සබරගමුවේ එක්තරා දුෂ්කර ගම්මානයක සිදුවූ අපූරු කතා පුවතකි.
ඔහු ගොවිතැන් කටයුතුවලින් ජීවත් වන්නේය. ගොඩ මඩ ඕනෑම වැඩකට දක්ෂය.
සියලු වැඩ කටයුතු අවසන් වී සවස් කාලයේ මල් පැන් පොදක රස විඳින්නට යන්නේය. දිනක් එම කටයුත්තට ගොස් එනවිට බොහෝ රෑ විය.
බිරිඳද ඔහුට මහත්සේ ළෙන්ගතුය. කෑම බීමද ඕනෑ කමින් සදා දෙන්නේය. එදින නිවසේ සහල් අවසන් වෙලාය. ඒ අනුව ඇය පාන් පිටි රොටී සදා ඉතා රසවත් ලුණු මිරිසක් සැදුවාය.
තම ස්වාමි පුරෂයාට ලුණු ඇඹුල් හොඳට කන්න පුළුවන් බව ඇය දනී. ඒ අනුව එක රොටියක් උඩට ලුණු මිරිස් වැඩි වශයෙන් දමා තවත් රොටියකින් එය වැසුවේය.
ඔහු එන්න පමා වූ බැවින් ඇය නිදා ගත්තාය. ආපු වෙලාවක කන්නෙ නැතෑ ඇය සිතුවාය.
ටික වේලාවකින් ඔහු නිවසට පැමිණියේය. ගෙදර උන්දෑ මොකටද ඇහැරවන්නෙ දවසෙම වැඩ කරලා මහන්සි ඇතිනෙ ඔහු සිතුවේය.
වෙරි මරගාතේ කුස්සිය පැත්තට ගිය ඔහුට කුප්පි ලාම්පුව එළියෙන් දැකගත හැකි වූයේ ඒ ආසන්නයේ පිඟානකින් මොනවා හෝ වසා ඇති බවය. ඒ අනුව වසා තිබුණු පිඟාන පසකින් තබා බෙදා ඇත්තේ මොනවාදැයි බැලීය.‘‘දෙයියෝ සාක්කි’’ අද ගෑනිට මොනවත් උයන්න දෙයක් ගෙදර තිබිලම නැහැ ලුණු මිරිස් විතරයි හදලා තියෙන්නෙ කියමින් ලුණු මිරිස් ටික කා දමා ලොකු වතුර පොල් කට්ටක් බීවේය. ඉන්පසු එය බෙදා තිබුණු පිඟාන සෝදා පසෙකින් තබා බූරු ඇඳේ ඇල වුණේය.
උදෑසනම අවදි වූ බිරිඳට දැකගත හැකි වූයේ රොටී දෙක පසෙක තබා තම ස්වාමි පුරුෂයා ලුණු මිරිස් ටික පමණක් කා ඇති බවයි. ‘‘දෙයියෝ සාක්කි’’ මේ මනුස්සයා කාලා තියෙන්නේ ලුණු මිරිස් ටික විතරයි ඇයට කියැවිණි.
බලංගොඩ වයි.ඒ.එස්. වීරවංශ

