හෙල්මටය නැතිව යතුරුපැදියෙන් ගිය තරුණයා පොලිස් කනෙන් රිංගලා



හසලක සුනිල් ඒකනායක



යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයකු රථවාහන පොලිසියේ නිලධාරින් අන්දවා දඩ කොළයෙන් බේරුණු පුවතක් රසකරමින් කඩයට යන එන හිතවතුන්ට පවසා ඇත්තේ අපහාසාත්ම සිනහවක්ද මුවේ රඳවා ගෙනය.
ඔහු තිස් දෙහැවිරිදි වියේ පසු වෙන ගමේ කුඩා කඩයක් පවත්වාගෙන යන තරුණයෙකි. කපටි ශූර බුද්ධියක් ඔහු තුළ පැවතීම නිසාම ගමේ කොයි කවුරුත් හිතවත් කරගෙන කඩේ වෙළෙඳාම සරුකර ගන්නට උපන් හපනකු බව ගමම දන්නා කාරණයකි.
මෙදින මොහු නගරයට පිටත් වුණේ සිය වෙළෙඳසලට අවශ්‍ය යම් ද්‍රව්‍ය තොගයක් රැගෙන ඒමේ අදහසිනි. වෙනදා ත‍්‍රීරෝද රථයෙන් බඩු රැගෙන ඒමට යන මොහු පැවති හදිසිය නිසාම සිය යතුරුපැදියේ නැග නගරය බලා පිටත්වූයේද අධික වේගයෙනි.


මාර්ගයේ අධික වේගයෙන් ගමන් ගනිමින් සිටි මොහුගේ ගමන නතර වූයේ මාර්ග රාජකාරියේ නියුතුව සිටි පොලිස් නිලධාරින්ගේ සංඥාවෙනි. නිලධාරින් අසල යතුරු පැදිය නතර කර ”ඇයි සර් මාව නතර කළේ.” යන්න ඔහු නිලධාරින්ගෙන් විමසිමේදී නිලධාරියා ”මොකෝ මේ ඊයේ යන්න තිබුණු ගමනක් අද යනවා වාගේ වාහනයෙන් ඉගිල්ලිලා යන්නේ. කෝ තමුන්ගේ හිස් වැසුම යනුවෙන් අසා ඇත. ඉන් අනතුරුව”කෝ ගන්නවා තමුන්ගේ ලයිසන් ඉන්සුවරන්ස් යැයි පවසා ඇත.
නිලධාරියාගේ එම ප‍්‍රකාශයත් සමග ඔහුගේ ඉහ මොළ රත්ව ගියේ යකඩෝ මම හෙල්මට් එක දාගෙන ආවේ නැහැනේ යැයි තමාටම කියා ගනිමිණි. ඒ සමගම ඔහුට ක්ෂණිකව පහළ වුයේ ගණදෙවි නුවණකි. ”අනේ සර් හරි වැඩේනේ මට වුණේ. මම අසවල් ගමේ කෙනෙක්. බඩු වගයක් ගන්න ගමේ කඩේකට ගියා. කඩේ ළඟ බයිසිකලය නතර කරලා කඩේ ඇතුළට ගිහිල්ලා බඩු අරගෙන ආපහු බයිසිකලය ළඟට එන කොට බයිසිකලයේ තියලා ගිය හෙල්මට් එක කවුද හොරකම් කරගෙන ගිහිල්ලානේ. හොරා මම දන්නවා ඒකා පල් හොරෙක්. හෙල්මට් එක ගැන කියන්නයි මම මේ වේගයෙන් පොලිසියට යන්න හැදුවේ යැයි එම තරුණයා පවසා ඇත. අවසානයේ ඔහු ගොස් ඇත්තේ නගරයේ හිතවතකුගෙන් ලබා ගත් හිස් වැසුමක් ද පැලඳ ගෙනය.