(තිහගොඩ - උපසේන ලියනගම)
තම සැමියාගේ ”අත් ගුණය” ගැන වර්ණනා කරන්නට ගොස් වැඩ වරද්දා ගත් බිරියක් ගැන පසුගියදා අසන්නට ලැබුණේ ගාල්ලට නුදුරු උප නගරයකිනි.
තම අසල්වැසි එහා ගෙදර යෙහෙළියට මෙහා ගෙදර යෙහෙළිය තම කොන්දෙ අමාරුව ගැන කී විට ඇය තමා භාවිත කරන බාම් වර්ගයක් ගැන කියා ඒවා ගෑමට කීවත් දින කීපයක් ඒවා භාවිත කළ යෙහෙළිය කීවේ ඉන් කිසිම ගුණයක් නැති බවය.
‘‘අනේ මන්දා මම නම් එක සැරයක් ගෑවම කොන්දේ අමාරුව කොහෙන් ගියාද නෑ. හැබැයි අපේ මහත්තයා තමයි ගාන්නෙ. එයාගෙ අත් ගුණේද මන්දා” කී ඇය සැමියාගේ අත් ගුණය ගැන දිගින් දිගටම වර්ණනා කළෙන් මෙහා ගෙදර යෙහෙළියට ඊර්ෂ්‍යාවක් ද ඇතිවිය.
මේ නිසාම ඇය මගහැර හිටියත් පසුගියදා එහා ගෙදර යෙහෙළිය ඇය හමුවට විත් යළිත් කොන්දෙ අමාරුව ගැන ඇසුවාය.
‘‘ඔයා කියපු කතාව ඇත්ත අනේ. ඔයාගෙ මහත්තය බාම් ඩිංගක් ගාල කොන්ද අත ගෑව විතරයි. අමාරුව කොහෙන් ගියාද නෑ.” ඇය කිවේ බොරුවක් වුවත් එහා ගෙදර යෙහෙළිය මඳක් කල්පනා කරමින් සිට ආපසු ගෙදර ගියේ මඳ තැතිගැන්මකිනි.

