සාප්පුවකට ඉණපටි විකුණන්න ගිහින් මුදලාලිට කෑම බිලක් තියා මාරුවෙලා


ඉණපටි අලෙවි කිරීමට දෙනියාය නගරයට පැමිණි වෙළෙඳුන් තිදෙනකු කඩයකට ගොස් වෙළෙඳ මහතාට ඉණ පටි විකිණීමෙන් නොනැවතී ඔහුගේ නම විකුණා හෝටලයකින් දිවා ආහාරයද ලබා ගැනීමේ පුවතක් වාර්තා වේ.

ඔවුන් ජංගම වෙළෙඳාමේ ගොස් ඉණපටි අලෙවි කිරීම සඳහා නගරයේ සාප්පුවකට පැමිණ ඉණපටි අවශ්‍යදැයි වෙළඳසැල් හිමියාගෙන් විමසීය.

ඔවුන් ඉණපටි කිහිපයක් අතට ගෙන ඒවා වෙළෙඳසල් හිමියාට පෙන්වා එකක් රුපියල් 290ක් බව පැවසීය. එවිට මුදලාලි ඔවුන්ගේ ඉණපටි ගණන් වැඩි බව කියා උදව්වක් වශයෙන් ඉණපටි දෙකක් මිලදී ගත්තේය.

ඉණපටි දෙක අලෙවි කළ මුදල් ලබාගත් වෙළෙන්දන් අයියේ මේ ළඟ අපිට කන්න හොඳ හෝටලයක් තිබේදැයි අසා ඇත. පසුව මුදලාලි ඔවුන්ට හෝටලයක් පෙන්වා තමාද ආහාර ගන්නේ එතැනින් බව පවසා තිබේ.

එහෙනම් අපි ඒකෙන් කමු කියා යන්න ගිය ඔවුන් මුදලාලිගේ නම අසාගෙන ඇත්තේ අපි ඔයාගේ නම කියලා කෑම ඉල්ලන්නම් එතකොට කෑම ටික අපිට හොඳට දේවි යැයි පවසමිනි.

පසුව කෑම තුනක් රැගෙන ඔවුන් ගියේ මුදලාලිට බිල ගෙවීමට සලසාය. දවස් කිහිපයක් ගත වෙද්දී හෝටල් හිමියා ඉණපටි වෙළෙඳසලේ වෙළෙඳසල් හිමියාගෙන් කෑම මුදල් රු.360ක් ඉල්ලා ඇත. ඔහුට කාරණය වැටහී ඇත්තේ එවිටය.