කාටවත් අයිති නැතිව පුත්තලමෙන් කල්පිටියට ගිය බූරුවෝ


බූරුවන් රංචු ලෙස

 

“බූරුවා” යනුවෙන් බොහෝ විට මිනිසුන් තවත් අයකුට අමතන්නේ නම් ඒ තවත් අයකු අපහාසයට හා උපහාසයට ලක් කරමින් සිදුකරන ප්‍රකාශයකි. නමුත් මේ අප සොයා ගියේ සිව්පා සත්වයකු වන ‘පුත්තලම් බූරුවන්’ පිළිබඳව අතීත කතාවය. 

 
කිසිවකුගේ අවධානය යොමු නොවූ කිසිම ආයතනයකට හිමිකමක් නැති ‘පුත්තලම් බූරුවන්’ ලෙසින් අතීතයේ හැඳින්වුවද මේ වන විටත් එම සතා පුත්තලම හැර දමා ගොස් ඇති අහිංසකම සිව්පාවෙකි.   
පුත්තලම හැර දා ගිය බූරුවන් මේ වනවිට කල්පිටියට සීමා වී මිනිසුන්ගේ අනිසි ක්‍රියාකාරකම් හමුවේ තුරන් වී යාමේ බරපතළ අවද‌ානමට ලක්වී සිටියි.   


දශක කීපයකට පෙර බූරුවන් විශාල වශයෙන් පුත්තලම නගරය හා ඒ අවට දැක ගත හැකිව තිබුණ ද මේ වනවිට මෙම සතුන් පුත්තලම හැර දමා ගොස් ඇත්තේ මෙම සතුන්ට ගැලපෙන පරිසර පද්ධතිය අහිමි වීම නිසා බව හැඟී යයි.   


ඇතැමුන් පවසන්නේ පැවති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී ප්‍රහාර හමුවේ උතුරේ මුස්ලිම්වරුන් තම ජීවිත බේරා ගැනීමට පුත්තලමට පැමිණීමත් සමග බූරුවන් පුත්තලමෙන් ඈත් වීම සිදුවන්නට පටන් ගත් බවයි.   
එහි සත්‍යතාව සනාථ කිරීමට නිසි සාක්ෂි නොමැති වුවත් බූරුවන් වඩාත් ප්‍රිය කළ ආහාරයක් වූ කළපු අන්දර ශාකය හා කළපු පරිසර පද්ධතිය මුස්ලිම්වරුන් ක්‍රමයෙන් ඉවත් කිරීම බූරුවන් මෙම පරිසරයෙන් ඈත් වීමට හේතුවක් බවට පැවසෙයි.   


ඒ සමගම අනිත් බරපතළම තර්ජනයක් ලෙස සැලකෙන්නේ බූරුවන් වඩාත් ප්‍රිය කළ පරිසර පද්ධතියක් වූ පුත්තලම කළපු ආශ්‍රිත කඩොලාන කලාපය හිත් පිත් නැති මිනිසුන් විසින් හිතුමතේ විනාශ කරමින් පොකුණු ඉස්සන් කර්මාන්තය සිදුකිරීමය.   
මෙම පොකුණු ඉස්සන් කර්මාන්තය 1990 දශකයේ පුත්තලම දිස්ත්‍රික්කයේ කඩොලාන පරිසරයට කණ කොකා හැඬූ සමය ද වෙයි.   
මේ සියල්ල හමුවේ පුත්තලම් බූරුවා තමන් වාසය කළ බිම අතහැර ගොස් ඇත්තේ පුත්තලමේ මිනිසුන්ගේ නොමනා ක්‍රියා නිසාය.   


අතීතයේ පුත්තලම ජනාකීර්ණ නොවූ නමුත් පසුව ක්‍රමයෙන් ජනාකීර්ණ වීමට පටන් ගැනීමත් පිරිසක් රහසේ ගව මස් බවට අඟවමින් බූරුවන් මරා ගව මස් සමග කලවම් කිරීමත් පුත්තලමේ බූරුවන් තුරන් වී යාමට බලපෑවා දැයි බරපතළ සැකයට තුඩු දී ඇත.   
එසේ වුවද පුත්තලමට සමාන පරිසර රටාවකින් සමන්විත කල්පිටිය නගරය හා අවට ප්‍රදේශ ගණනාවක් අද වනවිට සීමිත සංඛ්‍යාවකට සීමා වී සිටින මෙම සිව්පා සතුන්ට වාසස්ථානය වී තිබේ.   
බූරුවා කර්කෂක පරිසරයට ඔරොත්තු දීමේ හැකියාවක් ඇති සුවිශේෂ සිව්පාවකු වන අතර ලවණ ආශ්‍රිත පරිසරය බූරුවන් තම වාසස්ථාන ලෙස තෝරාගෙන ඇති බවට නොරහසකි.   
අශ්ව පවුලට අයත් අප්‍රිකානු සම්භවයක් සහිත (Equuleus Aricanus) ලෙස හැඳින්වෙන ක්ෂීරපායි ගණයට අයත් ශාක භක්ෂක සිව්පා සත්වයකු වන බූරුවා 15 වැනි සියවසේ යුරෝපීයයන් සමග මෙරටට පැමිණි බව සනාථ වී තිබේ.   


ලන්දේසින් හා ඉංග්‍රීසින් මෙරට ආක්‍රමණය කිරීම සිදුවන විටත් මෙරටට බූරුවන් පැමිණ සිටි බවට සනාථ වී තිබේ.   
යුරෝපීය ආක්‍රමණිකයන්ගේ බඩු බාහිරාදිය ප්‍රවාහනයට මුලින්ම බූරුවන් යොද‌ාගෙන ඇති නමුත් පසුව විවිධ කටයුතු වෙනුවෙන් යොද‌ාගත් බවට පැවසෙයි.   
බූරුවා අනෙක් රටවල දී සේම මෙරට දී බඩු ප්‍රවාහනයට රැගෙන ආ බවට මේ කරුණු මත හෙළි වෙයි.   
යුරෝපීය ආක්‍රමණිකයන් විසින් මෙරටට රැගෙන ආ බූරුවා අපේ ජනතාව තුළ අහිංසක සත්වයකු ලෙස අනුකම්පාවක් හිමිව තිබේ.   


කළපු පරිසර පද්ධති ආශ්‍රිතව තම ජීවිතය හුරුව ඇති මෙම සත්ව කොට්ඨාසයට බූරුවන් යැයි හැඳින්වීමට හේතු වී ඇති කරුණු පුදුමය දනවයි.   


ඒ එම සතුන් කිසිවකුට කරදරයක් නොමැති හිංසාකාරී නොවන සත්වයකු නිසාය.   
මෙම සතුන් මෙරටට රැගෙන එ්මේ අතීත කතා අතර ඇති ප්‍රධාන මතය වී ඇත්තේ පුත්තලමේ ලු‍ණු කර්මාන්තය වෙනුවෙන් මෙම සිව්පාවන් යොද‌ාගෙන ඇති බවයි.   
ඇතැම් විටක එහි සත්‍යතාවයක් ඇති බවට ලැබෙන තොරතුරු මගින් සනාථ කිරීමට ද හැකියාව පවතී. මන්ද, බූරුවන් ලවණ සහිත පරිසර පද්ධතියට තදින් ඇලු‍ම් කිරීමත් එම පරිසර පද්ධතිය තුළින්ම ආහාර සපයා ගැනීමටත් දක්වන රුචිකත්වයත් හේතුවෙනි.   
අතීතයේ ලු‍ණු කර්මාන්තවල බූරුවන් යොද‌ාගෙන ඇත්තේ ලු‍ණු පාත්තිවල ගොඩ ගැසුණු ලු‍ණු ගබඩාවලට රැගෙන ඒම සඳහා බව පැරණි තොරතුරු මගින් සනාථ වෙයි.   
බූරුවා යන නාමය සිංහල භාෂාවට එක්ව ඇත්තේ ද ලන්දේසි භාෂාවෙන් බවට තොරතුරු ලැබෙති.   
බූරුවන් කිසිම විටක පුත්තලම දිස්ත්‍රික්කයෙන් පිටතට ගෙන යාම තහනම්ය. ඒ සඳහා අවසර ලබා දීමක් පවා සිදු නොවන බව කියයි.   


නමුත් පොල් ඉඩම්වල ආරක්ෂාවට රහසේම බූරුවන් යොදා ගැනීම සිදුවෙයි. ඒ පොල් ඉඩම්වලට හානි කරන රතු කුරුමිණියන් පලවා හැරීමටය. බූරුවන්ගේ තියුණු නාදයට එම කෘමීන් පලා යන බවට ඇති මතයකි.   
බූරුවන් රැගෙන යාමට අයිතිය ඇති එකම ජන කොට්ඨාසය වන්නේ අහිගුණ්ටික ජනතාවය. ඒ සඳහා අතීතයේ කල්පිටියේ හා පුත්තලමේ ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් අවසර ලබා දීමක් සිදුව තිබුණ ද මේ වන විට එය නැවතී තිබේ.   
ඒ මෙම සතුන් සම්බන්ධව කිසිදු නීතිමය ආවරණයක් නොමැති වීමේ පසුබිම තුළය.   
මේ සියල්ල එසේ සිදුවන විට අද බූරුවන් අසරණ වී ඇත්තේ මෙම සත්ව කොට්ඨාසය මේ වන විටත් කිසිදු ආයතනයක හිමිකාරීත්වයකට යටත් නොවීම නිසාය.   
එසේම මෙම සතුන්ගේ ආහාරය පැරණි රටාවෙන් ක්‍රමයෙන් මිදී යාම නිසා කසළ ගොඩවල්වල විවිධ දෑ ආහාරයට ගන්නා අයුරු දැකගත හැකිය.   


මෙහි බරපතළකම වන්නේ කසළ කඳු බහුතරයක මේ වනවිට පොලිතින් අසුරණ තිබීම හේතුවෙනි. බූරුවන් විශාල ලෙස මේ වනවිට කසළ ගොඩවල ඇති විවිධ දෑ සමග පොලිතින් ආහාරයට ගැනීම සිදුව තිබීමත් සමග මෙම සතුන්ගේ උදර තුළ පොලිතින් තැන්පත් වී මරණයට පත් වූ අවස්ථා ද වාර්තා වෙයි.   
ඒ සමගම කල්පිටියේ විවිධ ස්ථානවලදී සේම මාර්ග දෙපස ගමන් කරමින් සිටින අයකුට බූරුවන් නිරන්තරයෙන් දැකගත හැකිය.   
මෙසේ අනාරක්ෂිත ලෙස සැරිසරණ බූරුවන් වාහනවල ගැටී අනතුරුවලට පත්වූ අවස්ථා ද එමටය. ඒ සමගම බූරුවන්ට ඇතැම් පිරිස් අමානුෂික ලෙස කැතිවලින් හා පිහිවලින් පහර දී තුවාල සිදුකළ අවස්ථා ද එමටය.   
මේ සියලු‍ කරුණු හමුවේ තවමත් බූරුවා කිසිවකුගේ රැකවරණයට ලක් නොවූ සිව්පාවකු ලෙස සිටීම සැබැවින්ම කනගාටුවට කරුණකි.   

 


බූරුවන්ට මේ වනවිට අත්වෙමින් ඇති ඉරණමට වනජීවී දෙපාර්තමේන්තුවේ කාර්ය භාරය කුමක් දැයි කළ විමසීමේදී පුත්තලම දිස්ත්‍රික් සහකාර වනජීවී අධ්‍යක්ෂ එරන්ද ගමගේ මහතා පවසන්නේ මෙවැන්නකි.   
“බූරුවන් වනජීවිය යටතට අයත් වෙන්නේ නැහැ. මොකද මේ සත්වයා ගෘහාශ්‍රිත ලෙසටයි සැලකෙන්නේ. ඒ නිසාම තවමත් මේ සතුන් ගැන අපිට කිසිදු ලෙසකින් නීතිමය බැඳීමක් නැහැ.   
හැබැයි යම් ලෙසකින් බූරුවාට දිගින් දිගටම තර්ජන තිබෙන සත්වයකු ලෙස වාර්තාවනවා නම් අපිට ඒ ගැන යම්කිසි ආකාරයකින් මැදිහත් වෙන්න පුළුවන්. ඒ සමග මේ සතුන් පිළිබඳව අපිට අහක බැලීමක් කරන්නත් බැහැ.   


ඒ වාගේමයි බූරුවන්ට දිගින් දිගටම තර්ජන හා හානිකර තත්ත්වයන් මතුවෙනවා නම් අනිකුත් ආයතන සමග සාකච්ඡා කර මෙම සතුන්ට සීමා වූ බිම් කඩක් කල්පිටියෙන් ලබාගෙන එහි ආරක්ෂිත වාසස්ථානයක් ලෙස නිර්මාණය කිරීම ගැනත් මම අවධානය යොමු කරන්නම්.” ඒ මහතා පැවැසීය.   
බූරුවන් අනාරක්ෂිත වීම පිළිබඳව හා එම සතුන්ට මේ වනවිට ඇති වී තිබෙන තර්ජනය හමුවේ සිදුවිය හැක්කේ කුමක් දැයි ජ්‍යෙෂ්ඨ පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතාගෙන් කළ විමසීමේදී ඔහු පවසා සිටියේ, “ලංකාවේ හමුවන බූරුවා සලකන්නේ ආරක්ෂිත සතෙකු කියලා. මොකද ඒකට හේතුව එම සත්වයා වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීම් ආඥා පනතේ 30 වගන්තියේ පළමු හෝ දෙවැනි උප ලේඛනයට ඇතුළත් වී නැති නිසා. ආරක්ෂිත නොවන සතුන් පළමු උප ලේඛනයට ඇතුළත්. නමුත් බූරුවා ආරක්ෂිත නොවන සතුන්ගේ උප ලේඛනයට ඇතුළත් නොවන නිසාත් දැඩි ලෙස ආරක්ෂිත නොවන සතුන්ගේ ලේඛනයට ඇතුළත් නොවන නිසාත් අපිට සලකන්න සිදුවෙනවා මේ සත්වයා ආරක්ෂිත සත්වයකු ලෙස.   
දෙවැනි කාරණය තමා බොහෝ අයගේ මතයක් තිබෙනවා බූරුවා කියන්නේ විදේශීය රටකින් පැමිණ වනගත වූ සතෙකුගේ වර්තමාන දක්වා පැවත එන සත්ව කොට්ඨාසයක් බව. 

 
යම්කිසි සත්වයකුගේ සම්භවය හෝ ගහණය දුරාතීතයේ සිට පැවත විත් ගහණයක් සිදුව තිබෙනවා නම් ඒ සත්ව කොට්ඨාසය ආරක්ෂා කර ගන්න අපිට අවශ්‍යතාවයක් සේම වටිනාකමක් ද තිබෙනවා නම් නීතියෙන් බාධාවක් නැහැ. මොකද ශ්‍රී ලංකාවේ පරිසරයට අනුගත වෙමින් සාර්ථකව අභිජනනය කරමින් සිටින අපේ සත්වයකු ලෙසම මේ සත්වයා දැන් අපිට හඳුන්වන්න පුළුවන්.   


යම්කිසි කෙනකු තර්ක කරනවා නම් බූරුවා ආරක්ෂිත සතෙකු නොවන බවට අපිට පුළුවන් දෙපැත්තටම තර්ක කරන්න. මොකද මම හිතන්නේ සතෙකු ආරක්ෂා කර ගන්න තමයි වැඩි ප්‍රමුඛතාව දෙන්න ඕනෑ. මොකද මෙවැනි වටිනාකමක් සහ මෙවැනි විශේෂ සතෙකුගේ සම්භවය ගැන ඕනෑවට වැඩිය වද වෙනවාට වැඩිය දැන් තිබෙන නීතියට අනුව වුවමනාවටත් වැඩිය මේ සත්වයා ආරක්ෂා කර ගන්න අපිට නීතියෙන් හැකියාව තිබෙනවා. එය මතු පරපුරටත් දැක ගැනීමට හැකිවන පරිදි පුත්තලම දිස්ත්‍රික්කයේ රඳවා තබාගෙන ආරක්ෂා කර ගත හැකියි.”   


බූරුවා කුමන රටකින් පැමිණියද ජගත් ගුණවර්ධන මහතා පවසන පරිදි අපිට අයිති සත්වයකු වී අවසානය. මේ නිසාම කිසිවකුට හිංසාවක් නොමැති මේ සත්වයා ආරක්ෂා කරදීමට වගකිව යුතු අංශවල අවධානය කඩිනමින් යොමු විය යුතුව තිබේ.  

 

 

සටහන ඡායාරුප: පුත්තල
හිරාන් ප්‍රියංකර ජයසිංහ  

 



Recommended Articles