වී වගාවේ දැක්මක් නැති පෝර විප්ලවය


වග විභාගයක් නැතිව කෘෂි රසායන ද්‍රව්‍ය භාවිත කිරීම නිසා නූතන කෘෂිකාර්මික නිෂ්පාදන විෂ සහිත තත්ත්වයකට පත්ව ඇතැයි විද්වතුන් සතුව ඇති මතයට අනුකූලව ලද උපදෙස්වලට අනුව, රසායනික පොහොර ද ඇතුළත් කෘෂි රසායනික ද්‍රව්‍ය, විෂ රහිත කාබනික පොහොර හා වෙනත් පරිසර මිතුරු නිපැයුම් මගින් විස්ථාපනය කිරීමේ අවස්ථාවකට අප එළැඹ තිබේ. මේ වෙනුවෙන් බහුල ලෙස උදාහරණක් වශයෙන් ගෙනහැරපාන්නේ උතුරුමැද පළාතේ පවතින සම්භවය කොතැනකදැයි හඳුනා නොගත්, නිදන්ගත වකුගඩු රෝගයයි. එසේම ඇතැම් ප්‍රභව අවධාරණය කර සිටින්නේ කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතය උනන්දු කරන්නවුන් වෙත, එම කර්මාන්තය හසුරුවන බහුජාතික සමාගම් මගින් වරදාන පවා ප්‍රදානය කරන බවයි.

මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රතිපත්ති සම්පාදකයන්, ඔවුන්ගේ උපදේශකයන්, විශේෂඥ වෛද්‍යවරුන්, සරසවි ඇදුරන්, කාබනික කෘෂිකර්මාන්තයේ යෙදෙන වෘත්තිකයන්, විද්‍යාඥයන්, දේශපාලනඥයන්, ගොවි සංවිධාන නායකයන් වැනි පිරිසක් ප්‍රසිද්ධ ජනමාධ්‍ය හරහා කෘෂිකර්මාන්තයේදී ‘කෘෂි රසායන ද්‍රව්‍ය’ යන තේමාව යටතේ වාදයක පවා පැටලී සිටිති. කෙසේ නමුත්, මෙම චෝදනා වැරැදි, අවිනිශ්චිත හා විද්‍යාත්මක නොවන නිසා, ඒවා ප්‍රතික්ෂේප කරමින් ආචාර්ය ආර්. පෙතියාගොඩ විසින් පවත්වන අන්තර්ජාල දේශනයක් යූටියුබ් නාලිකාවේ ද ප්‍රචාරය විය

(https://www.youtube.com/watch?v=rGe6ld2q1vs). ඇතැම් විද්වතුන්ගේ නිගමනවලට අනුව හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගයට හේතුව වන්නේ පානීය ජලයේ තිබෙන ෆ්ලෝරයිඩ් අයනවල අධික සාන්ද්‍රණයයි. බෝගයේ නිෂ්පාදනය වැඩි කිරීම සම්බන්ධයෙන් ගත් කල අත්හල නොහැකි, එකම යෙදවුම වශයෙන් රසායනික පොහොර භාවිතය අප පිළිගන්නා නිසා, සහල් අභිජනන විද්‍යාඥයෙක් හැටියට මෙම සමස්ත ආරවුල විසින් මට ඇතිකරනුයේ නම් සිත් තැවුලක්ය.

වී ගොවිතැන වනාහි ශ්‍රී ලංකාවේ තිබෙන අඩුතම ප්‍රතිලාභ සහිත ජීවනෝපායයි. අතීත ගොවියා වී ගොවිතැනෙහි නියැලු‍ණේ ඒ හරහා ඔවුනට ලැබුණු සමාජ ගරුත්වය, පිටරටින් ගෙනෙන සහලෙන් පිසූ බතක් නොකෑමේ අභිමානය නිසාය (බෙවන් 1914, ට්‍රොපිකල් ඇග්රිකල්චරිස්ට් සඟරාව, 1914 දෙසැම්බර්). එසේම ගොවිතැන සලකනු ලැබුවේ ස්වාධීන වෘත්තියක් වශයෙන්ය. යමෙක් ගොවි ප්‍රජාව හා ගනුදෙනු කරන්නේ නම්, ඔවුන් වෙත වෘත්තීයත්වයේ ගරුබුහුමන් දැක්විය යුතු විය.


කාබනික පොහොර වාද විෂයය:
ඇතැම් විවේචකයන් දැඩිව පවසා සිටින්නේ, වසර 3,000කට පමණ පෙරදී අප අනුගමනය කළ කාබනික පොහොර තාක්ෂණය මේ වනවිට අප වෙතින් ගිලිහී ගොස් ඇති බවයි. බොහෝවිට ලේඛනකරණයේ අසාමාර්ථතාවක් විය හැකිය. කොතැනකින් හෝ මෙම පැරැණි තාක්ෂණය යළි මතු කරගන්නට හැකි නම් එය උදාර කටයුත්තකි. කෙසේ වෙතත්, විද්‍යාත්මක සඟරාවක් වන ට්‍රොපිකල් ඇග්‍රිකල්චරිස්ට් හි සඳහන් කර තිබුණේ, කුඹුරුවලට කාබනික ද්‍රව්‍ය එකතු කිරීම 1914 වැනි ඈත අතීතයේදී පවා නිර්දේශ කර තිබුණේ බිම් සැකසුම් ක්‍රියාවලියේදී සිදුවන පාංශු ව්‍යුහයේ පිරිහීම හා ව්‍යානුකලනය මගහැර යාම සඳහා බවයි (හැරිසන්, 1914). කාබනික ද්‍රව්‍යයන්ගේ පෝෂණ තත්ත්වයේ ප්‍රමාණකරණයක් හෝ සාකච්ඡාවක් එතැන සඳහන්ව තිබුණේ නැත. අදටත් වලංගු වන මෙම නිර්දේශය එදා බ්‍රිතාන්‍ය සමයේදී ඉදිරිපත් කර තිබුණේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආරම්භයත් සමගය.

1940 වකවානුවේදී ගොවීන් විසින් කොළ පොහොර, ගොවිපොළ පොහොර, කොම්පෝස්ට්, සෝයා උංඩි නොහොත් පිඩැලි, මාළු ද්‍රව්‍ය ඇඹරුම් යනාදී දෑ සමග සාම්ප්‍රදායික වී ප්‍රභේදවල වගා සිදුකළත්, නිශ්චිත නිර්දේශයක් වාර්තා තුළ අන්තර්ගත නොවේ. වී වගාවේ ඉලක්කගත අස්වැන්න වී තිබුණේ අක්කරයකට බුසල් 15ක් (හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 0.75ක්) වුවත් යථාර්ථය වී තිබුණේ ජාතික අස්වැන්න වශයෙන් අක්කරයකට බුසල් 13කි (හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 0.65කට අඩු අගයකි). රටේ ජනගහනයෙන් තුනෙන් දෙකකට වුවමනා සහල් ප්‍රමාණය පිටරටවලින් රැගෙන එන්නට එකල රජයට සිදුවිය (ට්‍රොපිකල් ඇග්‍රිකල්චරිස්ට් සඟරාව, 1945 ජුලි - සැප්තැම්බර්). සහල් වෙනුවෙන් වූ සලාක කූපන් පොත නොහොත් ‘හාල්පොත’, නව්‍ය වී ප්‍රභේද නිපදවා ස්ථාපනය කරන තෙක්ම ක්‍රියාත්මකව පැවැතිණ. සති 52කට ප්‍රමාණවත් කූපන් ද සමග ජනතාවට ලබා දී තිබුණු ‘හාල්පොත’ ගැන අද දවසේ උපදේශකයන් හා ප්‍රතිපත්ති සම්පාදකයන් නොදන්නවා විය හැකිය. නැතහොත් එම කරුණු වුවමනාවෙන්ම නොසලකා හරිනවා විය හැකිය. අසල පිහිටි සමුපකාර කඩයෙන් එම කූපන්වලට ලැබුණේත්, ආනයනය කළ මිල්චාඩ් හෝ සුදු කැකුළු සහල්ය.

වැඩි අස්වනු විභවයක් සහිත කෙටි වයස් කාණ්ඩයේ වී ප්‍රභේද නිදහස් වීමට සමගාමීව සිදු වූ බෝග තීව්‍රකරණයේ බලපෑම සමනය කර, පසෙහි කාබනික ද්‍රව්‍ය හා පෝෂණය නොනැසී පවත්වා ගන්නට කුඹුරේ පසට පිදුරු එකතු කරන ලෙසට අවධාරණය කෙරුණේ මෙම සියවස ආරම්භයට ටික කාලයකට පෙරාතුවය. මෙම නිර්දේශය ඌනපූරණය කරන්නට, තැනට විශේෂිත වූ පාංශු පරීක්ෂා පදනම් (site specific soil test based) පොහොර නිර්දේශ ද කරළියට පැමිනුණි. ඒ ඉබාගාතේ සිදුවිය හැකි පොහොර භාවිතයට වැට බඳින්නට ප්‍රමාණවත් ප්‍රාදේශීය පොහොර නිර්දේශ මාර්ගෝපදේශ ද සමගය. තව ද පර්​ෙ‌ය්ෂකයන් හොඳ අවධානයකින් සිටියේ කාබනික ද්‍රව්‍ය හොඳින් දිරාපත් නොවන, දුර්වල ජලවහනයක් සහිත හැල් කුඹුරු වැනි ස්ථාන මගහැර, කාබනික ද්‍රව්‍ය සත්කාරය පවත්වා ගන්නටය. පිදුරු සහ බෝග අවශේෂ එකතු කිරීම හරහා රෝග කාරකයන්ගේ ආගමනය ද සිදුවිය හැකි බැවින් ඒවා වැළැක්වීමේ පියවර ගැන ද සැලකිලිමත් විය.

කාබනික පොහොර මගින් පසේ භෞතික, රසායනික හා ජෛව ගතිගුණ වැඩිදියුණු කරන බවට අප තුළ සැකයක් නැත. කාබනික පොහොර සතුව තිබෙන කලිල, ඍන ආරෝපිත ඇමයිනෝ අම්ල සහිත ප්‍රෝටීන බහුල ද්‍රව්‍ය යනාදිය මගින් පාශු ව්‍යුහය හා කැටායන හුවමාරු ධාරිතාව ඉහළ නැංවීම නිසා පසෙහි පෝෂක රඳවා ගැනීමේ බලය ද වැඩිදියුණු කරන බව සැබෑය. කාබනික පොහොර යනු පොහොසත් ශාක පෝෂක සැපැයුම් ප්‍රභවයක් බවට පැවැසීමට නම් ප්‍රමාණවත් කරුණු දැනගන්නට නැත. කාබනික පොහොර වර්ග කිහිපයක් තුළ තිබෙන පෝෂක ප්‍රමාණ හා ඒවාහි කාර්යක්ෂමතාවේ අගයයන් වගුවේ දක්වා තිබේ.

නිෂ්පාදන ක්‍රියාවලිය තුළදී යම් අතිරේක ද්‍රව්‍ය එකතු කරන්නේ නම් මිස, දේශීය කාබනික පොහොරවල සංයුතිය ද ඉහත වගුවේ සඳහන් අගය වෙතින් සැලකිය යුතු තරම් අපගමනයක් නොපෙන්වනවා ඇත.
උදාහරණයක් වශයෙන්, වාරි ජලය යටතේ ලංකාවේ වියළි කලාපයේ වගා කරනු ලබන වඩාත් ජනප්‍රිය වී ප්‍රභේද (මාස තුන හමාර වයස් කාණ්ඩයේ) වෙත ලබා දී ඇති පොහොර නිර්දේශ සලකා බලමු. හෙක්ටයාරයකට නයිට්‍රජන් කිලෝග්‍රෑම් 105ක් ද, පොස්පරස් (P2O2) කිලෝග්‍රෑම් 25ක් ද, පොටෑෂ් (K2O) කිලෝග්‍රෑම් 35ක් ද මෙහි තිබේ (කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වී වගාවේ පොහොර නිර්දේශ, පිටු අංක 15, 2013). වර්තමානයේ වඩාත්ම මතභේදකාරී පෝෂක සංඝටකය වන නයිට්‍රජන් හි අවශ්‍යතාව මෙම නිර්දේශයට අනුව සලකා බලමු. පෙර කන්නයේ බෝග අවශේෂ ලෙස ලැබුණු පිදුරු ප්‍රමාණය කුඹුරට නොදැමූ ගොවියෙක් මෙම අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා තෙතමනය රහිත කොම්පෝස්ට් (0.8% N) ටොන් 13ක්වත් කුඹුරට හෙළිය යුතු වේ. යම් ලෙසකින් ලබාගත හැක්කේ, සියයට20ක් පමණ තෙතමනය සහිත කොම්පෝස්ට් නම් ඔහුට යෙදිය යුතු ප්‍රමාණය ටොන් 16කට වඩා මඳක් වැඩිවෙනු ඇත. මෙහි තේරුම වන්නේ, ගොවියා විසින් තමාගේ වගා වපසරියේ සෑම කුඹුරු හෙක්ටයාරයක් උදෙසාම ජලය ටොන් 3 බැගින් කොම්පෝස්ට් සමගම මුදල් ගෙවා ප්‍රවාහනය කරගත යුතු අතර, එය කර තබාගෙන කුඹුර පුරා සක්මන් කරමින් ඒවා විසුරුවා හැරීම ද කරගත යුතු බවයි. මීට අමතරව ශාකයේ අස්වනු සංඝටක වඩවනු පිණිස පැළයේ යම් වර්ධක අවධිවලදී නයිට්‍රජන් පදාර්ථයේ වැඩිපුර වුවමනාවීම් තිබෙන්නේය. වරක් කොම්පෝස්ට් යෙදූ පසු, මෙවැනි වැඩි අවශ්‍යතා තිබෙන වර්ධන කලාප හඳුනා නොගනිමින් කොම්පෝස්ට් මගින් නයිට්‍රජන් නිදහස් කරන අතර, ඛනිජකරණයේ ප්‍රතික්‍රියා නොනැවතී අඛණ්ඩව ඉදිරියට යන්නේ නම් බෝගයේ ජීවිත කාලයට පසුව වුවත් පසට නයිට්‍රජන් නිදහස් වීම සිදුවෙනු ඇත. මෙම උදාහරණය එක අතකට අතිශෝක්තියෙන් යුත් ප්‍රලාපයකි. කෙසේ වෙතත්, උපදේශකයන් හෝ ප්‍රතිපත්ති සම්පාදකයන් මේ හරහා තේරුම්ගත යුත්තේ ගෙවතු වගාවකට ගැළපෙන තාක්ෂණයක්, විස්තීර්ණ වී වගා බිමකට ආදේශ කරන්නට යාම කොතරම් නුසුදුසු ද යන්නයි. වාණිජ පසුබිමක් යටතේ කුඹුරු කරන්නට හැඩගැසුණු ගොවි ජනතාව කොම්පෝස්ට් ආදේශනය ප්‍රතික්ෂේප කරන්නට හේතුව ද මෙය විය හැකිය.

එපමණක් නොව, සහමුලින්ම තමාට නුහුරු නුපුරුදු අලු‍ත් තාක්ෂණයක් ගොවියා මතට බලහත්කාරයෙන් පැටවීම වුව ද ආචාර ධර්මයන්ට අනුකූල නොවේ. කාබනික ගොවිතැනේ විශේෂඥයන් විසින් ලංකාවේ විවිධ කෘෂි පාරිසරික කලාප තුළදී, විශාල පරිමාණයේ ක්ෂේත්‍ර ප්‍රදර්ශක වගා පිහිටුවා මෙම ක්‍රමවේදයේ අනුරූපතාව, සාධ්‍යතාව නොහොත් හැකිකම, ආර්ථික ස්වාශක්තතාව, තිරසාර බව සහ අනෙකුත් ප්‍රතිලාභ යනාදිය ගොවීන්ට පෙන්වා දී ඔවුන්ගේ පිළිගැනීම ලබාගත යුතු වේ.

යෝජිත කාබනික වී වගා පැකේජය සතුව තවත් විකල්ප තිබිය හැකිය. කොළ පොහොර, පණු කොම්පෝස්ට්, ජෛව පට, සපල ක්ෂුද්‍රජීවීන්, ජෛව වායු අවශේෂ නිපැයුම්, නයිට්‍රජන් තිරකරණ ක්ෂුද්‍රජීවීන්, සම්භවය මෙන්ම අඩංගු ද්‍රව්‍ය නොදන්නා කාබනික නිස්සාරක යනාදිය මෙයට ඇතුළත් වුව ද මේ කිසිදු තාක්‍ෂණයක් වැඩිදියුණු කළ වී ප්‍රභේද සමග ක්ෂේත්‍ර මට්ටමෙන් පරීක්ෂා කිරීමක් හෝ ප්‍රදර්ශනය කිරීමක් හෝ සිදුකර නොමැත.

නුසුදුසු තාක්ෂණයකට හොඳ උදාහරණයක් සපයා දෙන්නේ කලකට ඉහතදී මෙරටට හඳුන්වා දුන් වී වගා තීව්‍රකරණ පද්ධතිය නොහොත් ශ්‍රී ක්‍රමයයි. එය වනාහි කම්කරු ශ්‍රමය යහමින් වැයවෙන ක්ෂේත්‍ර ක්‍රියාකාරකම් සහිත පරිසර හිතකාමී මෙන්ම ජලය සුරකින කාබනික වගා ව්‍යාපෘතියකි. පැළ සිටුවීම හරහා වී ශාකයේ වර්ධන විභවය හා පඳුරු දැමීමේ හැකියාව උපරිම තරමට උකහා ගනිමින් අස්වැන්න වැඩි කිරීම ක්‍රමවේදයේ අරමුණ විය. වසර කිහිපයක් ගතවෙද්දී ව්‍යාපෘතියේ ගුණාගුණ විමසා බලන්නටවත් අදාළ ක්‍රමවේදය අනුගමනය කරන ගොවියකු සොයාගන්නට හැකි වූයේ නැත. තාක්ෂණය ගොවි දෑතට ගැළපෙන්නේ නම්, ව්‍යාප්ති උත්සාහයෙන් තොරවම මෙම සිරිතේ තාක්ෂණික හැඩරුව තිරස් ව්‍යාප්තියකින් ගොවීන් අතර පැතිරෙන ආකාරය ඔබටම දැකගත හැකිවන්නේය.


ශාක පෝෂකයක් ලෙස අකාබනික නයිට්‍රජන්:
සෝයාබෝංචි වැනි උස්බිම් බෝගවල අස්වැන්න වැඩි කිරීම සඳහා නයිට්‍රජන් ප්‍රභවයක් වශයෙන් සෝඩියම් නයිට්‍රේට් (NaNO3) වැනි අකාබනික සංයෝග යොදමින් ඇමෙරිකානුවන් ලැබූ අත්දැකීම් පදනම්ව 20 වැනි ශතවර්ෂයේ ආරම්භක සමයේදී කුඹුරේ වී අස්වැන්න ඉහළ දැමීමට ද උත්සාහ ගන්නා ලදී. නගඕකා (Nagaoka, 1905) ඩයිකුහරා සහ ඉමසෙකී (Daikuhara and Imaseki, 1907) වාර්තා කර තිබුණේ, ඇමෝනියම් සල්ෆේට්වලින් (NH4)2SO4 සෝඩියම් නයිට්‍රේට්වලට වඩා ඉහළ ප්‍රතිචාරයක් වී වගාව වෙනුවෙන් ලබාගත හැකි බවයි. පසු කාලීනව ජපානය, ඉන්දියාව සහ හවායි වැනි රටවල්වල කළ පර්​ෙ‌ය්ෂණ වාර්තා මගින් තහවුරු කර තිබුණේ, විවිධ පාංශු තෙතමන තත්ත්ව යටතේ සිදුවෙන නයිට්‍රිකරණය හා ඇමෝනිකරණය වැනි රසායනික ක්‍රියාදාම ද ජලයෙන් යටවුණු නයිට්‍රේට්වලින් (NO3) පොහොසත් පසෙහි, කොටස් මිලියනයකට නයිට්‍රයිට් (NO2) කොටස් 5-6 (5-6 PPM) දක්වා වැඩිවීමේදී සිදුවෙන නයිට්‍රයිට් විෂ වීම වැනි කරුණු ද සලකා බලන කල, වී වගාව වෙනුවෙන් ඇමෝනියා ස්වරූපයෙන් නයිට්‍රජන් සැපැයුමක් ලබාදීම වඩා යහපත් බවය. කවුරු කවුරුත් තේරුම්ගත යුතු දෙයක් වන්නේ, කාබනික හෝ අකාබනික යන කුමන ආකාරයෙන් තිබුණත් දියෙන් යට වූ පසෙහි තිබෙන නයිට්‍රජන් ඇමෝනියම් අයන (NH4+) ස්වරූපයෙන් මුදාහැරෙන බව ලොව පුරා තහවුරු වූ කරුණක් බවයි.

බෝග වැඩිදියුණු කිරීමේ වැඩසටහනකදී, විශේෂයෙන් සාම්ප්‍රදායික වී ප්‍රභේද යොදාගෙන නුමුහුන් පෙළපත් තේරීමේදී, අස්වැන්න ඉහළ නැංවීම උදෙසා අත දිගහැර පොහොර යෙදීමේ වැදගත්කම 1927 දී ජෝකිම් (Joachim) විසින් පෙන්වා දී තිබේ. කෙසේ වෙතත්, පොහොර අධිමාත්‍රා හමුවේ වී බෝගය කොළපාලු‍ව, දුඹුරු ලප වැනි රෝගවලට පාත්‍ර වන්නේය. බෝගයේ කොළදාව යහමින් සිදුවීම නිසා අස්වැන්න ලබාදීමට පෙරාතුව ඇදවැටීමට වුව ද හසුවන්නේය. 50 දශකයේ අග භාගයේදී රෝගවලට ඔරොත්තුදෙන ‘එච්’ (H) ප්‍රභේද හරහා නයිට්‍රජන් පොහොරවලට යම් ධනාත්මක ප්‍රතිචාරයක් ලබාගත්ත ද සාම්ප්‍රදායික වී ප්‍රභේද සතුව තිබූ වැඩි කොළදාව, ඇදවැටීම වැනි දුර්වලතා එලෙසම ඉදිරියට පැවැතුණි. 70 දශකයේ සිට හඳුන්වා දුන් අලු‍ත් ශාක ස්වරූපයෙහි අස්වැන්න දර්ශකය ඉහළ අගයක පැවැතීම නිසා පසට යොදන නයිට්‍රජන්වලට සමපාතව බීජ අස්වැන්නේ ඉහළ අගයක් වාර්තා වීම ද දැකගත හැකි විය. දිගින් දිගටම නයිට්‍රජන් පොහොරක් වශයෙන් ඇමෝනියම් සල්ෆේට් (නයිට්‍රජන් අන්තර්ගතය සියයට 21) භාවිත කිරීම නිසා පසෙහි ගොඩනැගෙන ආම්ලිකතාව මගහැරීමට 70 දශකයේ මුල් භාගයේදී යූරියා (නයිට්‍රජන් අන්තර්ගතය සියයට 46) හඳුන්වා දීම සිදු වුණි. එතැන් සිට ප්‍රධාන වශයෙන් නයිට්‍රජන් ප්‍රභවයක් ලෙස භාවිත වූයේ යූරියා ය.

ඉහතදී සාකච්ඡා කළ හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 16ක කොම්පෝස්ට් අවශ්‍යතාව (නයිට්‍රජන් කිලෝග්‍රෑම් 105) යූරියා කිලෝග්‍රෑම් 230කින් සපුරාලිය හැකි බව පැහැදිලි කරුණකි. තව ද, යෙදිය යුතු ප්‍රමාණය කොටස්වලට බෙදා කඩින් කඩ බෝගයට සැපැයීමෙන් එහි විවිධ වර්ධන කලාප තුළදී වුවමනා වෙන නයිට්‍රජන් අවශ්‍යතාව ඉතා පහසුවෙන් ද ලබාදීමට පුළුවන් වේ. මන්දයත් යූරියා යනු පසට යෙදූ විගස ශාකයට අවැසි නයිට්‍රජන් ප්‍රමාණය නිදහස් කරන සංයෝගයක් බැවිනි.

කාබනික ගොවිතැන් වට්ටෝරුවලින් ප්‍රතික්ෂේප වුව ද යූරියා යනු (CO(HN2)2) කාබනික සංයෝගයකි. රසායනික සූත්‍රයට අනුව එහි ඇත්තේ කාබන්, ඔක්සිජන්, නයිට්‍රජන් හා හයිඩ්‍රජන් වැනි මූලද්‍රව්‍ය හතරක් බවත්, විෂ මූලද්‍රව්‍ය නොමැති බවත් ඔබට පෙනෙනු ඇත. මෙහි තිබෙන ඇමයින් කාණ්ඩය (NH2) නිර්වායු තත්ත්ව යටතේදී පාංශු ක්ෂුද්‍රජීවීන් විසින් ඇමෝනියම් අයනය (NH4+) බවට පත්කරන අතර, එය පසෙහි කැටායන හුවමාරු සංකීර්ණයට අධිශෝෂණය වේ. කාබනික හෝ අකාබනික වේවා කුමන ප්‍රභවයකින් පස වෙත නයිට්‍රජන් ලබාදුන්නත් එහි ඉරණම වන්නේ පස තුළදී සිදුවෙන මෙම අමෝනිකරණ ක්‍රියාව හරහා ඇමෝනියම් අයන සෑදීමය. පස කැටායන හුවමාරු ධාරිතාව අතින් පොහොසත් නම්, මේ ඇමෝනියම් අයන කැටායන හුවමාරු සංකීර්ණයට හොඳින් බැදී පවතින අතර, නිදහස් වී ගොස් භූගත ජලය දූෂණය වීම යනාදිය ඉතා අවමයකින් සිදුවන්නේය. නැතහොත්, එවැන්නක් සිදු නොවන්නේය. ඒ නිසා වර්තමාන අර්බුදයට වඩාත්ම අර්ථාන්විත විසඳුම වන්නේ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශවලට අනුව කාබනික-අකාබනික පොහොර සංයෝජන භාවිත කිරීමයි. සංශක්තියෙන් එකට බැඳුණු කාබනික හා අකාබනික සංඝටක ද්විත්වයේම කාර්යක්ෂමතාව මේ හරහා ඉහළ යන අතර, භූගත ජල ප්‍රභවයන්ගේ කෙලෙසීමකින් තොරව බෝග වර්ධනයට අවශ්‍ය අඛණ්ඩ නයිට්‍රජන් සැපැයුම ද ලබාදෙනු ඇත. තව ද, නයිට්‍රජන් සංඝටක කාර්යක්ෂමව භාවිත කිරීම හරහා, යොදන නයිට්‍රජන් ප්‍රමාණය ද බෝගයේ ක්‍රියාකාරීත්වයට බාධාවක් ඇති නොවන පරිද්දෙන් සැලකිය යුතු තරමකින් අඩුකළ හැකි වේ.

මීට අමතරව, ඇතැම් විද්‍යාඥයන් විසින් මූල මණ්ඩලය අවට සහ ශාකය තුළ වෙසෙමින් වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීමේ හැකියාව දරන ක්ෂුද්‍රජීවීන් ගැන ද සොයා බලමින් සිටී. ස්වාභාවිකව සිටිනා ක්ෂුද්‍රජීවීන්ට ඔවුන්ගේ ජෛව සීමාවලින් ඔබ්බට නයිට්‍රජන් තිර කළ හැකි නම්, අපි ඉතා වාසනාවන්ත වෙමු. මන්දයත් අප අවට වායුගෝලයේ සියයට 80ක් පමණම ඇත්තේ නයිට්‍රජන් වායුව බැවිනි. මෙම නයිට්‍රජන් තිර කිරීමේ හැකියාව සොයා බැලීම උදෙසාම බතලගොඩ වී පර්​ෙ‌ය්ෂණායතනයේ ලියැදි කිහිපයක් පොහොර නොයොදා වසර 30කට වැඩි කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් තිබේ.

ලැබෙන වී අස්වැන්නෙන් බැලූ බැල්මටම මා හට අනුමාන කළ හැකිවන්නේ, මෙම බිම්කඩෙහි සිටිනා ක්ෂුද්‍රජීවීන්ට හෙක්ටයාරයකට නයිට්‍රජන් කිලෝග්‍රෑම් 40කට වඩා ප්‍රමාණයකින් ඔබ්බට තිර කළ නොහැකි බවයි. බොහෝදුරට එය ඔවුනට හැකි ජෛව සීමාව විය හැකිය. බෝගයේ අවශ්‍යතාව උදෙසා පිටින් නයිට්‍රජන් පොහොර එකතු කරන විට එම හැකියාව වුවත් තවදුරටත් හායනය වෙනවා විය හැකිය. මේ ආකාරයටම නයිට්‍රජන් අවශ්‍යතාව සපුරා ගැනීම උදෙසා ශාක අභ්‍යන්තරයට ආමුකූලය කරන ලද ක්ෂුද්‍රජීවීන් සහිත ගොයම් පැළ යොදාගැනීම තවත් දිගදුර විහිදෙන ප්‍රයත්නයකි. වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීම වෙනුවෙන් ඉදිරිපත් වූ තවත් සංකල්ප ගණනාවක් නිසි පරිනතිය නොලබාම ප්‍රතික්ෂේප වූයේ, එම තාක්ෂණයේ නොගැළපීම නිසාය. උදාහරණ; ඇනබීනා ඇසොල්ලා සංකීර්ණය, සෙස්බේනියාවල මූලගැටිති.

කිසිදු කසළ ද්‍රව්‍යයක් කොම්පෝස්ට් හෝ කාබනික පොහොර බවට පරිවර්තනය නොකළ යුත්තේ, ඒවා තුළ විෂ ද්‍රව්‍ය හා බැරලෝහ අවශේෂ අන්තර්ගත විය හැකි බැවිනි. සත්ව පොහොර තුළ වුවත් ඔවුනගේ වර්ධක උත්තේජ ලෙස ලබාදුන් ප්‍රතිජීවක අවශේෂ තිබිය හැකිය. නිතර නිතර මෙවැනි ප්‍රතිජීවක අවශේෂ වෙතට නිරාවරණය වීමෙන් හෝ බැක්ටීරියා විකෘති මාදිලි සමග මිනිසා තුළ වෙසෙන ක්ෂුද්‍රජීවීන් ප්‍රාවේණික ද්‍රව්‍ය හුවමාරු කරගැනීමෙන් (සංයුග්මනය) හෝ මිනිස් සිරුර තුළ පවා ප්‍රතිජීවකවලට ඔරොත්තු දෙන ක්ෂුද්‍රජීවීන් බිහිවීමේ අවදානම බැහැර කළ නොහැකිය.

දිවයිනේ වර්තමාන සහල් නිෂ්පාදන තත්ත්වය සාක්ෂාත් කරගෙන ඇත්තේ සියවසකට අධික කාලයක් තිස්සේ අදාළ තාක්ෂණය හා පැවැති අන්‍යොන්‍ය සංවර්ධනය හරහාය. ඊනියා විශේෂඥ උපදේශකයන්ගේ එක පෑන් පහරකින් ඒවා කුණු බක්කියට දැමිය හොහැකිය. “වස විස නැති” කාබනික වී වගාවක් වෙතට යන ගමන හරහා ජාතික වී නිෂ්පාදනයට අහිමි වී යන ප්‍රමාණය අතිවිශාල වේ. කාබනික වී ගොවිතැන ගැන පාඩම් ඉගෙනගැනීමට මෙය උචිත කාල වකවානුවක් නොවන්නේය. කොවිඩ්-19 වසංගතයත්, ගංවතුර, නියඟය වැනි වෙනත් ස්වාභාවික උපද්‍රවත් නිසා ගෝලීය සහල් නිෂ්පාදනයත් අවදානම් අඩියකට පත්ව ඇති නිසා, කොතැනකින් සහල් ආනයනය කළ හැකි වන්නේ ද යන්න පවා ගැටලු‍වකි. මේ වටාපිටාව තුළ ශ්‍රී ලංකාවේ ජාතික ආහාර සුරක්ෂිතතාව පවා අතිශයින් අවදානමට ලක්වන්නේ කිසිදු දුරදැක්මක් නැතිව එක රැයකින් දියත් කළ “කාබනික කෘෂිකර්මාන්ත වික්‍රමය” නිසාය.

අතීතයේදී අප සතුව විශිෂ්ට කෘෂිකර්ම ව්‍යාප්ති හා පුහුණු පද්ධතියක් තිබුණි. නිරන්තරයෙන් කැඳවෙන තාක්ෂණික ක්‍රියාකාරී කමිටු රැස්වීම්, පර්​ෙ‌ය්ෂණ ව්‍යාප්ති කතාබහ, සේවාස්ථ පුහුණු වැඩසටහන්, ක්ෂේත්‍ර සංචාර ආදිය ඒ තුළ විය. සුදුසුකම්ලත්, පුහුණු හා කැපවීමෙන් කටයුතු කළ ව්‍යාප්ති සේවයේ කාර්ය මණ්ඩලයක් හරහා වී ගොවිතැනේ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් ඔසවා තබන ලදී. දේශයේ ආහාර සුරක්ෂිතතාව උදෙසා මෙම පද්ධතිය යළි බිහිකළ යුතු බව ද තරයේ අවධාරණය කරමු.

(මෙම ලේඛකයා බතලගොඩ වී පර්​යේෂණ හා සංවර්ධන ආයතනයේ හිටපු අධ්‍යක්‍ෂවරයෙකි. දෙස් විදෙස් පර්යේෂණායතනයෙහි සේවය කරමින් වසර 50කට වඩා කාලයක් වී අභිජනන අත්දැකීම් ලබා ඇති හෙතෙම ඇමෙරිකාවේ හා ජපානයේ විශ්වවිද්‍යාල මගින් පශ්චාත් උපාධි ලැබූ, සම්මානලාභී කෘෂි විද්‍යාඥයෙකි.)

(***)

 



Recommended Articles