හොර ඥානපටිය විභාග පරීක්ෂකගේ අතටම අසුවෙලා


 

සිය මිතුරා විභාගය සමත් කිරීමේ අරමුණින් ලොකු මකන කෑල්ලක් පලා ඒ තුළ සඟවා පළමු ප‍්‍රශ්න පත‍්‍රවලට පිළිතුරු ඇතුළත් ඥාන පටි යැවීමේ සුක්ෂම වැඩ පිළිවෙළක් විභාගය පැවැත්වෙන මුල්ම දිනයේදී අල්ලා ගැනීමට දකුණු පළාතේ විභාග මධ්‍යස්ථානයක සිටි විභාග පරීක්ෂකවරයකු සමත්විය.

ඔවුහු එක බත්පත එකට බෙදා හදාගෙන කන එකම පංතියේ මිතුරෝය. මේ මිතුරු සමාජයට හත් අට දෙනෙක්ම සිටියහ. එහි සිටි එක් මිතුරකු ඉගෙනීමට එතරම්ම දස්කම් නොදැක්වීය. එහෙත් ඔහු සිය ව්‍යපාරික පියාගේ මුදල් උපයෝගී කරගෙන අනෙක් මිතුරන්ට හැමදාම පාහේ හොඳහැටි සංග‍්‍රහ කළ අයෙක් විය. එනිසාම අනෙක් මිතුරන් ඔහුට දැක්වුවේ අනුපමේය සෙනෙහසකි. භක්තියකි.

මෙවර පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත‍්‍ර විභාගයේ වැඩ බැරි මේ මිතුරා සමත් කරවීම සඳහා උදව් කිරීමට අනෙක් මිතුරෝ කතා කරගත්හ. ඒ අනුව මෙවර පැවැත්වෙන විභාගයේදී ඔහු ආසන්නයේම ඔහු සිටින විභාග කාමරයටම අතිජාත මිත‍්‍රයකුද වැටුණේය. මේ වනවිට ඔහුට විභාගයේ පළමු ප‍්‍රශ්න පත‍්‍රයට පිළිතුරු යැවීමට මිතුරන් විසින් නවතම උපක‍්‍රමයක්ද සොයාගෙන තිබිණ. එදා තිබුණේ පළමු ප‍්‍රශ්න පත‍්‍රයයි. එයට තිබුණේ උත්තර හතරෙන් නිවැරැදි පිළිතුරට ඉරි ගැසීමය. ඔහු විභාග කාමරයේ සිටි සිය මිතුරකු විභාග පරීක්ෂකවරයාට පෙන්වා ඒ අයගෙන් මකන කෑල්ල ඉල්ලා දෙන ලෙස ඉල්ලීමක් කළේය.

විභාග පරීක්ෂකවරයා විභාග පරීක්ෂාවලටම ගොස් හොඳ අත්දැකීම් ඇත්තෙකි. ඒ නිසාම නම් කරන ලද කෙනාගෙන්ම මකන කෑල්ල ඉල්ලීම ගැන ඔහුට ඇතිවූයේ විශාල සැකයකි. ඔහු සිතුවේ මකන කෑල්ලේ හතර වටේම පිළිතුරුවලට අංක සටහන් කර ඇතිය කියාය. කෝකටත් විභාග පරීක්ෂකවරයා ඔහු පෙන්වූ සිසුවාගෙන් මකන කෑල්ල ඉල්ලා ගත්තේය. එහෙත් මකන කෑල්ලේ වටපිට මොනවත්ම ලියා නොතිබුණේය. එහෙත් එම මකන කෑල්ලේ එක් පැත්තක සුදුපාට ගම් ටේප් කෑල්ලක් අලවා තිබුණේය. මෙහි මොකක් හෝ උප්පරවැට්ටියක් ඇතැයි සිතූ විභාග පරීක්ෂකවරයා සුදුපාට ගම් ටේප් කැබැල්ල ගැලවීය.

එවිට පලන ලද මකන කෑල්ලේ කට පළල්වී එයින් පළමු ප‍්‍රශ්න පත‍්‍රයට අවශ්‍ය පිළිතුරු අංක සටහන් කරන ලද ඉතා කුඩාවට නවන ලද කඩදාසි පටියක් තිබෙනු දුටුවේය. සිසුන් මේ කඩදාසි පටිය හඳුන්වනුයේ ඥාන පටිය නමින්ය. මකන කෑල්ලේ සඟවා තිබූ ඥාන පටිය එළියට ගත් විභාග පරීක්ෂකවරයා මේ සිසුන් දෙදෙනා කළ කාර්යයේ බැරෑරුම්කම ඔවුනට පෙන්වාදී පළමු දවසේම මේ කි‍්‍රයාව අහුවීම නිසා මෙයට පළමු හා අවසාන වරට සමාව දෙන බව පැවැසුවේ ආයෙත් මෙවැනි කි‍්‍රයාවල නොයෙදෙන ලෙස තරයේ අවවාද කරමින්ය.