ඉරාන ඊශ්‍රායල විරසකය ඔඩුදුවන්නේ, දශක ගණනක් තිස්සේය. ඒත් පසුගිය වසර දෙකක කාලයේ මේ විරසකය උත්සන්න විය. ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට පහර දීම, විරසකය උත්සන්න කිරීමට ප්‍රධාන හේතුව බවට පත්විය. හමාස් වනු, ලෙබනනයේ හිස්බුල්ලා සේම, ඉරානයේ සහාය සහ අනුග්‍රහය ලබන සංවිධානයකි. 2023 ඔක්තෝබර් 7 වැනිදා හමාස් සටන්කාමීහු ගාසා තීරය හරහා ඊශ්‍රායල දේශසීමාව පසු කර, ඊශ්‍රායලයට කඩා වැදී පහර දුන්හ. ඊශ්‍රායලයේ සිටි ඊශ්‍රායල ජාතිකයන් ද ඇතුළු තවත් විදේශිකයන් ද ප්‍රාණ ඇපයට ගෙන ගාසා තීරයට රැගෙන ගියහ. එම ප්‍රහාරයට හිස්බුල්ලා සංවිධානය ද හවුල් බව ඊශ්‍රායල සහ ඇමෙරිකන් බුද්ධි අංශ පසුව අනාවරණය කර ගත්තේය.
ඔක්තෝබර් 7 වැනිදා ප්‍රහාරයට, ඊශ්‍රායලය ප්‍රති ප්‍රහාර එල්ල කළේ ඉන්පසුවය. එම සටන තවමත් අවසන් වී නැත. හමාස් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල වීම ඇරැඹුණේ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ නියෝගයට, එරට යුද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවීමත් සමඟය. ඊශ්‍රායල හමුදා පළමුවෙන් ගාසා තීරයට ඉවක් බවක් නොමැතිව පහර දුන්නේ, හමාස් ග්‍රහණයේ සිටින ප්‍රාණ ඇපකරුවන් ගැන ද නොසිතමිනි. තවමත් තත්වය එසේමය. ප්‍රහාර හමුවේ හමාස් අඩපණ වෙද්දී, ඊශ්‍රායලයේ අවධානය යොමු වූයේ ඉරානයේ සහාය සහ අනුග්‍රහය ලබන සෙසු ඉස්ලාමීය කණ්ඩායම් කෙරෙහිය.
ඊශ්‍රායල හමුදා ලෙබනනයේ හිස්බුල්ලා සමග පැටළුණේ හිස්බුල්ලා සෘජුව ඉරානයේ සහාය ලබන බැවිනි. සිරියාවේ ඉරාන හිතවාදී සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් සහ යේමනයේ ඉරානයේ සහාය ලබන හවුති සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය පහර දීමට පටන් ගත්තේය. ජෝ බයිඩන්ට වඩා, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේත්, ඊශ්‍රායලයේත් ගජ මිතුරාය. ඊශ්‍රායලය කුමන තීරණයක් ගත්තත්, ඊශ්‍රායලයට මොනවා කළත් ඇමෙරිකාව ඊශ්‍රායලයට සහාය දෙනවා’ මේ ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ස්ථාවරයයි.
අවසානයේ ඊශ්‍රායලයේ ඉලක්කය වූයේ ඉරානයයි. පසුගිය වසරේ, එනම් 2024 දී ඊශ්‍රායලයට ඉරානය ගුවන් ප්‍රහාර එල්ල කළේය. අවස්ථා දෙකකදී ඉරානයට ප්‍රහාර එල්ල කළේය. ඊශ්‍රායලය, ඉරානයට සෘජුව පහර දුන් පළමු අවස්ථාව එය විය. දැන් ඊශ්‍රායලය, යළිත් වරත් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට පටන්ගෙන ඇත. ඉකුත් 13 වැනිදා, ඊශ්‍රායලය ඉරානයට පහර දුන්නේ නිර්භීත අන්දමින්, ඉලක්ක පැහැදිලිව හඳුනා ගනිමින් ඉතා සැලසුම් සහගතවය. ප්‍රහාරයට අපේ සම්බන්ධයක් නැහැ. අප දන්නේ නැහැ’ යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුලදී පැවැසුවත්, ප්‍රහාරය එල්ල කෙරුණේ ඇමෙරිකන් සහ ඊශ්‍රායල මොසාඩ් බුද්ධි අංශ විසින් තහවුරු කරනු ලැබූ ඉලක්කවලට බව පැහැදිලිය.
ඉකුත් 13 වැනිදා රාත්‍රියේ, ඉරානයට ඇතුළු වී පහර දුන්නේ, ඊශ්‍රායල ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානා ය. ප්‍රහාරක යානා 200 ක් ප්‍රහාරයට යොදා ගැණුනි. ඉරානයේ, ඉලක්ක සියයකට වැඩි ගණනකට ප්‍රහාර එල්ල විය. ඉරාන විප්ලවීය හමුදාවේ, ප්‍රධාන හමුදා නිලධාරීන් ඝාතනය කෙරුණි. ඉරාන විප්ලවීය හමුදාවේ ප්‍රධාන අණදෙන නිලධාරි මේජර් ජනරාල් හොසේන් සලාමි, සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මොහොමඩ් බගරි සහ නියෝජ්‍ය අණ දෙන නිලධාරී මේජර් ජනරාල් ගෝලාමයිල් ඝාතනය කෙරුණි. ගෝලාමයිල් ඝාතනය වූයේ ඔහුගේ පුත්‍රයා ද සමඟය. ඉරානයේ න්‍යෂ්ටික බලාගාර සඳහා, යුරේනියම් බල ගැන්වීම් සිදු කරන මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කෙරුණි. එම ප්‍රහාරවලින් විද්‍යාඥයන් හය දෙනකු ඝාතනය වූ බව පැවැසෙයි. එසේ මියගිය එක් විද්‍යාඥයකු, ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට නායකත්වය දී ඇතැයි මාධ්‍ය වාර්තා කර ඇත. ඝාතනයට ලක්වුණු විද්‍යාඥයන් හය දෙනාගෙන් පස් දෙනකු මේ වනවිට හඳුනාගෙන ඇත.
තමන් ඉරානයට පහර දීමට අණ කළේත්, තම හමුදා ඉරානයට පහර දුන්නේත්, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන අඩපණ කිරීමට යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පසුව මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය. ඉරානයට පහර දීමේ එම මෙහෙයුම ‘ඔපරේෂන් රයිසින් ලයන්’ ලෙස නම් කෙරුණි. ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඉරානයේ තෙහෙරාන් අගනුවරට දැඩි හානි සිදුවිය. ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල වන ආකාරය විදෙස් මාධ්‍ය ඔස්සේ අපට දකින්න ලැබුණි.
“අප ඉරානයට පහර දුන්නේ ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන අඩපණ කරන්නයි. න්‍යෂ්ටික බලාගාර සඳහා යොදා ගන්නා යුරේනියම් බලගැන්වීම් සිදු කරන මධ්‍යස්ථාන අප ඉලක්ක කර ගත්තා. ඉරානයේ න්‍යෂ්ටික අවි නිෂ්පාදන වැඩසටහන අඩපණ කරන්නයි ඕනෑ වුණේ. ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික විද්‍යාඥයන් ඉලක්ක කර ගනිමින් අප පහර දුන්නා. ඔවුන් යුරේනියම් බල ගන්වමින්, න්‍යෂ්ටික බෝම්බ නිපදවමින් සිටි අය. අප ඉරානයේ බැලැස්ටික මිසයිල වැඩසටහනට පහර දුන්නා” යැයි තම මෙහෙයුමේ සාර්ථකත්වය ගැන ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළේය. ඊශ්‍රායලයට ඉරානයට පහර දුන්නේ ඔවුන්ගේ ගුවන් කලාපය වසා දමමිනි. ඊශ්‍රායල ප්‍රහාරයෙන් පසු ඉරානය ඔවුන්ගේ ගුවන් කලාපය වසා දැමීය. ඊශ්‍රායල ඉරාන ගැටුම හේතුවෙන් ජාත්‍යන්තර ගුවන්ගමන්වලට ද බාධා එල්ල විය. ගුවන් යානා මැදපෙරදිග කලාපය මඟහැර යෑම ආරම්භ කළේය.
‘ඔපරේෂන් රයිසින් ලයන්’ ඉතා හොඳින් සැලසුම් කළ, ඉතාමත් නිවැරැදි ආකාරයට ක්‍රියාත්මක කළ මෙහෙයුමක් බව පැහැදිලිය. ඉරානයේ රහසේ සැඟවී සිටින ඊශ්‍රායල මොසාඩ් බුද්ධි ඒජන්තවරුන්ගේ සහාය ලැබී ඇත. ප්‍රහාරය එල්ල වෙද්දී, ඉරානයේ ගුවන් ආරක්ෂක පද්ධතිය අඩපණ කිරීමට මෙම මොසාඩ් ඒජන්තවරුන් කටයුතු කළ බව ද පැවැසෙයි. රේඩාර් අක්‍රිය කළ බවත්, ඉරාන හමුදාවේ ආවේක්ෂණ පද්ධති අක්‍රිය කළ බවත් පැවැසෙයි. ඒ, ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් යානා ඉරාන ගුවන් සීමාවට ඇතුළු වෙද්දීය. අග්‍රාමාත්‍ය නෙදන්යාහු කී ආකාරයටම, ඊශ්‍රායලය, ඉරානයේ ප්‍රධාන අංග තුනට පහර දුන්නේය. ඉරාන හමුදා නායකත්වය, දේශපාලන නායකත්වය සහ න්‍යෂ්ටික වැඩසටහන එම අංග තුනය. පළමු ප්‍රහාර මාලාව එල්ල වූයේ ඉරාන හමුදා ඉලක්කවලටය. තෙහෙරාන් අගනුවර, ඉරාන විප්ලවීය හමුදා නායකයන්ගේ කාර්යාල ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කෙරුණි. මේජර් ජනරාල් හොසේන් සලාමි මියගියේ එයින් එක් ප්‍රහාරයකිනි.
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් අලී ශංකානී ද ඝාතනය විය. මොහු ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනිගේ සමීපතම උපදේශකවරයාය. ඉරාන ජාතික ආරක්ෂක ප්‍රධානියා ලෙස මොහු කටයුතු කර ඇත. ඊශ්‍රායලය අලී ශංකානී ඝාතනය, අල් කොමේනීට කළ අනතුරු ඇඟවීමකි. තම තමන්ගේ කාර්යාලවල සිටි, තම තමන්ගේ නිවෙස්වල සිටි ඉරාන හමුදා නායකයන් ඝාතනය කිරීමට තමන්ට හැකි බව ඊශ්‍රායලය ඔප්පු කළේය.
ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඉරානයට සිදුවුණු ලොකුම පාඩුව, ඔවුන්ගේ යුරේනියම් බල ගැන්වීමේ මධ්‍යස්ථානවලට එල්ල වුණු ප්‍රහාරයයි. ඒ අතරින් ප්‍රධානතම යුරේනියම් බල ගැන්වීමේ මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ ඉරානයේ ඉස්ෆහාන් පළාතේ, නතාන්ස් නගරය ආශ්‍රිතවය. ඊශ්‍රායල ප්‍රහාරයෙන් පසු, මෙම මධ්‍යස්ථනයේ පිපිරීම් සහ ගිනි ගැනීම් වාර්තා විය. යුරේනියම් යනු න්‍යෂ්ටික බලාගාර බල ගැන්වීමට පමණක් නොව, පරමාණු බෝම්බ තැනීමට ද අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍යයයි. ඊශ්‍රායල ප්‍රහාරයෙන් පසු නතාන්ස් මධ්‍යස්ථානයෙන් විකිරණ කාන්දුවක් සිදුවන්නේ දැයි තමන් විමසිල්ලෙන් පසුවන බව ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය පවසා ඇත. ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන පවත්වාගෙන යන්නේ, ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සියේ නිලධාරීන්ගේ පවා අනුදැනුම යටතේය.
ඉරානය පවසන ආකාරයට ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන ආරම්භ කර ඇත්තේ, එරට විදුලි බල අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය බලශක්තිය ලබා ගැනීමටය. ඉරානය සතුව මේ වනවිට කිසිදු ආකාරයක න්‍යෂ්ටික අවි හෝ න්‍යෂ්ටික බෝම්බ හෝ නැත. මේ බව ඇමෙරිකන් බුද්ධි අංශ ට්‍රම්ප් පරිපාලනයට පැහැදිලි කර ඇත. පසුගිය සති ගණන තිස්සේ, ට්‍රම්ප්ගේ ඕනෑකමට, ට්‍රම්ප් පරිපාලනයේ නියෝජිතයෝ සහ ඉරාන රජයේ නියෝජිතයෝ අවස්ථා ගණනකදී ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් එකඟතාවක් ඇතිකර ගැනීමට සාකච්ඡා පැවැත්වූහ. එම සාකච්ඡා සාර්ථක වූයේ ද නැත.
ඉරානය සතුව න්‍යෂ්ටික අවි නැති වුවත්, ඊශ්‍රායලය සතුව න්‍යෂ්ටික අවි ඇත. ඊශ්‍රායලය, ඔපරේෂන් රයිසින් ලයන්’ මෙහෙයුම ක්‍රියාත්මක කළේ ඉදිරියේ දී, ඉරානයට න්‍යෂ්ටික අවි නිර්මාණය කිරීමට ඇති අවස්ථාව අහිමි කිරීමේ අරමුණින්ය. ඉරානයේ දෙවැනි විශාලතම යුරේනියම් බලගැන්වීමේ මධ්‍යස්ථානය වන ෆෝඩෝ මධ්‍යස්ථානයට ද ඊශ්‍රායල හමුදා පහර දුන් බව ද පැවැසෙයි. කෙසේ නමුත් ඒ බව තහවුරු වී නැත. මෙම මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ කන්දක් යට භූගතවය. ඕනෑම සතුරු ප්‍රහාරයකින් ආරක්ෂා වන ආකාරයට මෙම මධ්‍යස්ථානය නිර්මාණය කර ඇත.
‘ඔපරේෂන් රයිසින් ලයන්’ ප්‍රහාරයෙන් ඉරාන හමුදාවේ බැලැස්ටික් මිසයිල නිර්මාණය කරන කර්මාන්තශාලා සහ ගබඩා බොහොමයක් විනාශ විය. බැලැස්ටික් මිසයිල යනු දිගු දුර මිසයිල වර්ගයකි.
මීට පෙර ඊශ්‍රායලය ඉරානයට පහර දෙද්දී, ඉරානය අනතුරු ඇඟවීම් කළා මිසක් ප්‍රතිචාර දැක්වීමක් කළේ නැත. 13 වැනිදා ප්‍රහාරයෙන් පසු ඉරානය ඊශ්‍රායලයට ප්‍රතිචාර දැක්වූයේ පළිගැනීමක් ලෙසය. ඉරානය ඊශ්‍රායලයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළේ, ඔවුන් සතු බැලැස්ටික මිසයිල සහ නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමිනි. ඊශ්‍රායලය සතු ඔවුන්ගේ අයන් ඩෝම්’ සහ අනෙකුත් ගුවන් ආරක්ෂක පද්ධති වහා ක්‍රියාත්මක වී, ඉරානයෙන් එල්ල වූ මිසයිල උඩු ගුවනේදී විනාශ කර දමන්නට විය. ඒත්, ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්ධතිය පසු කර යෑමට ඉරාන මිසයිල කීපයක් සමත් විය. ඊශ්‍රායල හමුදා ඉලක්කවලටත්, ගුවන් තොටුපොළවලටත් ඒවා පතිත විය. විනාශයක් සිදුවිය. ටෙල් අවීව් නුවර පවා පිපිරුම්වලදි දෙදරා ගියේය. ප්‍රහාරවලින් ඊශ්‍රායල වැසියෝ 40 කට වැඩි ගණනක් තුවාල ලැබූ බව වාර්තා විය. ඔවුන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතළ යැයි ද පැවැසිණි.
ටෙල් අවිව් නගරයට නැගෙනහිරින් පිහිටි රාමත් ගාන් නගරයට පතිත වූ ඉරාන මිසයිලයක් ගොඩනැගිලි රැසක් බිමට සමතලා කළේය. ඉරානය සෘජුව ඊශ්‍රායලයට පහර දුන් පළමු අවස්ථාව මෙයයි. දිගින් දිගටම යුදෙව් ඊශ්‍රායලයෙන් පළිගන්නා බව ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී ප්‍රතිඥා දී ඇත. ලොව ප්‍රධානතම ෂියා මුස්ලිම් ඉරානය ත්‍රස්තවාදී රාජ්‍යයක් බව පවසමින්, ඉරානයට දිගින් දිගටම පහර දෙන බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රතිඥා දී ඇත. රුසියාව, චීනය ආදිය ඉරාන හිතවාදීන් වන අතර, ගැටුම් සමතයකට පත් කර ගන්නැයි කියමින්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇත්තේ තමන්ගේ සහාය ඉරානයට හිමිවනු ඇති බවය. එසේ වුවත්, ඊශ්‍රායල ඉරාන අර්බුදය විසඳීමට තමන් මැදිහත් වීමට සූදානම් බව ද පුටින් පවසා ඇත. හටගත් ගැටුම්කාරී තත්වය කඩිනමින් විසඳාගන්නැයි ඉන්දියාව, ඉරානයටත් ඊශ්‍රායලයටත් පවසා ඇත. ඉරානයට එල්ල වුණු ප්‍රමාණය චීනය හෙළාදැක ඇත. ඊශ්‍රායල ඉරාන ගැටුම තෙවැනි ලෝක යුද්ධය තෙක් දුරදිග යෑම කිසිසේත් සිදු නොවිය යුතු දෙයකි. ලෝකයට තවත් යුද්ධයක් අවශ්‍ය නැත. හේතුව, දැනටමත් රුසියාවත් යුක්රේනයත් අතර යුද ගැටුමක් පවතී. ට්‍රම්ප්ට අනුව එය තෙවැනි ලෝක යුද්ධයක් තෙක් දුරදිග යා හැකිය. ඊශ්‍රායලය සහ ඉරානය මේ අයුරින් පැටලීම එම තෙවැනි ලෝක යුද්ධයට පෙර මඟ සකස් කිරීමක් වීමට ද ඉඩ ඇත.
ඊශ්‍රායලය සහ ඉරානය ඊයේ (15) වනවිටත් එකිනෙකාට මිසයිල සහ ගුවන් ප්‍රහාර එල්ල කර ගන්නට විය. ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරාන සිවිල් වැසියෝ 80 ක් ජීවිතක්ෂයට පත්ව සිටියහ. ඔවුන්ගෙන් 20 දෙනෙක් කුඩා දරුවෝය. ඉරාන ප්‍රහාරවලින් ඊශ්‍රයාලය වැසියන් 100 ගණනක් තුවාල ලැබූ බවත් සිවු දෙනකු මියගිය බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. දීර්ඝකාලීන යුද්ධයකට තමන් සූදානම් යැයි ඉරානය පවසද්දී, ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කාට්ස්, පෙරළා ප්‍රතිචාර දැක්වූයේ ඉරානය අළු දූවිලි කර දැමීමට පහර දෙන බවය. මේ අතර, ඉරානය ඇමෙරිකාවට, මහා බ්‍රිතාන්‍යයට සහ ප්‍රංශයට අනතුරු ඇඟවීමක් කර ඇත. ඒ, එම රටවල් මෙම අර්බුදයේදී, ඊශ්‍රායලයේ සහායට පැමිණෙන්නේ නම් හෝ ඊශ්‍රායලය ආරක්ෂා කරන්නේ නම් හෝ මැදපෙරදිග කලාපයේ පිහිටුවා ඇති ඇමෙරිකාවට, මහා බ්‍රිතාන්‍යයට සහ ප්‍රංශයට අයත් හමුදා කඳවුරුවලට ඉරානය පහර දෙන බවටය. මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර් පවසා ඇත්තේ, ඊශ්‍රායලය ඉරානයට පහර දෙන බවක් තමන් දැන නොසිටි බවය.
(***)
ලුසිත ජයමාන්න
ඒ.එෆ්.පී. ඇසුරිනි