බුද්ධ කාලීන භික්ෂු සමාජය තුළ ප‍්‍රසිද්ධියට පත් භික්ෂූන් වහන්සේලා දෙවර්ගයකි. එනම්, සමාජයට අර්ථය සිදුකිරීම, සහ අනර්ථකාරී කටයුතු කිරීම යනුවෙනි. ජබ්බග්ගිය, සත්තරස භික්ෂූන්, දේවදත්ත, කටමොරතිස්ස, කෝකාලික ආදී භික්ෂූන් වහන්සේලාගේ නම් ප‍්‍රසිද්ධ වූයේ අයහපත් දේවල් කිරීම හා සම්බන්ධවයි. එයිනුත් කෝකාලික භික්ෂුව නමින් දෙනමක්ම බුද්ධ කාලීන සමාජය තුළ වැඩ සිටි බව සුත්තනිපාත අටුවාව කියයි. සුත්තනිපාත අටුවාවේ කෝකාලික සූත‍්‍ර වර්ණනාවෙහිදී මෙම අදහස කියැවෙයි.

සූත‍්‍ර පිටකයේ කෝකාලික නමින් සූත‍්‍ර හතරක් දක්නට ලැබේ. එනම්, සංගි කෝකාලික, පඨම සූත‍්‍රය සහ කෝකාලික දුතිය සූත‍්‍රය ද අංනිහි කෝකාලික සූත‍්‍රයද සහ සුත්තනිපාතයෙහි කෝකාලික සූත‍්‍රය යනුවෙනි. ජාතක පාළියේ කෝකාලික ජාතකය යනුවෙන් ජාතක කතාවක්ද තිබේ. අප මෙහිලා දක්වන්නේ සුත්තනිපාත අට්ඨ කථාවෙහි සඳහන් වන කෝකාලික සූත‍්‍රයට සම්බන්ධ කරුණුයි. මෙහි සඳහන් වන කෝකාලික භික්ෂුව දේවදත්ත හිමියන්ගේ ප‍්‍රධාන ශ‍්‍රාවක කෝකාලික භික්ෂුව නොවේ. මුන්වහන්සේ කෝකාලි රටෙහි කෝකාලි නගරයෙහි කෝකාලි සිටුවරයාගේ පුත‍්‍රයාය. සුළු කෝකාලික නමින් පැවිදිව පියාණන් විසින් කරවන ලද විහාරයෙහි වාසය කරයි. බමුණු පුතකු වූ මුන්වහන්සේ මහා කෝකාලික යනුවෙන් ප‍්‍රසිද්ධියට පත්වූහ.
බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩ වසන කාලයේ අගසව් දෙනම වෙනත් භික්ෂූන් පන්සියයක් සමග ජනපද චාරිකාවෙහි යෙදෙමින් වස් සමාදන් වන කාලයෙහි විවේකීව වාසය කිරීමට කැමතිව තමන් සමග සිටි භික්ෂූන් වහන්සේලා පිටත් කොට යවා තම පා සිවුරු ගෙන කෝකාලික හිමියන් වැඩ වසන විහාරයට වැඩියහ. කෝකාලික හිමියන් සමග සතුටුසාමීචියේ කතාකොට ‘‘ඇවැත්නි අපි මේ වස්කාලය තුළ මෙහි වැඩ වසන්නට කැමැත්තෙමු. අප දෙනම මෙහි වැඩ වසන බව කිසිවකුටවත් දැන ගැනීමට ඉඩ සලසන්න එපා’’ යයි කීහ. කෝකාලික හිමියෝද, යහපතැයි කියා එයට කැමැති වූහ. ඒ අනුව කිසිවකුටවත් දැනගත නොහැකි වන පරිදි අගසව් දෙනම එම විහාරයේ වස් වැසූහ.
කෝකාලික භික්ෂුව වස් අවසන්වීමට පෙර ගමට ගොස් අගසව් දෙනම විහාරයේ වස් සමාදන් වී සිටින බව නොදන්නෙහි දැයි මිනිසුන්ට කීවේය. අප ඒ බවක් දැන සිටියේ නැතැයි මිනිසුන් කී කල්හි කෝකාලික භික්ෂුව ‘‘ඇයි දෙනමක් පන්සලේ වැඩ වසන බව නොදත්තෙහි’’ දැයි කීවේය. සතර පේරුවේ දායක කාරකාදීහු විවිධ ප‍්‍රත්‍යයන් ගෙනවුත් කෝකාලික හිමි ඉදිරියේ තැබූහ. අග සව්වෝ ලද දෙයින් සෑහීමකට පත්වන්නෝය. දැනුම් දීම නිසා ලත් පූජා භාණ්ඩ භාර නොගනිති. ඒ නිසා එසේ භාර නොගෙන ඒවා මෙහි වසන අනෙක් හිමියන්ට දෙවයි කියන්නාහ. එවිට ඒ අනුව මම ඒවා පරිභෝජනය කරන්නෙමියි කෝකාලික භික්ෂූන් වහන්සේ කල්පනා කළහ.
තෙරුන් වහන්සේලා දෙනම ඒවා දුටු කෙනෙහිම දැනුම්දීම නිසා ලද බව දැන ‘‘මේවා අපට නොව කෝකාලිකට වටී යයි සිතා’’ මේවා ආවාසයේ වසන අනෙක් භික්ෂුවට පූජා කරන්න’’ යයි නොකියාම විහාරයෙන් බැහැර වී බුදුන්වහන්සේ හමුවට වැඩියහ. බුදුරජාණන් වහන්සේ අගසව් දෙනමට බොහෝ දෙනාගේ හිතසුව පිණිස චාරිකාවේ හැසිරෙන්න යයි කීහ. අගසව් දෙනමගේ කල් ක‍්‍රියාව ගැන කෝකාලික භික්ෂුව දොම්නස් විය. එයට හේතුව ‘‘තමන් පත්‍යධාර නොගන්නේනම් තමන් වහන්සේටවත් ඒවා දෙන්න’’ යයි නොකීම නිසාය.
බුදුරජාණන් වහන්සේගේ ප‍්‍රකාශය නිසා ජනපද චාරිකාවේ යෙදුණු අගසව් දෙනම ඇතුළු භික්ෂූන් වහන්සේලා එසේ චාරිකා කරමින් නැවත කෝකාලි නුවරටත් ගියහ. නගරවාසීහු නගරය මැද විශාල වේදිකාවක් කරවා ඉමහත් ගෞරවයෙන් භික්ෂූන් වහන්සේලාට දන් පිළිගැන්වූහ. පිරිකරද පිළිගැන්වූහ.
අගසව් තෙරුන් වහන්සේලා ඒ පිරිකර අනෙක් භික්ෂූන් වහන්සේලාට දුන්හ. මේ සිද්ධිය දුටු කෝකාලික භික්ෂුව කලින් මේ තෙරුන් වහන්සේලා ලද දෙයින් සතුටු වූහ. දැන් ලෝභයෙන් වෙළී පවිටු බවට පත්වූහ. පෙරදීද ලද දෙයින් සතුටුවීමේ ගුණයෙන් ඈත් වී දැයි හැගේ. ‘‘මේ නැති ගුණ පෙන්වන ළාමක භික්ෂූන් යැයි’’ සිතුවේය. එසේ සිතා අගසව් දෙනම වෙත ගොස් ‘‘ඇවැත්ති ඔබ පෙර ලද දෙයින් සතුටුව විවේකීව මෙන් සිටියාහුය. දැන් පවිටු පැවිද්දන් සේ’’ යයි කියා මේ තත්ත්වය බුදුරජාණන් වහන්සේට පැමිණිලි කරනු පිණිස එදිනම සැවැත් නුවරට වැඩියහ.
මහත් ගුණ නුවණ ඇති උතුමන්ට කරුණු කාරණා හරිහැටි නොදැන ගැරහීම බරපතළ අකුසලයකි. වරද නැති උතුමන්ට නින්දා අපහාස කිරීමද එබදුම අකුසලයකි. කෝකාලික භික්ෂුව සැරියුත් මුගලන් දෙනමට ගැරහීම් කරන විට එය නොකරන්න යයි බුදුහු කීහ. නමුත් කෝකාලික හිමියෝ තම මතයේම සිටියහ. උන්වහන්සේ කල්පනා කරනු ලැබුවේ තමන් ඇසට දුටු දෙය අනුව තමන් නිවැරදිය කියාය. එසේ වූවෝ වර්තමාන සමාජයේත් බොහෝ සිටිති. අවබෝධ පූර්වක කෙනෙකු යමක් පැහැදිලි කර දෙනවිට එය නොඅසා තම අදහසම නිවැරදි සේ සලකමින් එහි ඉඳින්නෝය.
බුදුරජාණන් වහන්සේ අවවාද දී ඉවත්ව ගිය සැණින් කෝකාලික භික්ෂුවට තමන් කළ වරදෙහි විපාක දිට්ඨධම්මවේදනීය වශයෙන්ම ලැබිණි. එනම්, ශරීරයේ බිබිලි එන්නට පටන් ගැනීමයි. ඒ අනුව ඒවා පැසවා සම අපවිත‍්‍ර වී ගියේය. ඇතැම් බිබිලි ක‍්‍රමයෙන් ලොකු වී පැසවා පිපිරෙන්නට විය. සම්පූර්ණ ශරීරයම දුගඳ හමන්නට විය. කෝකාලික භික්ෂුව සිරුරම කුණු වී බොහෝ විපතට පත්ව ජේතවන දොරටුවෙහි නිදා සිටියේය. දහම් ඇසීමට එන යන මිනිස්සු එය දැක ‘‘කැතය කෝකාලික, ලැජ්ජයි කෝකාලික නුසුදුසු දෙයක් කළෙහි’’ කීහ. තමන්ගේම අඥානකම නිසා බොහෝ විපතට පත්වී යයි කීහ. කෝකාලික භික්ෂුවගේ ගුරු හිමියෝ අනාගාමී ඵලයට පත්ව සුද්ධාවාසයෙහි ඉපිද සිටියහ. සැරියුත් x මුගලන් වැනි උතුම් ගුණධර්ම සහිත අය හට දොස් නැගීමේ වරද තේරුම්කර දුන්නද ඒ ගුරු බසටද අවනත නැතිව ඒ අපරාධයෙන්ම කලූරිය කොට පදුම නමැති නරකයෙහි උපත ලැබුවේය.
සැවැත්නුවර එක්තරා හරක් මරන්නෙක් සිටියේය. හේ නමින් නන්ද නම් විය. ඔහුගේ ජීවිකාව වූයේ හරක් මරා මස් පිණිස විකුණා ජීවත්වීමය. ඒ නිසාම ඔහු නන්ද ගෝඝාතකයා යනුවෙන් ප‍්‍රසිද්ධ විය. ඔහුද හරක් මස් කෑමෙහි ලොල් වූවෙකි.
එක දවසක් නන්ද හරක් මස් නොලැබ ජීවමාන ගොනකුගේ දිවකපා ගින්නෙහි ලා පුලූස්සා බත් සමග කන්නට පටන් ගත්තේය. ඔහු කළ මේ ක‍්‍රියාව දුටු දුටුවන්ගේ අප‍්‍රසාදයටද ඇසු ඇසුවන්ගේ ගැරහුමටද ලක්විය. කපා පුලූස්සා ගත් හරක් දිව සමග බත් කමින් සිටි නන්ද ගෝඝාතකගේ දිව මුලින් ගැලවී කමින් සිටි බත් ගොඩෙහි වැටිණි. ඒ කල්හි නන්ද මහ හඬින් හඬා දුක්විඳ මරණයට පත් විය. නිරයෙහි උපත ලැබීය.
එක්තරා පුද්ගලයෙක් සිටියේය. හේ නූගත්ය. උත්පත්තිය ලැබුවේද නූගත් මිනිසුන් සහිත ප‍්‍රදේශයකය. ජීවනෝපාය හැටියට ඔහු විසින් කරනු ලැබුවේ කුරුල්ලන් ඇල්ලීමය. මොනර, කුකුළු ආදී පක්ෂීන් අල්ලන ඔහු එම සතුන් ඇතිකරන අයට බෙදාදෙයි. එයින් ජීවත්වෙයි. ඇතැම් පක්ෂීන් මරා මස් කන්නවුන්ට දෙයි. එයින් ජීවත් වෙයි. ඉතිරි පක්ෂීන් මරා තබන විට කුණුවී යයි. ඇතැම් විට පියාසර කිරීමට නොහැකි වන සේ කකුල් ඇට ආදිය සිඳ තබා විකුණයි. තමාද එම මස් අනුභව කරයි. මෙබදු බරපතළ අකුසල ධර්ම රැස්කරමින් සිටින මොහු දවසක් රහතන් වහන්සේ නමකට දන් පාත‍්‍රයක් පූජාකොට නිවන් සැප ලැබේවායි ප‍්‍රාර්ථනා කරනු ලැබීය.
පසු ආත්මයක බුදුන් දවස සැවැත්නුවර උත්පත්තිය ලැබීය. පෙර නමින් තිස්ස නම් විය. බුදුරදුන්ගෙන් බණ අසා හිත පහදවා ගත් හේ මහණ වීමට කැමැත්ත පළ කළේය. ඒ අනුව පැවිදි විය. උපසම්පදා විය. කල්යාමේදී උන්වහන්සේගේ සමෙහි බලවත් රෝගයක් හට ගත්තේය. ශරීරයේ අබ ඇට හා සමාන බිබිලි හටගෙන ක‍්‍රමයෙන් විශාල වී පැලී සැරව ගලන්නට විය. කොතරම් බෙහෙත් කළත් සුවයක් නොලැබිණි. පොරෝනා සිවුරු සැරවවලින් හා ලෙයින් වැකී ගියේය. වෙනත් භික්ෂූන් වහන්සේ නමක් පවා උවටැන් කිරීමට නොගියහ. කුණු වූ ගතක් ඇති නිසාම තිස්ස තෙරණුවෝ පසුව පූතිගත තිස්ස නමින් ප‍්‍රසිද්ධ විය. බුදුරජාණන් වහන්සේ පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ රහත් වී පිරිනිවන් පෑ බව වදාළහ. රහත් වන්නට නිසි පින් ඇතත් ශරීරය කුණුවීමට හේතු වූයේ ඇයි දැයි භික්ෂූහු බුදුරදුන්ගෙන් විචාළහ. එවිට බුදුරජාණන් වහන්සේ පූතිගත්ත තිස්ස තෙරුන්ගේ අතීත පාපකර්ම පැහැදිලිකොට වදාළහ. නිවන් සැප ලැබේවායි ප‍්‍රාර්ථනා කළ නිසා එය සිදුවිය. එකල පක්ෂීන්ගේ ඇට බිඳලූ හෙයින් ශරීරය කුණු විය. ශරීරයේ අස්ථීන්ද බිඳිණ. අකුසල කර්මය බරපතළයි. එය කරන විට එහි බරපතළකම වැටහෙන්නේ නැති තරම්ය. නමුත් එහි විපාකය ආපසු පැමිණෙයි. මිනිස් සිතුවිල්ල විසින් සිතනු ලබන දෙය හෝ කය හෝ වචනයෙන් කරන මිනිසා පෙරළා ලබන්නේද එසේ සමාජයට දුක්දෙන්නටයි. යමක් දීම යනු දීමක් නොව තමාම ලැබීමක්ය යනුවෙන් බුදු සමයේ හි දක්වන්නේ එකී කර්ම නියමයයි.


