ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට නැවතීමක් නැද්ද?


2024 සැප්තැම්බර් 23, නව ජනාධිපති අනුර කුමාර දිසානායක දිවුරුම් දුන් දිනයේ පටන් මේ දක්වා අවම වශයෙන් 12 දෙනෙකු ත්‍රස්තවාදය වැළැක්වීම් පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබේ. මේ අයගෙන් 10 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ 2024 ඔක්තෝබර් සහ දෙසැම්බර් අතරය. අනෙක් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ 2025 මාර්තු - අප්‍රේල් මාසවලදීය. මෙම සංඛ්‍යා මාධ්‍ය වාර්තා පදනම් කොට ලබා ගත් ඒවා වන අතර සැබෑ සංඛ්‍යාව මීට වඩා ඉහළ සංඛ්‍යාවක් විය හැකියි.

මින් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ සෑම වසරකම නොවැම්බර් 27 වැනිදාට යෙදෙන “මහාවීර් නාල්” යනුවෙන් හැඳින්වෙන දමිළ ඊළාම් විමුක්ති කොටි (LTTE) සංවිධානයේ මිය ගිය සාමාජිකයන් අනුස්මරණය කිරීමට අදාළ උත්සවයේ තොරතුරු බෙදා හැරීම සම්බන්ධයෙන් (ඊට අදාළ සංවිධාන කටයුතු කිරීම උදෙසා නොවේ). බව වාර්තා වේ. හත් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වන්නේ, පලස්තීනුවන්ට එරෙහිව ඊශ්‍රායලය සිදුකරන කුරිරුකම් සම්බන්ධයෙන් මෙරට තුළ සිදුකරන ප්‍රතිචාර දැක්වීම්වලට අදාලවය. එක් අයකු, නැගෙනහිර වීශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පැහැර ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ, කොළඹ, ගාල්ල, යාපනය, මඩකළපුව යන දිස්ත්‍රික්කවලිනි. සිංහල ජාතිකයන් තිදෙනෙක්, අවම වශයෙන් මුස්ලිම්වරුන් දෙදෙනෙක් සහ දමිළ ජාතිකයන් දෙදෙනෙක් ඊට ඇතුළත් වෙති. ඉන් එක් අයෙක් ද්විත්ව පුරවැසියෙකි. ඔවුන්ගේ ඇතමකුගේ නම්, දිස්ත්‍රික්ක හා ජාතිකත්වය පැහැදිලි නැත. අවම වශයෙන් මින් සිව් දෙනකු ඇප මත මුදා හරින ලද බව මාධ්‍ය වාර්තා කළ අතර අනෙක් අය තවමත් රඳවාගෙන සිටින්නේ ද නැතහොත්, ඇප මත නිදහස් කර ඇත්තේ ද යන්න තවමත් පැහැදිලි නැත.

මෙම අත්අඩංගුවට ගැනීම් කර ඇත්තේ, සමාජ මාධ්‍ය පළකිරීම්, දේශපාලනයට අදාළ ස්ටිකර ඇළවීම සහ පලස්තීනයට සහාය දීම යන විවිධ ක්‍රියා හේතු කොට ගෙනයි. ඇතැම් අත්අඩංගුවට ගැනීම්වලින් දමිළ ඓතිහාසික අනුස්මරණයන් හා බලයේ සිටින රජය විවේචනය කිරීම සම්බන්ධ කාරණා ඇතුළුව ඩිජිටල් හා දේශපාලන අදහස් පළ කිරීම ආදිය අපරාධකරණයට ලක්කර ඇති සෙයක් පෙන්වයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ මුවාවෙන් නිදහසේ අදහස් පල කිරීම නිහඬ කරවීම උදෙසා නීතිමය ප්‍රතිපාදන භාවිත කර ඇති ආකාරයත්, වෙනත් මත දැරීමේ අයිතිය පාගා දැමීමත් මෙම අත්අඩංගුවට ගැනීම් ඔස්සේ ප්‍රබලව පිළිබිඹු වන්නේය. ඇතැම් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමෙන් දින තුන හතරක් ඇතුළත අධිකරණයට ප්‍රමාණවත් සාක්‍ෂි ඉදිරිපත් නොකිරීම නිසා ඇප පිට නිදහස් කර තිබීමෙන් එම අත්අඩංගුවට ගැනීම්වල අවශ්‍යතාව හා රඳවා ගැනීමේ අවශ්‍යතාව කුමක්ද යන ප්‍රශ්නය පැන නැගෙන්නේය. මෙම සිද්ධිවලින් තෝරා බේරා බලපෑම් කිරීමේ රටාව පැහැදිලි වන අතර විසම්මුතිය ඉලක්ක කොට නිරන්තයෙන්, සාමකාමී අදහස් පලකිරීමට හා දේශපාලනයට සම්බන්ධව ප්‍රතිචාර දක්වන සෙයක් පෙනී යයි. අවසාන වශයෙන් කී කාරණයේ දී විධායකයෙන් මෙහෙවුණු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතය පැහැර ගැනීම් සහ අනෙකුත් බරපතළ අපරාධ සම්බන්ධයෙන් නීතිමය අධීක්‍ෂණයන්ට වඩාත් යටත් වෙන වෙනත් නීති භාවිතයෙන් තොරව සිදු වන්නේ ද යන ප්‍රශ්නය පැන නැගේ. රඳවා තබා ගැනීම් ඔස්සේ ත්‍රස්ත විරෝධී නීති සාමාන්‍යකරණයට පත්කර ගැනීමේ භයානක තත්වයක් මෙයින් යෝජනා කෙරේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින්ම තහනම් කළ යුතුය යන්නත්, එය ප්‍රතිසංස්කරණය හෝ ඒ වෙනුවට වෙනත් පනතක් ඉදිරිපත් නොකොට එය සහමුලින් ඉවත් කළ යුතු බවත් අපි තරයේ විශ්වාස කරමු. ත්‍රස්තවාදය හා සම්බන්ධ කටයුතු කෙරෙන නීති 14 ක් පමණ ශ්‍රී ලංකාවේ පවතින බව අපට පෙනී යයි. දැනට පවතින ත්‍රස්තවාදය හා ඒ සම්බන්ධ අභියෝගයන් සම්බන්ධ ක්‍රියාත්මක වීමේදී මෙම පවතින නීතිවල යම් අඩුපාඩු ඇත්නම්, රජය විනිවිද පෙනෙන සුළු ආකාරයෙන් එම අඩුපාඩු පෙන්වා දී එම අඩුපාඩු අව්‍යාජ වූ, පරිපූර්ණ උපදේශාත්මක ක්‍රියාදාමයකින් අපරාධ විධිවිධාන සංග්‍රහය සංශෝධනය කිරීමේ දී සපුරා ගත යුතුවේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අයුක්ති සහගත ලෙස දීර්ඝ කාලයක් රඳවා තබාගෙන (ඇතැම් විට වසර 16 පවා) නිදහස් කරන අවස්ථාවල දී ප්‍රමාණවත්, වන්දියකුත්, ප්‍රසිද්ධියේ සමාව ඉල්ලීමක් සහ හානිපූරණය කළ යුතු බවටත්. ඊට වග කිවයුත්තන් වගකීම දැරිය යුතු බවත් අපි විශ්වාස කරන්නෙමු.

ජනාධිපති අනුර කුමාර බලයට පැමිණීමෙන් පසු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් අයගේ ලැයිස්තුව (මාධ්‍ය වාර්තා පදනම් කොට):

මනෝහරන් කජේන්ද්‍රරූපන්, 35 හැවිරිදි දමිළ දෙදරු පියෙකි. යාපනය දිස්ත්‍රික්කයේ චුන්නාකම් හි ඉනුවිල් බටහිර පදිංචි මොහු 2024 නොවැම්බර් 30 වැනිදා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලීසියේ ත්‍රස්ත විරෝධී විමර්ශන  අංශයෙනි (CTID). පොලීසිය පවසන ආකාරය හිටපු එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් පෙනී සිටින වීඩියෝ සහ ඡායාරූප ඔහු සිය මුහුණු පොතේ (FB) හි ගිණුමේ සංසරණය කිරීම සම්බන්ධයෙන් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. 2024 දෙසැම්බර් 4 වැනි දින යාපනය මහේස්ත්‍රාත්වරයා විසින් ඔහු ඇප පිට නිදහස් කර තිබෙන්නේ විදේශ ගමන් තහනමක් හා රුපියල් ලක්‍ෂ දෙකක ඇපයක් පිටයි.

කැලුම්හර්ශණ කොළඹ දිස්ත්‍රික්කයේ මරදානේ පදිංචි 28 හැවිරිදි අයෙකි. මොහු 2024 නොවැම්බර් 30 වැනිදා පොලීසියේ අපරාධ විමර්ශන අංශයෙන් (CID) අත්අඩංගුවට ගෙන ඇත්තේ, සිය මුහුණු පොතේ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ රූප බෙදා හැරීම සහ LTTE යේ පෙර මාවිරාර් නාල් උත්සවයේ වීඩියෝ පටයක් බෙදා හැර අනුස්මරණය කිරීම හා මහජන සාමය කඩාකප්පල් කිරීමේ චෝදනා උදෙසාය. නීතිමය කටයුතු අපරාධ විධි විධාන සංග්‍රහයේ 120 වගන්තිය යටතේ සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 27 වගන්තිය යටතේ ආරම්භ කරන ලදුව 2024 දෙසැම්බර් 2 වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඇප නියම කෙරිණි. ජනිත් චතුරංග, නොවැම්බර් 30  වැනිදා අත්අඩංගුවට ගෙන ඇත්තේ මාර්විරාර් නාල් (මහවිරු සැමරුම)ට අදාලා විකෘතිකර තොරතුරු බෙදා හැරීම උදෙසාය. මොහු ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම කිරිබත්විල පදිංචි 45 හැවිරිදි අයෙකි. එල්.ටී.ටී.ඊ.යට සම්බන්ධ ඡායරූප හා වීඩියෝ පට බෙදාහැරීමට අදාළ චෝදනා මත මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉහතකී පුද්ගලයාට චෝදනා එල්ල කළ පදනමින්මය.

අත්අඩංගුවේ රඳවා තබා බද්දේගම මහේස්ත්‍රාත්වරයා ඉදිරියට පමුණුවන ලදුව 2024 දෙසැම්බර් 17 දක්වා රිමාන්ඩ් භාරයේ තැබිණි. ඔහුගේ නිදහස් කිරීම සම්බන්ධ කිසිදු වාර්තාවක් පළ නොවූයේය.

කොළඹ දිස්ත්‍රික්කයේ බොරලැස්ගමුව ප්‍රදේශයෙන් දේශපාලන හා සමාජ ක්‍රියාධරයකු වූ කැලුම් හර්ෂණ ජයසුමන දෙසැම්බර් 1 වැනිදා පොලීසියේ පරිගණක අපරාධ අංශයෙන් අත්අඩංගුවට ගැනුණේ මහාවීර (මාවිරාර් නාල්) සැමරුම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයන්හි වීඩියෝ පටයක් බෙදා හැරීම හේතුකොට ගෙනයි. එය මහජන නොසන්සුන්තාවට හේතු වීමෙ විභවතාව පවතින්නක් බවට චෝදනා එල්ල විය. ඔහු ත්‍රස්වාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අධිකරණයට ඉදිරිපත් කරන ලද බවට මාධ්‍ය වාර්තා පළ විය. කෙසේ වුවද ඇතැම් මාධ්‍ය වාර්තාවල ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලද්දේ අපරාධ විධි විධාන සංග්‍රහයේ 120 වගන්තිය යටතේ බව පළවිය. ඔහු 2024 දෙසැම්බර් 4 වැනිදා ඇප නියම කොට නිදහස් කෙරිණි.

2024 ඔක්තෝබර් මාසයේ දී මාලදිවයිනේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසියකු වූ බිලාල් මොහොමඩ්, තවත් 5 දෙනෙකු සමග CTID යෙන් අත්අඩංගුවට ගැනුණි. අරුගම් බොක්ක ප්‍රදේශයේ එල්ලවිය හැකි ප්‍රහාරයක් සම්බන්ධයෙන් 2024 ඔක්තෝබර් 07 වැනිදා ඉන්දියානු බුද්ධි අංශයෙන් ලත් තොරතුරකට අනුව ඔහුව අත්අඩංගුවට ගත් බවට වාර්තා පළ වූයේය. ඊශ්‍රායලය විසින් පවත්වාගෙන යන ආරුගම්බේ පිහිටි චබාද් නිවසකට (සිනාශෝගයකට) ප්‍රහාර එල්ල කිරීමට සැළසුම් කිරීම (එය ඊශ්‍රායල සංචාරකයන් නිතර ගැවසෙන ස්ථානයකි) අදාළව ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ. දින 90ක් රඳවා ගැනීමේ නියෝගයක් මත ඔවුන් රඳවාගත් බවට වාර්තා විය.

විසි හැවිරිදි තරුණයකු වූ කොළඹ පදිංචි මොහොමඩ් රස්ඩි, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනුණේ “F... Israed’’ යනුවෙන් දැක්වෙන කුඩා ස්ටිකරයක් වෙළඳ සංකීර්ණය අලවනු පෙනෙන CCTV දර්ශන පදනම් කරගෙනය. එය ගාසා තීරයේ ඊශ්‍රායල් හමුදා ක්‍රියාකාරකම් හෙළා දකින කෙටි සටන් පාඨයකි. අන්තගාමී ත්‍රස්තවාදී සංවිධානයක් සමග ඔහු හවුල් වී ඇතැයි සැකපිට ඔහු දින 90 රඳවා ගැනීමේ නියමයක් මත රඳවා ගැනිණි.

අන්තවාදී මතවාදයන්ගෙන් අභිප්‍රේරණ ලදුව ප්‍රජාවගේ සාමය හා සංහිඳියාවට හානිවන අයුරින් ක්‍රියා කිරීම සහ සන්නද්ධ හමුදාවලින් දන්නා තොරතුරු වසන් කිරීම යන චෝදනා ද ඔහුට එල්ල විය. ඔහු අත්තනගල්ල මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2025 අප්‍රේල් 7 වැනිදා ඇප පිට නිදහස් කෙරිණි.

රුස්ඩි නිදහස් කරන ලෙස ඉල්ලා මාර්තු 29 වැනිදි විරෝධතාවක් පැවැත් වුණු බව වාර්තා විය. පලස්තීනුවන් සමග සහයෝගීතාව පවත්වා ගන්නා සාමකාමී අදහස් පළ කිරීමක් ත්‍රස්තවා දී ක්‍රියාවක් ලෙස සැලකෙන්නේ කෙසේදැයි එම විරෝධතාකරුවෝ ප්‍රශ්න කළහ. එම විරෝධතාව සංවිධානය කළ නැතැත්තා තවදුරටත්, කොළඹ අපරාධ කොට්ඨාසයෙන් කැඳවනු ලැබීය. බලධාරීන් විසින් විරෝධතාකරුවන් බිය ගැන් වූයේ යයි කියනු ලබන ප්‍රශ්න මතු වූ බව මුජිබර් රහ්මාන් විරුද්ධ පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ සහ නීතිඥ හජිස් හිස්බුල්ලාගේ සමාජ මාධ්‍ය සටහන්වලට අනුව පෙනී ගියේය.

 

(***)
2025 මැයි 17 Daily Mirror පුවත්පතේ පළවූ
Continued use of PTA Under New President
ලිපියේ පරිවර්තනය
සමන් පුෂ්ප ලියනගේ