හාම්පුතාගේ මංගල ඇඳුම් ඇඳගෙන රියැදුරා මඟුල් ගෙදර ගිහින්


එම හාම්පුතා ආයතනයක ඉහළම පුටුව හිමි තැනැත්තාය. දිනක් ඔහු තම රියැදුරාට කතාකොට ”අනුර මගේ මේ වෙඩින් සූට් එක ලොන්ඩරියට දාන්න”යි පැවැසීය.


රියැදුරාද කියු ලෙසම වාහනයෙන් ගොස් මගුල් ඇඳුම පිරිසුදු කිරීම සඳහා ලොන්ඩරියට භාරදීමට කටයුතු කළේය.


දින කිහිපයකින් හාම්පුතා රාජකාරි කටයුත්තක් සඳහා විදේශ ගතවූයේ සති කිහිපයක් නැවත පැමිණීමට නොලැබෙන බව පවසමිනි. දිනක් රියැදුරාගේ මිතුරකුගේ විවාහ මංගලෝත්සවයට රියැදුරාටද ආරාධනා කෙරිණි. එය පැවැත්වීමට නියමිතව තිබුණේ හෝටලයකය.


උත්සවයට සහභාගි වීම සඳහා රියැදුරාට අලූත් ඇඳුම් කට්ටලයක් නොතිබුණු අතර ඇඳුම් කට්ටලයක් මිලදී ගැනීමට මුදල්ද නොතිබිණි.


දහ අතේ කල්පනා කළ ඔහුට අවසානයේදී හාම්පුතාගේ මගුල් ඇඳුම මතකයට නැගිනි. වහා එය ලොන්ඩරියෙන් ලබාගත් ඔහු මංගල උත්සවයට උජාරුවෙන් සහභාගි විය. පසුදින එම ඇඳුම ලොන්ඩරියට භාරදුන් ඔහු නැවතත් පිරිසුදු කරන ලෙසට ලොන්ඩරිකරුට දැන්වීය.
ක‍්‍රිස්ටෝපර් සීපියන්