එම නිවස ළඳුන්ගේ තැනකි. තරුණියෝ දහයකට වැඩිදෙනෙක් එහි ලැගුම්ගෙන සිටිති.
එහි එක් කාමරයක එදින සිටියේ තරුණියන් දෙදෙනකු පමණි. විදුලිය නිවාදමා දොරගුළු දාගත් දෙදෙනා නින්දට ගියහ.
දැන් මැදියම් රැය පසුවෙමින් පවතී. දෙදෙනා සිටි කාමරයේ එක් තරුණියක් කෑ ගැසුවාය. කිසියම් පුද්ගලයකු කාමරයේ සිටින බව පවසමින් ඇය කෑගැසුවාය. ඇගේ හඬින් අවදිවූ යාබද ඇඳේ නිදාසිටි තරුණිය වඩාත් බියට පත්වූවාය. ඇයද බෙරිහන් දුන්නාය. තම කාමරයේ කවුරුන්දෝ සිටින බව කියමින් දෙදෙනාම බෙරිහන් දුන්හ. ඒ හඬට නේවාසිකාගාරයේ සිටි අනෙක් තරුණියෝද බියට පත්වී කෑගසන්නට වූහ. තරුණියන්ගේ හඬට යාබද නිවෙස්වල උදවියද අවදිවී එහි දිව ආහ.
විනාඩි ගණනකට පසු මහත් උත්සාහයක් දරා පිරිසට කාමරයේ දොර විවෘත කර ගත හැකිවිය. එක් තරුණියක් බියට පත්වී දහදියෙන් තෙමී සිටි අතර අනෙක් තරුණිය තද නින්දේ පසුවිය. ඇය අවදිකරවා කෑගැසීමට හේතු විමසූ අතර තමා කිසිවක් නොදන්නා බව ඇය පැවසුවාය.
පසුව කාටත් කාරණාව වැටහුණි. තද නින්දේ පසුවූ එම තරුණිය හීනයක් දැක තම කාමරයේ කවුදෝ සිටිනා බව පවසා කෑගසා ඇත. ඇගේ හඬින් බියට පත්වූ කාමරයේ සිටි අනෙක් තරුණියද අඳුරේම බියටපත්ව කෑ ගසා ඇත. ඔවුන් දෙදෙනාගේ හඬට නේවාසිකාගාරයේ සිටි අනෙක් පිරිසද බෙරිහන් දෙන්නට වූහ. මෙම පිරිසේ හඬට අසල්වාසීන්ද එහි දිව ඇවිත් ඇත.
සිද්ධිය සැකහැර දැනගත් පිරිස ආපසු නිවෙස්වලට ගියහ. අලූයම් වනතුරුත් එම නේවාසිකාගාර නිවස දෙසින් හිනාහඬ පැතිරෙන්නට විය.

