හොරේ එළිවෙලා ගුටි කන්න කලින් පැනලා


කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත
අවස්ථාවෙන් ලබා ගන්නා වාසියෙන් ඉන්ධන හොරට ලබාගෙන විකිණූ අයකු අලි පරිප්පුවක් කෑමේ සිද්ධියක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.


කෑන්වලට ඉන්ධන ලබාදීම තහනම් කර තිබුණේ ඒ තුළින් සිදුවෙන අකටයුතුකම් නැවැත්වීමටය. එහෙත් මේ පුද්ගලයා ඉන්ධන පිරවුම් පොළේ සේවකයන් සමග හැප්පුණේ කෑන්වලට ඉන්ධන ලබා ගැනීමටය. ඒ තව පිරිසක්ද එයට සහභාගී කරවා ගනිමිනි.


තමාගේ මග නැවතුණු වාහනයට දමා ගැනීමට කෑන්වලට ඉන්ධන ලබා දෙන්නයි ඔහු ඉල්ලු‍වේ පිරවුම් පොළේ සේවකයන්ටද තර්ජනයක් වන ආකාරයෙනි. මේ නිසාම පිරවුම් පොළේ වාහනවලට තෙල් ගැසීමද නතර වී තිබුණි. ඒ නිසාම වාහන පෝලිමද එන්න එන්නම වැඩිවිය.


තෙල් ගැසීම නතර වී ඇත්තේ මොකක් නිසාදැයි සෙවීමට වාහන පෝලිමේ සිටි පිරිස් පිරවුම් පොළට එක් රොක් වන්න පටන් ගත්හ. එවිට දර්ශනය කාටත් දැක ගන්නට හැකිවිය. ඒ අතරින් එක් අයෙක් වහා ඉදිරියට පැන ඔයාට කොහෙන්ද වාහන. තියෙනව නම් වාහනයේ නොම්මරය කියන්න. මමත් ඔයාගෙන් තෙල් බෝතලය රුපියල් 700ට ගත්තා මතක නැද්දැයි ඇසූවිට ඔහුට දෙවියන් සිහිවිය.
අත තිබූ කෑන් එක අතහැර ඔහු දිව්වේ ඒ වනවිටත් හතර වටෙන් වදින සබ්බුවෙන් මග හැර යාමටය.