු දෙන්න බෑ කිව්වා. පසුව මම මගේ අතේ ඇඟිල්ලකට වෙඩි තියා ගත්තා. එහෙම වෙඩි තියා ගත්තේ තුවාල වුණාම රෝහලකට යවයි කියලා හිතලා. ඊට පස්සේ පැනලා යන්න පුළුවන් කියලා හිතාගෙනයි එහෙම ඇඟිල්ලකට වෙඩිතියා ගත්තේ. ඒත් මාව රෝහලකට යැව්වේ නෑ. කෑම්ප් එකේ තියාගෙන බෙහෙත් කළා. පසුව නැවත ඩිෆෙන්ස් ලයින් එකට දැම්මා. එතන ඉන්නකොට මම බීඩියක් බීලා අහුවෙලා නැවත මට පනිශ්මන්ට් දුන්නා. පසුව බේස් කෑම්ප් එකට ඩියුටි දැම්මා. එහිදී මා කොටින්ගෙන් මිදිලා පැනලා ගියා. එහෙම පැනලා කනකරායන්කුලමට ආවා.
එතකොට 2007 වසරේ මුල වගේ. ඊට පස්සේ පවුලත් එක්ක පුදුකුඩිඉරුප්පු ගියා. එහි පදිංචිවෙලා කුලී වැඩ කරන අතරේ ඒ ප‍්‍රදේශයෙත් යුද්ධය පටන් ගත්තා. පසුව පවුලත් එක්ක 2009.05.14 වැනි දින රජයේ හමුදා පාලන ප‍්‍රදේශයට ගියා. එහි අවතැන් කඳවුරුවල ටික කාලයක් ඉඳලා මුතූර් තංගනගර් ගමට ආවා. ඒ වනවිට මීට පෙර කැබිතිිගොල්ලෑවේ යකාවැවදී මගී බසයකට ක්ලේමෝ බෝම්බ ගහලා මිනිස්සු මැරුවේ අප කියලා මම බිරිඳට කියලා තිබුණේ.
තංගනගර් ගෙදර බිරිය සමග පදිංචිව සිටින අතරේ බිරිය මා සමග රණ්ඩු වුණා. ඒ තරහට බිරිය සේරුනුවර පොලිසියට ගිහින් කිව්වා කැබිතිගොල්ලෑව යකාවැවදී බස් රථයකට ක්ලේමෝ ගහලා සිවිල් මිනිස්සු මරපු සිද්ධියට මා සම්බන්ධයි කියලා. පසුව සේරුනුවර පොලිසියෙන් ඇවිත් මාව අත්අඩංගුවට ගෙන ත‍්‍රිකුණාමලය ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයට බාර දුන්නා.
පැමිණිල්ල වෙනුවෙන් ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සමග රජයේ නීතිඥ ක‍්‍රිසංගිකා ප‍්‍රනාන්දු මෙනවිය විත්තිකරු වෙනුවෙන් නීතිඥ කාලිංග රවීන්ද්‍ර මහතා ද පෙනී සිටියහ.
2006 වසරේ ජූනි මස 13 වැනි දින හෝ ඊට ආසන්න දිනයක අනුරාධපුර බල ප‍්‍රදේශයට අයත් කැබිතිගොල්ලෑව යකා වැවදී වචන මගින් හෝ සංඥා මගින් හෝ දෘෂ්‍ය නියෝජනය මගින් හෝ අන්‍යාකාරයෙන් සාහසික ක‍්‍රියා ඇතිවීමට සැලැස්වීමට අදහස් කිරීමෙන් එනම් රාජ්‍ය විරෝධි සංවිධානයක් වන එල්ටීටීඊ සංවිධානයට බැඳී එම සංවිධානයේ සාමාජිකත්වය දරමින් මගී ලංගම රථයකට ක්ලේමෝ බෝම්බ ප‍්‍රහාරයත් දියත් කොට එකී බස් රථය පුපුරවා හැරීමෙන් 1988 අංක 22 දරන සහ 1882 අංක 10 දරන පනත් වලින් සංශෝධිත 1979 අංක 48 දරන ත‍්‍රස්තවාදය වැලැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ 2 (1) ඌ වගන්තිය සමග කියැවිය යුතු 2 (2* (II* වගන්ති යටතේ 2012 වසරේ මාර්තු මස 12 වැනි දින නීතිපතිවරයා මෙම අපරාධය විත්තිකාර කොටි ප‍්‍රබලයාට එරෙහිව අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබිණි.
.jpg)

