හැම වැඬේම එකපාර කරන්න ගිහින් අමාරුවේ වැටිලා


එදින සති අනත් නිවාඩු දිනයකි. ඔහු පුවත්පතකුත් අතැතිව වැසිකිළියට ගියේ පුවත්පත බැලීම සහ වැසිකිළියේ කාර්යයත් එකවර කැරගෙන කාලය ඉතිරි කැර ගැනීමටය. සිය කටයුතු ආරම්භ කර ගතවූයේ මොහොතකුත් පමණි. මේ... මේ... ඔයාට කෝල් එකක්. ඒ බිරිය බෙරිහන් දෙන හඬය. වැසිකිළි දොරටුව අතරින් අත දමා ජංගම දුරකථනය අතට ගෙන ඒ සඳහා පිළිතුරු සැපයුවේය. දුරකථනය අසල රාක්කයෙන් තබා පත්තරය අතට ගත්තේය. රැවුල කැපීමේ කටයුතු ද මේ සමගම කර ගැනීමට සිතූ ඔහු ඒ සඳහා සබන් කැටය අතට ගෙන මුහුණ පුරා ගාගත්තේය. රැවුල කැපීම ආරම්භ කළේය. දුරකථනය නැවතත් නාද විය. නමුත් එක් වරක් පමණි. දෙවනුව ඇසුනේ ”ජබොක්” යන හඬකි. ඔහුට දෙලෝ රත් විය. නාදයත් සමගම හෙල්ලී ගිය දුරකථනය තැබූ තැනින් ලිස්සා වැසිකිළි පෝච්චියට වැටුණේය. දුරකථනය නැතිවීමට වඩා එය හිරවීමෙන් වැසිකිළි පෝච්චිය කඩන්නට වෙතියි ඔහු සිතුවේය. පසුව දස අතේ කල්පනා කැර එය ඉවතට ගෙන විසිකැර දැමීය. හැම වැඩක්ම  ඕක ඇතුළේ කරන්න යනවට ඔහේට හොඳ පාඩම්. බිරියගේ ගෝරනාඩුව දින ගණනක් යනතුරා අඩුවක් නොවීය.