කෝටි 97,800ක බදු මුදල් අහිමි කළවුන්ට දඬුවම් නැද්ද?


2022 අප්‍රේල් මාසයේ සිට 2023 මාර්තු මාසය දක්වා වූ මූල්‍ය වර්ෂය තුළදී ශ්‍රී ලංකාවට රුපියල් කෝටි 97,800 ක බදු මුදලක් අහිමි වී ඇතැයි රජය පසුගියදා ප්‍රකාශයට පත් කළේය. එම මුදල් ප්‍රමාණය කොතරම් දැයි කිවහොත් එය 2022 සමස්ත වර්ෂය තුළදී රජය මගින් එකතු කරගනු ලැබූ බදු මුදල් ප්‍රමාණයෙන් සියයට 56ක් බවද සඳහන්ය. ඒ අනුව, එම වර්ෂය තුළදී රජය එකතු කරගෙන ඇත්තේ අපේක්ෂිත බදු ආදායමෙන් සියයට 44ක් පමණි. ඊට වසරකට පසුව රජයටම තම රට බංකොළොත් වී ඇතැයි ප්‍රකාශ කරන තරමට ආර්ථිකය කඩා වැටීම ගැන පුදුම විය යුතු ද? නැත.

මෙරට ප්‍රමුඛතම සමීක්ෂණ වාර්තා සපයන ප්‍රධානම ආයතනයක් වන වෙරිටේ රිසර්ච් මගින් පවත්වාගෙන යන ‘පබ්ලික් ෆිනෑන්ස් ඩොට් එල්කේ’ නම් වන ආර්ථික විශ්ලේෂක වෙබ් අඩවිය මගින් පළ කෙරුණු දත්ත මත පදනම්ව රජය මගින් අදාළ තොරතුරු හෙළි කර තිබිණි. මුදල් අමාත්‍යාංශය මගින් පසුගිය 31 වැනිදා නිකුත් කර තිබූ ‘බදු වියදම් ප්‍රකාශය’ නම් ලේඛනයේ මේ තොරතුරු ඇතුළත් වී තිබේ.

මෙතරම් බදු මුදල් කන්දරාවක් රටට අහිමි වීමට ප්‍රධාන හේතුව ‘විවිධ වූ විශේෂිත ඉලක්ක’ පදනම් කර ගනිමින් ලබා දී ඇති බදු සහන බව ද එම ලේඛනය අනාවරණය කර ඇත. එසේම, එහි සඳහන් කර ඇති තවත් කාරණයක් වන්නේ, මෙම හෙළිදරව්ව සිදු කිරීමේ අරමුණ ‘ජාත්‍යන්තර තලයේ ඉහළම වෘත්තීය නිපුණත්වය සමග අනුගත වෙමින් ශ්‍රී ලංකාවේ ද මූල්‍යමය වාර්තාකරණය විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාම’ බවය. මෙහිදී සඳහන් කළ යුතු තවත් කාරණාවක් වන්නේ, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගෙන තිබෙන ගිවිසුමට අනුව අර්ධ වාර්ෂිකව ශ්‍රී ලංකාවේ බදු සහන ලබන සියලු ආයතනවල ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කිරීමට බැඳී සිටින බවයි.

අපේ රටට බදු සහන ලබාදීම හේතුවෙන් අහිමි වී ඇති මේසා විශාල මුදල් ප්‍රමාණය සලකන විට මේ රටේ විනිවිදභාවයකින් තොරව බදු සහන ලබාදීමේ ප්‍රතිපත්තිය දිගින් දිගටම ඉදිරියට ගෙන ආ සියලුම ආණ්ඩු රට ආර්ථික වශයෙන් බංකොළොත් බවට නම් කිරීමේ කොටස්කාරයන් බව පෙන්වා දිය යුතුය. රුපියල් බිලියන 978ක් යනු, රුපියල් කෝටි අනූහත් දහස් අටසියයකි. මේ, එක් මූල්‍ය වර්ෂයක් තුළදී අහිමි කරගත් මුදලකි. ඒ වර්ෂය තුළදී මෙසේ බදු සහන ලබාගත් ආයතන සහ පුද්ගලයෝ කවරහුද? යන්නත්, එවැනි බදු සහන ලබාගත් පිරිස රටේ ආර්ථිකයට ලබා දී ඇති දායකත්වය කුමක්ද? යන්නත් අනාවරණය කෙරුණා නම්, මේ ප්‍රකාශනය වඩාත් පරිපූර්ණ සහ අර්ථ සම්පන්න විය හැකිව තිබූ බව අපගේ වැටහීමය. ඔවුන් කිසිවක් කර නැත්නම්, එසේ බදු සහන ලබාගත් පුද්ගලයන් සිදු කර ඇත්තේ රටේ මහජනතාව ගෙවන බදු මුදල් මහ දවාලේ කොල්ලකෑමක් බවත්, ඒ සහන ලබාදුන් ආණ්ඩුවේ නායකයන් සිදු කර ඇත්තේ ඒ මහා කොල්ලයට දොර හැර දීමක් බවත් සඳහන් කළ යුතුය.

මෙරට ඇතැම් දේශපාලන නායකයන් තමන් බලයට පත් කිරීම සඳහා අත දිග හැර මුදල් වියදම් කරන ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන්ට දොළ පිදේනි වශයෙන් බදු සහන වැනි සුවිශේෂ වරප්‍රසාද ලබා දෙන්නේ යළිත් හෙට දවසක් උදා නොවනු ඇතැයි යන විශ්වාසයෙන් දැයි අපගේ කල්පනාවට එයි. අද මේ රටේ පොදු මහජනතාව අධික බදු මුදල් හේතුවෙන් දැඩි පීඩනයකට පත්ව සිටිති. ඔවුන් එසේ කර වටක් ගිලී සිටියදී සියලු බදු සහන ලබාගත් පුද්ගලයන් සහ ආයතන නිහඬව සියලු සැප විඳිමින් සිටින බව නොරහසකි. රුපියල් කෝටි ලක්ෂයකට ආසන්න බදු මුදල් ප්‍රමාණයක් අහිමි කරගත් අපේ රට මේ තරමින් හෝ පැවැතීම ගැන නම් අපට සතුටු විය හැක.

(***)