කතරගම ඇසළ මංගල්‍යයේ දී - පාද වන්දනාවෙන් අවුත් කඳසුරිඳුන්ට පුද සත්කාර ඉෂ්ට සිද්ධ කිරීමේ ඉපැරණි චාරිත්‍රය සඳහා, මෙවර ද දහස් සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් කතරගම පුදබිම වෙත පැමිණීමට නියමිතය. උතුරු නැගෙනහිර සිට හින්දු හා බෞද්ධ බැතිමතුන් සිය දහස් ගණනින් පාද යාත්‍රාවෙන් පැමිණීමේ වන්දනාව ඇරඹෙනුයේ කප් සිටුවීමේ චාරිත්‍රය නිමාවීමත් සමගමය.
කතරගම ඇසළ මංගල්‍යය මෙම මස26 වැනි දින සිට ජුලි 10 දක්වා පැවැත්වේ. පුරා දින 15ක් තිස්සේ මේ සිදු කෙරෙනුයේ ස්කන්ධ කුමරුවන් ගේ සහ වල්ලි දෙවඟන ගේ විවාහය සනිටුහන් කරමින් පෙරහර සිදු කිරීමේ චාරිත්‍රය යි.
![]() |
ලෙනාර්ඩ් වුල්ෆ් |
කතරගම දේවාලයේ නිර්මාතෘ දුටුගැමුණු රජුගේ කාලයේ පටන් කතරගම දේව වන්දනාව ඇරඹුණි. දුරාතීතයේ ඇසළ මංගල්‍යය සඳහා බැතිමතුන් කතරගම ගොස් ඇතැයි කියන්නේ සිය නිවාස, දේපළ හා රන්භාණ්ඩ පවරා දී අවසන් කැමැත්ත ද දක්වමින් බැව් - අදටත් හමුවෙන පැරණි ලිපි ලේඛනවලින් සනාථ වේ.
වර්තමානයේ දී උතුරු නැගෙනහිරෙන් පා ගමනින් එන බැතිමතුන්ට යාල වැනි වන ගත ප්‍රදේශ පමණක් පසුකර පැමීණීමට සිදුවේ. නමුත් අතීතයේ එලෙස පැමිණි සියලු බැතිමතුන් කතරගමට පැමිණියේ මාස කීපයක් මහා වන මැදින්, දැවැන්ත ජීවිත අවදානමක් දරා ගනිමින්, කුසට නිසි අහරක් හෝ නොමැතිව දැඩි පීඩාවක් දරාගනිමින් බවට කතරගම දේවාල ඉතිහාසය දෙස් දෙයි.
මහා වන මැදින් පැමිණි බැතිමතුන් වෙනුවෙන් අම්බලන්තොට වළවේ ගඟ ආශ්‍රිතව නවාතැන් පොළවල් හා ආපණශාලා පැවති බව සඳහන්වේ. හම්බන්තොට, තිස්සමහාරාමය සිට කතරගම පුදබිම වෙත මහා වන මැදින් බැතිමතුන් පැමිණීමේ දී - විවිධ වූ අනතුරු ආන්ත්‍රාවන් වලට බැතිමතුන් නිරතුරුව ගොදුරු වූහ.
සොර සතුරන් රැගෙන එන මුදල් සොරකම් කිරීම් ද, ඇතැම් අවස්ථාවන් වලදී කාන්තාවන්ට ලිංගික අතවරයන්ට ලක්වීමට සිදුවීම් ද, වන සතුන්ගේ ප්‍රහාරයන්ට ලක්වීම් හා විෂකුරු සර්පයන්ගේ දෂ්ඨ කිරීම් වලට ලක්වීම් වැනි අතෝරයන්ට ලක් වීමට බැතිමතුන්ට සිදු වූ බව සඳහන් වේ.
1919 වකවානුවේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ උප දිසාපති වූ ලේනාර්ඩ් වුල්ෆ් ගේ සටහන් වල සඳහන්ව ඇත්තේ කතරගම යන අතර මග විවිධ වූ ස්ථාන තුළ මිනිස් ඇටකටු දැකීමට තිබූ බවයි.
කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී. රත්නායක අප හා දොඩමළු වෙමින් - තමන් කුඩා කල අත්විඳි අමිහිරි පුවතක් අනාවරණය කළේ මෙසේය.
“අද වගේ මාර්ග පහසුකම් ප්‍රවාහන පහසුකම් නැති නිසා ඇසළ පෙරහර සමයේ දී කතරගමට බැතිමතුන් පැමිණියේ මාස ගණන් පා ගමනින් ඇවිල්ලායි. පෙරහරට එන බැතිමතුන් සෑහෙන සංඛ්‍යාවක් කුළු හරකුන් ගේ හා දිවියන් ගේ ග්‍රහනයන්ට ලක් වෙලා ජීවිතක්‍ෂයට පත් වූ අවස්ථා තිබුණා. ඇසළ පෙරහර නිමා වූ පසුව යාපනය, මඩකලපුව වැනි දුර ප්‍රදේශයන්ට යෑම සිදු වූයේ ද පා ගමනින් සහ කරත්ත වලින්.”
1936 කතරගම මහා ෙද්වාලය
“මම පොඩි කොල්ලා කාලයේ - දිය කැපීමේ උත්සවයෙන් ඇසළ මංගල්‍යය අවසන් වූවාට පසු දින උදයේ කපු මහත්වරුන් වූ තාත්තා හා සීයා එක්ක බැතිමතුන් ගමන් ගත් මාර්ගයක් දිගේ සැතපුම් 07 ක් පමණ කරත්තයක නැගී සෝදිසියකට ගියා. එක් වයසක දමිළ මාතාවක් බිම වැටී කෙඳිරි ගාමින් සිටිනවා අපි දැක්කා. තාත්තා හා සීයා වහා ඇයට සාත්තු කොට බීමට වතුර ලබා දුන්නා. පස්සේ අපි ගෙන ගිය කෑමත් කන්න දුන්නා. කන්න ඉස්සර වෙලා ඇය බැගෑපත් වෙමින් ඉල්ලා සිටියේ ’මම කන්නම් මගේ මිනිහා ඉස්සරහා වැටිලා ඇති, ගිහින් එක්ක එන්න’ කියලා.”
“ඒ ගමන ඇයට එතැන ඉන්න කියලා අපි ඒ කෙනා හොයා ගෙන ඉදිරියටම ගියා. ටික දුරක් යද්දි අමාරුවෙන් අසරණව වැටී සිටි ඔහුත් සොයා ගත්තා. ඔහුත් කරත්තයට නංවා ගෙන, ඔහුටත් වතුර හා කන්න දී ආපහු ආවා. අපි ආවේ අර කාන්තාවත් කරත්තයට නංවා ගන්න. ඒත් දුර තියා අපට දකින්න ලැබුණේ අති භයානක ශෝකජනක දර්ශනයක්. දිවියෝ දෙන්නෙක් අර කාන්තාව මරා ගෙන කනවා.”මෙවැනි අති බිහිසුණු පාද වන්දනා ගමනක් අතීතයේ දී සිදුවිය.
කතරගම හා බැඳිච්ච සුදු ජාතිකයන්ගේ වාර්තා
1910 කතරගම පෙරහැර අධීක්‍ෂණය කළ පළාත් එජන්තවරයෙකු වූ ලෙනාර්ඩ් වුල්ෆ් තැබූ සටහන්වල කතරගම පිළිබඳව ද සටහන් කෙරී ඇත.
“1910 දි කතරගම ප්‍රදේශය අති දුෂ්කර ප්‍රදේශයක් වීම නිසා කිසිදු එජන්තවරයෙකු මෙම පළාතට පැමිණීමට කැමැත්තක් දැක්වූයේ නැත. තිස්සමහාරාම වෙතට සැතපුම් 10ක් දුරින් පිහිටි කතරගම පුරවරයට ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් පමණක් නොව දකුණු ඉන්දියාවේ සිටද බැතිමතුන් පැමිණි බව ද කියවේ. හම්බන්තොට සිට කතරගම දක්වා ගමන් කරන මාර්ගයේ විශාල වනාන්තර වූ බැවින් පැමිණි බැතිමතුන්ට ආහාර ලබාගැනීමේ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවිය. මෙම වන්දනා නඩ අතර විවිධ වූ රෝග සුව කරගැනීම සඳහා රැගෙන ආ රෝගීන් සිටි අතර, ඇතැම් අය අතරමග දී මියගිය බව සඳහන් වේ. එමෙන්ම ඉන්දියාවේ සිට පැමිණි වන්දනා බැතිමතුන් අතර කොළරාව, වසූරිය වැනි දරුණු රෝගයන්ට මුහුණ දීමට සිදුවිය. මේ හේතූන් මත ඉන්දියාවෙන් පැමිණෙන නඩ සඳහා නීති දැඩි කිරීමට රජයට සිදුවිය.”
1910 ජූලි 8 වන දින තිස්ස - කතරගම බලා පැමිණි ලෙනාර්ඩ් වුල්ෆ් ට ජූලි 22 වන තෙක් දින 14ක් එහි නවාතැන් ගැනීමට සිදුවිය. වන්දනාකරුවන් තුන්හාරදාහක් පැමිණි අතර, 1910 - 1919 වකවානුවේදී කතරගම පුදබිම මහා වනය මැද පිහිටි පුංචි එළිමහනකට වඩා වැඩි තැනක් නොවූ බව ලෙනාර්ඩ් වුල්ෆ් පෙන්වා දේ. මෙහි සුවිශේෂී වූ කරුණ වූයේ, හින්දු කෝවිල් පැවතියත් ඒවායේ ප්‍රධාන පාලකයා වුයේ සිංහලයන් වීමයි. එමෙන්ම අඩු කුලේ යැයි සම්මත වූ පුද්ගලයන්ට එම කෝවිලට ඇතුළු වීමට ඉඩ අවකාශ නොලැබුණි. පෙරහර පවත්වමින් කතරගම දෙවියන්ගේ හා භාර්යාවගේ ආභරණ වැඩමවා පෙරහර සිදුකරන අයුරු දුටු බව ලෙනාර්ඩ් වුල්ෆ් සඳහන් කර ඇත. මෙම කාල සීමාවේ දී වුල්ෆ් අමිහිරි සිදුවීමක් පිළිබඳව ද සටහනක් තබා ඇත. එය මෙසේ යි. ලෙනාර්ඩ් වුල්ෆ් කතරගම පුදබිමේ ගතකල ස්ථානයේ ජනේලයක් අසල කුඩා දරුවෙකු නොනවත්වා මරළතෝනි දෙමින් හඬමින් සිට ඇත. දැඩි වෙහෙස කර වූ රාජකාරි කටයුතු නිමා කිරීමෙන් අනතුරුව නිදාගත් ඔහුට දරුවාගේ හැඬීම බාධාවක් විය.
පසුව තම සේවකයාට කතා කර දරුවාගේ හැඬීම පිළිබඳ සොයා බලන ලෙස දැන්විය. එහි දී හෙළිවූයේ ඉන්දියාවේ සිට පැමිණි යුවළක් තම අන්ධ දරුවාට පෙනීම ලබාදීම සඳහා දේව කන්නලව්වක් සිදු කොට - දරුවාට පෙනීම නොලැබුණු බැවින් ඉදිකට්ටක් ගෙන දරුවාගේ ශරිරයට අනිමින් වේදනාවකට පත්කර දරුවා හැඬවීම තුළින් දෙවියන්ගේ අවධානය යොමු කර ගැනීමට යොමු වූ බවයි.
මෙම සිදුවීම ලෙනාර්ඩ් වුල්ෆ් හට දරාගත නොහැකි වූ සිදුවීමක් බව හෙතෙම සඳහන් කරයි. පසු දින ඔහුගේ මැදිහත්වීමෙන් සිංහල වෛද්‍යවරයෙකුට යොමු කරන ලදුව, අනාවරණය වී ඇත්තේ දරුවාගේ පෙනීම ලබා දීමට නොහැකි බවයි.
මේ සමයේ දී සවස් කාලයේ තුවක්කුව රැගෙන තනියම කැලයට පිවිස මැණික් ගඟ දෙපස ඇවිදගෙන යාම ලොනාර්ඩ් වුල්ෆ්ට පුරුද්දක් විය. නීති විරෝධී මුවන් දඩයම් කරන්නන්, මහා පරිමාණයෙන් වියළි මස් අලෙවි කරන්නන්, වට ලා අත්අඩංගුවට ගැනීමට ලොනාර්ඩ් වුල්ෆ් ට හැකිව තිබේ.
පෙරහැර පවත්වන සමයේ දී පැමිණෙන අය දේවාලයට විශාල මුදලක් ලබා දීම සිදුකර තිබේ. මෙසේ පැමිණි අයට පොල් අතු සෙවිලි කළ මඩු දේවාල ආසන්නයේ ඉදිකිරීමට කටයුතු කර තිබුණි. මෙහිදී පැමිණෙන බැතිමතුන්ගේ ආහාර, පානීය ජලය, වැසිකිලි පහසුකම් පිළිබදව වුල්ෆ් අවධානය යොමු කරනු ලැබුවේ නිව්මෝනියාව, මැලේරියාව, පාචනය වැනි රෝග වලින් බේරා ගැනීමේ අරමුණින් ය.
මෙහිදී කතරගම ඇසළ පෙරහැරට පැමිණි බැතිමතුන් වෙනුවෙන් එක් දිස්ත්‍රික් වෛද්‍යවරයෙක් සිටි අතර, නීතිය හා සාමය රැකීමට ගම්මුලෑදෑනියෙක් රාජකාරි සඳහා පත් කළ බව වුල්ෆ් සඳහන් කර ඇත.
1910 ජූලි 23 වැනිදා ලෙනාර්ඩ් වුල්ෆ් කරත්තෙන් පිටත් වූ බව සඳහන්ය. ලෙනාර්ඩ් වුල්ෆ් නැවත කතරගමට පැමිණියේ 1960 පෙබරවාරි 13 බව සඳහන් වේ
පෘතුගීසි ආක්‍රමණය
1642 දී පෘතුගීසි කණ්ඩායමක් කතරගම දේවාලය කොල්ල කෑමේ අසාර්ථක උත්සහායක යෙදුණු බව රිබෙයිරෝ ගේ “සෙයිලාඕ” නම් කෘතියෙහි මෙසේ විස්තර කෙරේ.
“වසර ගණනාවක් පූරා පරිත්‍යාග කරන ලද රන්, මුතු, මැණික් යනාදියෙන් සමන්විත අති මහත් වස්තු සම්භාරයක් මෙහි තැන්පත්ව තිබෙන අතර, ආයුධ සන්නද්ධ පුද්ගලයෝ පන්සීයයක් දෙනා සෑම විටම ඒවා රැක බලා ගැනීමේ යෙදී සිටිති. ඒවා පිළිබඳව ඔවුන් තුළ ඇති බියෙන් ඔහු නිදහස් කිරීමේ චේතනා ඇතිව එම වස්තු සම්භාරය ලබා ගැනීමේ අදහසින් අපි කීප වරක්ම ඒ පිළිබඳව තොරතුරු ලබා ගැනීමේ උත්සාහයක නිරත වූහ.”
කතරගම දේවාලයේ දැනට ඇති පැරණිම ඡායාරූපය වන මෙය සුදු අධිරාජවාදීන් විසින් ගන්නා ලද්දකි
“1642 දිනයක දී මම පෘතුගීසින් එකසිය පනස් දෙනෙකු ගෙන් යුත් ලස්කිරිංඥකරුවන් දෙදාහසකින් යුත් ක්‍රිස්ත්‍රියානුවන් බහුතරයක ගෙන් සැදි හමුදාව ගැස්පර් පිගුයේරා ඩි සෙර්පේ නම් ආඥාපතියකු යටතේ ගිය අතර, භටයන්ගේ ඉමහත් ගෞරවාදරයට පත්ව සිටි සෙර්පේ ඔවුන්ගේ බස මෙන්ම සිරිත් විරිත්ද මැනවින් දත්තේය.”
“පූජ්‍යස්ථානය පිහිටියේ යැයි ඔවුන් කී පෙදෙසට පැමිණි අපි ඒ ආසන්නයේ විසූ වැසියකු අල්ලාගෙන දේවාලය තිබෙන තැන දන්නේ දැයි ඔහුගෙන් ප්‍රශ්න කෙළෙමු. තමා එතැන දන්නා බවත්, එය වැඩිදුරක නොවූ බවත්, වැසියා පැවසූ හෙයින් - ඔහු මාර්ගෝපදේශකයා වශයෙන් පත්කර ගෙන ඉදිරියට ඇදුණෙමු. ඔහු දැක්වූ මග අනුව වනයෙන් වැසුණු කඳු ගැටයක් ඔස්සේ ඇදෙමින් එකම තැනින් කීප වරක් ද ගමන් කෙළෙමු. දේවාලය කන්ද මුදුනෙහි වූ බව අපට නිසැක ව්‍ූ නමුත්, එතැනට පැමිණීමට අපට නුපුළුවන් වූයේ කුමන හේතුවක් නිසාදැයි අපි නොදනිමු. ඊට පසුව අපගේ මාර්ගෝපදේශකයන් වශයෙන් පස් දෙනෙකුම අප අතරමං කරන්නට උත්සාහ කළ බව පෙනුණු හෙයින් අපි ඔවුන් මරා දැම්මෙමු. කෙසේ වුවද “කාතරගාඕ” නමැති දේවාලය දැක ගන්නට පවා නුපුළුවන් වූ හෙයින් අපි ගිය මග ඔස්සේම ආපසු ආවෙමු.”
රොබට් නොක්ස් වසර 1618 දී කතරගම දෙවියන් ගැන මෙසේ ලීවේය.
“ගොඩබිම දෙසින් කඳු වලින්ද, අනෙක් පසින් මුහුදින් ද වට වී තිබෙන ලේවායවල ලුණු එකතු කිරීමට යන බාල මහලු සියලු දෙනා, ඔවුන් යන මාර්ගයේ කතරගම නමැති නගරයේ සිටින බලගතු දෙවියකුට පුද පවත්වති. මේ දෙවියන්ගේ නාමයත්, බලයත් කෙරෙහි සිංහලයන් තුළ මහත් බියක් හා ගෞරවයක් පවතී. රජුට එරෙහිව පෘතුගීසීන්ට හා ලන්දේසීන්ට සේවය කිරීමට කැමැත්තෙන් සිටින සිංහලයෝ පවා කතරගම දෙවියන්ට ඇති බිය නිසා එයින් වැළකී සිටිති. ඒ දෙපිරිසට මේ ප්‍රදේශය ආක්‍රමණය කිරීම සඳහා උපකාර නොකර සිටීමට ලාංකීය ජනයා ක්‍රියා කළහ.”
අතීත ජන ප්‍රවාදයක්
වල්ලි දෙවඟන ගැන දැනගත් කඳ කුමරුවන් ඉන්දියාවේ සිට කුමන ඕකන්ද මුහුදු වෙරළ වෙත රන් ඔරුවකින් පැමිණි බව සඳහන් වේ.
කඳ කුමරුවන් පැමිණි රන් ඔරුව වෙරළ අයිනේ දමා, කඳ කුමරුවන් පාද චාරිකාවෙන් සිය ගමන ආරම්භ කරන ලදී.
කුමන මහ වනය මැදින් එන විට පැමිණි රන් ඔරුව බෙදාගැනීම පිණිස පිරිසක් ගහමරා ගන්නා බව දැනගත් කඳ කුමරුවන් වහා මුහුදු වෙරළට පැමිණ, රන් ඔරුව ගල් ඔරුවක් බවට පත් කර පැත්ත පෙරළා පැමිණි බව ජනප්‍රවාදයේ සඳහන්වේ.
එසේ පැමිණි කඳ කුමරුවන් කැබිලිත්ත, කුඹුක්කන් ඔය, යාල වන උද්‍යානය ඔස්සේ පැමිණ වල්ලි දෙවඟන මුණගැසුණු බව සඳහන් වේ. මේ අනුව කඳ කුමරුවන් පැමිණි මාර්ගය සනිටුහන් කරමින් අදත් බැතිමතුන් සෑම වර්ෂයක දීම කතරගම ඇසළ මංගල්‍යය සඳහා පැමිණීම සිදුවේ.
මෙම පාද වන්දනාව ඇරඹෙන සමයේදී පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය පරිදි පරිසරය ද සකස් වේ. මැණික් ගඟේ දිය අඩු වී සුදු වැලි පැදීම සිදු වන්නේ පැමිණෙන බැතිමතුන්ට සුව පහසුව ඇති වීම පිණිසයි. මේ කාලයේ දී යාල හා කුමන වන උද්‍යාන තුළ සිටින වන සතුන් ද බැතිමතුන්ට පැමිණීමට ඉඩ සලස්වමින් වනයේ ඈත ප්‍රදේශයන් වෙත සංක්‍රමණයවේ. මහා වනයේ ඇති වැව් අමුණු අවට බැතිමතුන්ට කෑමට හැකි ලෙස විවිධ වූ පළාවර්ග හට ගන්නා අතර පලු, වීර, දිවුල් ගස් වල ඉදී බිමට වැටෙනුයේ දැඩි තෙහෙට්ටුවෙන් පැමිණෙන බැතිමතුන්ට ආහාර වේලක් වන ලෙසින්ය.
පාද වන්දනාවට එක් වන බැතිමතුන් බත් වියලා ද, හබල පෙති හා පොල් වියළා පොල් කැබලි ද රැගෙන මෙම පාද වන්දනාවට එක් වී ගමන් කිරීම අතීතයේ දී මෙන් අදටත් සිදුවේ.
මේ වන විටත් බැතිමතුන් යාපනය නල්ලුර් කෝවිලේ සිට පාද වන්දනා වෙන් පැමිණීම ආරම්භ කර ඇත. මෙසේ පැමිණෙන බැතිමතුන් කිලිනොච්චිය, වව්නියාව, මඩකලපුව, අම්පාර, පොතුවිල්, පානම ඔකන් කෝවිල වෙත පැමිණීම සිදුවේ.
මෙම බැතිමතුන්ට කුමන හා යාල වන උද්‍යාන වෙත පිවිසීමට හා ගමන් කිරීමට - මෙම මස 20 වැනි දින සිට ජුලි 04 වැනි දින දක්වා අවසර ලබා දීමට වනජීවී දෙපාර්තමේන්තුව ක්‍රියා කර ඇත.
මෙම පිරිස කුමන, කුඹුක්කන් ඔය, යාල, පිලින්නාව, යාල අංක 02 කළාපය, මැණික් ගඟ, යාල අංක 01 කලාපය, කොච්චිපාතන, කටගමුව ඔස්සේ ගමන් කර පුදබිමට පැමිණීමට නියමිතය.
මෙම පිරිසට අමතරව මහාමාර්ග ඔස්සේ ද නුවරඑළිය, බණ්ඩාරවෙල වැනි පළාත්වලින් ද හින්දු බැතිමතුන් විශාල වශයෙන් පැමිණේ.
මෙසේ පැමිණෙන බැතිමතුන් දේවාල පුදබිමේ ගස් යට ලැඟුම් ගෙන ඇසළ මංගල්‍යට සහභාගී වී, පෙරහර අවසන් වී දිය කැපීමෙන් පසුව මැණික් ගඟේ ජලය ද රැගෙන හරෝ හාර කියමින් සිය ගම්බිම් වෙත ආපසු යාම සිදුවේ.
කතරගම කේ.ඩී. දේවප්‍රිය