දරුවන් අකුරු කරන පාසලක මර උගුල්


මෙම තීරුවේ අප බොහෝවිට ලියා ඇති වැකියක් තිබේ. එනම් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ තරම් පන්ති බේදය ඇති වෙනත් ක්ෂේත්‍රයක් නොමැති බව ය. අප එසේ ලියා තැබුවේ එය සනාථ කිරීමට ඇතිතරම් ජීවමාන සාක්‍ෂි සාධක ද සහිතව ය. අද අපගේ අවධානය යොමු වන්නේ එබඳු ම ප්‍රවෘත්තියක් සම්බන්ධයෙනි.

අප පුවත්පත ඊයේ මුල් පිටුව සරසා තිබූ ඡායාරූපය මැදිරිගිරිය, දිවුලන්කඩවල ජාතික පාසලට අදාළව ය. එය ජාතික පාසලක් වුවද සේයාරුවේ අන්තර්ගත කතාව ජාතික පාසලකට නොව ප්‍රාථමික පාසලකට ද තරම් නොවන්නකි.

පාසලක ප්‍රමුඛතාව දිය යුතු වන්නේ දරුවන්ගේ ආරක්‍ෂාව ය. අධ්‍යාපනය ද්විතියික වේ. එහෙත් අප රටේ බොහෝ පාසල්වල දරුවන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් නැත. නැතහොත් ආරක්‍ෂාව තර කිරීමට අවශ්‍ය සම්පත් නැත. ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් කළ ද ඒවා බීරි අලින්ට වීණා වාදනය කිරීම හා සමාන ය. යම් හෙයකින් අවාසනාවන්ත සිදුවීමක් වුවහොත් මල්වඩමක් එවීමෙන් සියල්ල යටපත් කර දමනු ලබයි. අප රටේ බොහෝ දරුවන් ඇල්මෙන් අකුරු උගනින්නේ එබඳු මර උගුල් ගහන ශාපලත් බිම්කඩවල්වල සිට ය.

මැදිරිගිරිය, දිවුලන්කඩවල ජාතික පාසලට අදාළ කතාවෙන් කියැවෙන්නේ එයයි. මෙම ජාතික පාසල පොලොන්නරුව හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයට අයත්වන්නකි. මෙම පාසලේ පළමු වසරේ සිට 13 වසර දක්වා ඉගැන්වීම් කරන අතර ශිෂ්‍ය සංඛ්‍යාව 2500කට ආසන්න ය. ආචාර්ය මණ්ඩලය 106 කි.

මෙම පාසලේ බහුකාර්ය දෙමහල් ගොඩනැගිල්ලක් සඳහා මුල්ගල තැබෙන්නේ 2018 වසරේ දී ය. ඒ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිව සිටි සමයේ ‘‘පිබිදෙන පොලොන්නරුව’’ ව්‍යාපෘතිය යටතේ ය. ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 500 කි. මෙම බහුකාර්ය ගොඩනැගිල්ලේ ගෘහ විද්‍යාගාරය, පුස්තකාලය හා තාක්‍ෂණ අංශය ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත. අප පුවත්පතේ මුල් පිටුවේ පළවූ ඡායාරූපය එම බහුකාර්ය දෙමහල් ගොඩනැගිල්ලේ අද තත්වය පිළිබඳව ය.

මෙම දෙමහල් ගොඩනැගිල්ලේ වැඩ තවම අවසන් නැත. අඩක් නිමකර ඇති ගොඩනැගිල්ලේ ආරක්‍ෂක වැට වෙනුවට කොහු ලණු ආධාරයෙන් යකඩ බට බැඳ පුටු සහ තහඩු අහුරා තිබේ.

 අනතුරේ ප්‍රමාණයත්, බරපතළකමත් සිතාගත හැකි ය. පළමු වසරේ සිට 13 වසර දක්වා පන්ති පැවැත්වෙන දූ පුතුන් 2500 කට ආසන්න පිරිසක් ඉගෙනුම ලබන පාසලක මෙවැනි මර උගුල් තිබිය හැකි ද යන්න ප්‍රශ්න කළ යුතු ම ය. විශේෂයෙන්ම දඟකාර වියේ පසුවන දරුවන් දහස් ගණනක් ගැවසෙන පාසලක උඩු මහලක ආරක්‍ෂක වැටක් නොතිබීම යනු නියත වශයෙන්ම මරුට අතවැනීමකි. අප මේ සම්බන්ධයෙන් මෙතරම් අවධානයක් යොමු කරන්නේ එම අනතුර වළක්වාගනු පිණිස ය.

මවුපියන් විසින් තම දරුවන් පාසලට එවනු ලබන්නේ බියකින් හා සැකයකින් තොරව ය. තම දරුවාට නිවසේදී මෙන් ආරක්‍ෂාව සැලැසී ඇතැයි යන ඒකාන්ත විශ්වාසයෙනි. දරුවකුට නිවෙස හැරුණුවිට ඇති එකම විශ්වාසවන්ත වගේම ආරක්‍ෂිත ස්ථානය පාසල බවට පිළිගැනෙන පොදු මතයකි. එහෙත් මැදිරිගිරිය දිවුලන්කඩවල ජාතික පාසලෙන් කියැවෙන්නේ එය එසේම නොවන බව ය.

පළමුව පරීක්‍ෂා කළ යුත්තේ මෙම දෙමහල් බහුකාර්ය ගොඩනැගිල්ලට වෙන් කළ බව කියන රුපියල් මිලියන 500ට සිදුවූයේ කුමක්ද යන්නය. එය සතේට වියදම් කළේ නම් උඩුමහලේ ආරක්‍ෂිත වැට ඉදිකිරීමට නොහැකිවූයේ ඇයිද යන්න දෙවනුව සොයා බැලිය යුතු ය. මන්දයත් දුවා දරුවන්ගේ ජීවිත සමග මෙසේ සෙල්ලම් කිරීමට කිසිවකුට අයිතියක් නැති හෙයිනි.

 

(***)