මොරගොල්ලාගම සිසිර කැලේගම
තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි.
සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්රදේශයකිනි.
පවුලේ එකම දියණිය වේ. පියා කුඩා කාලයේදිම මිය ගොස් ඇති ඇයගේ මවද පසු කලක හදිසියේම මිය ගියාය. මේ නිසා පවුලේ පිරිමි දෙදෙනා පවා ජීවත් කිරීමේ බර ඇයගේ කර මතට පැවරුණාය. ඔවුන් ජීවත් කරන්නට ඇය අනේක විදියේ දුක් ගැහැට වින්දාය.
උගත්කම නිසා ගුරු සේවයට පිවිසීමේ භාග්‍ය උදා විය. ඒ මීට වසර ගණනාවකට පෙරය. ඇය දැන් විශ්‍රාම යාමටද කාලය උදා වී ඇත.
ඒ අතරේ වසර ගණනාවක් තිස්සේ යතුරු පැදියෙන් රැකියාවට ආව ගිය ඇය යතුරු පැදියට සමු දුන්නාය. ඒ මෝටර් රථයක් මිලදී ගැනීම නිසාය. ඒකරාශි කරගෙන තිබු මුදලට අමතරව එය මිලදී ගන්නට බැංකු ණයක්ද ගත්තාය.
“අනේ හොඳයි පැන්ෂන් යන්න ඉස්සරලා ඔයා කාර් එකක් ගත්තු එක නම් නියමයි.”
පවුලේ අය මෙන්ම හිතවත්තු ද සුබ පැතුහ. පාසලට මෙන්ම පවුලේ උත්සව සඳහා ද ඇය තම වාහනයෙන් සහභාගි වුවාය.
එහි උණුසුම යන්නටත් පෙර ඇය වාහනය වික්කාය. නැවතත් ඇය යතුරුපැදි ගමනට බැස්සාය.
“සෑහෙන කාලයක් සැහැල්ලු වාහන පුරුදු වෙලත් ඒක ගත් සැණින් විකුණුවේ ඇයි. ඒක නම් අපරාධයක්” ඇසු දුටු අය පැවසුහ.
“කට වහගෙන හිටපල්ලා. මේ මල මගුල මගේ හිතට මොන තරම් දස වධ දුන්නා ද කියන්න ඔයාලා දන්නවා ද? මේකෙන් ඉස්කෝලෙට ගියත් නිවනක් නෑ. ඒක ළමයි සූරයිද, ගලකින් ගහයිද, කෑල්ලක් ගලවයිද කියලා හිතෙනවා.
දානෙ ගෙදර ගියත් හිතට සැනසීමක් නෑ. පිනක් දහමකට ගියත් හිත තියෙන්නේ පින්කම ගාව නෙමෙයි වාහනය ගාව. ඒ විතරක් ද බල්ලෙක් බිරුවත්. ශබ්දයක් ඇසුණත් රෑට නින්දක් නෑ මේක හොරු ගන්න ආවද කියලා හිතට වධ දෙනවා. පුදුම මානසික පීඩනයකින් මම හිටියේ. දැන් ඉතිං ණයත් නෑ. බයත් නෑ. බැංකු වාරිකත් ගෙව්වා. ඒකත් වික්කා.
දැන් පින් දහම් කරන තැනකට ගියත් නිදහසේ පිනක් දහමක් කර ගන්න පුළුවන් අප්පේ... මගේ හිතට දැන් තමයි පුදුමාකාර සැහැල්ලුවක් දැනෙන්නේ” ඇය ඉසේ තිබුණු බරක් ඉවත් කළාත් මෙන් නොදැනිම වාගේ කියාගෙන ගියාලු.