අලව්ව නගරයේ බස් නැවතුමේ සිට ගිරිඋල්ල බලා යන පෞද්ගලික බස් රථයකි. එහි ආසන සියල්ලම මගීන්ගෙන් පිරී තිබුණි. බසය ගමනාන්තය වූ ගිරිඋල්ල නගරය දක්වා ධාවනය වෙමින් තිබුණි.
හුම්බුළුව නගරයට ආසන්න වත්ම බසයේ මැද අසුනක සිටි මැදිවියේ පුද්ගලයකු තම අසුනේම සිටි මැදිවියේ කාන්තාවක් දැඩි වාග් ප‍්‍රහාරයක් එල්ල කිරීමට පටන් ගත්තාය.
‘‘තමුසෙ මාර මිනිහෙක්නෙ අයිසෙ..., බලනව..., තමුසෙ අලව්ව ඉඳලා, මගෙ ඇඟට කී පාරක් හේත්තුව දැම්මද? හේත්තුව දානවා ගෙදර ගිහින්, මේක බස් එකක්...,’’ යැයි ඇය මුළු බසයටම ඇසෙන සේ හඬ නඟා කීවාය.
බසයේ සිටි සියලූම දෙනා ඒ හඬ කෙරහි විපරමින් පසුවිය.
‘‘මම දැම්ම හේත්තුවක් නෑ...’’ යැයි මැදිවියේ පසු වූ ඔහු පවසන විටම ඇගේ කෝප සහගත හඬ තවත් තීව‍්‍ර විය.
‘‘කට අරින්න එපා. වැරැද්ද කරලා එනවා තව සුදනා වෙන්න.’’
‘‘මේවා ගෑනුන්ට හොඳ පාඩම්. අපිට තමයි අද කාගෙන්වත් රැකවරණය නැත්තෙ. මේ වගේ දේවල් වෙනකොට කාන්තාවො විදිහට අපි ප‍්‍රසිද්ධියෙ සටන් කරන්න ඕනෑ...’’ මේ වගේ නාකි හින්දා ගෑනියකුට බස් එකකවත් යන්න නෑ...
‘‘ඩ‍්‍රයිවර් මහත්තයගෙයි කොන්දොස්තර මහත්තයගෙ වගකීම තමයි මේවා ගැන ඇහැ ගහගෙන ඉන්න එක. බසයේ යන අනෙක් කාන්තාවන්ටත් මේ අනංගයාගෙන් පරිස්සම් වන්න’’ යැයි ඇය සීනුව නාද කර මඩවල බස් නැවතුමෙන් බැස ගියාය.

