උණවටුන ඩී.ජී.සුගතපාල
ඔහු විශ්‍රාම යාමට ආසන්න රජයේ සේවකයෙකි. වසර තිහකට වැඩි කාලයක් විවිධ ප්‍රදේශවල රාජකාරි කර ඇති ඔහුට පැමිණිලි තිබුණේ නැත. එහෙත් ඔහුගේ එක් දුර්වල කමක් සියල්ලෝම දැන සිටියහ. එනම් ඔහුගේ අධික බිමත් කමය. මත්පැන් තිබෙන තැන ඔහුට සියල්ල අමතකය. මත් පැන් පානය කිරීමට ඔහුට තැන හෝ බිමට සම්බන්ධවන පුද්ගලයින් තමන්ට ගැළපේද නොගැළපේද යන්න ප්‍රශ්නයක් නොවිය.
පසුගිය සති අන්තයේද සිකුරාදා දවසක ඔහු පිරිසක් සමග අමුතු රැඟුම් රඟන්නට විය. මෙහිදි වැඩියෙන්ම බරපැන දරන්නේද ඔහුය. පදමට රත්වු පිරිස වෙනදා මෙන්ම විසිර යන්නට වූහ.
ඔහුද තම රාජකාරි බෑගය එල්ලාගෙන පරිස්සමෙන් පා තබන්නට විය.ඔහු එන මාර්ගයේ මාලු වෙළෙන්දෝ කිහිප දෙනෙක් සිටිති. ඒ හැම දෙනා ඔහු හොඳින් හඳුනති.
“හා එන්න සර් අද අලුත්ම බඩු. මේ දැන් බෝට්ටුවෙන් ගෙනාපුවා. ලාබයි.” මේ වචන ටික ඔහුට හොඳට හුරු පුරුදුය. එදින සවසද ඔහු මාලු ලෑල්ලක් අසල නතරවිය. ‘සර් කපල කිලෝ එකක් දාන්නද නැත්නම් කූරියෙක් දාන්නද?”
මේ වෙලාවේ ඔහුට මාලු කපල දුන්නත් එකය නැතිනම් කුරියෙක් දුන්නත් එකය. “හොඳ කුරියෙක් දෙනවා” ඔහුගේ ඉල්ලිමට මාලු මුදලාලි කුඩා බලමාලු කූරියෙක් ෂොපිං බෑගයක දැම්මේය. ඔහු එය දමා ගැනිමට රාජකාරි බෑගය විවෘත කළේය. මාලු මුදලාලිද මාලු කූරියා ප්‍රවේශමෙන් බෑගය තුළ තැන්පත් කළේය. ඔහු බෑගය වසා මුදල් ගෙවා එතැනින් පිටත්විය.
වෙනදා මෙන් ඔහු නිවසට ආවේය. ඒ වනවිට හොඳටම රැබෝවි තිබිණි. ඔහු බෑගය වෙනදා මෙන් අල්මාරියේ තබා ඇඟපත සෝදා ගැනීමට ගියේය.තම සැමියාගේ හැසිරිම දන්නා බිරිඳ රාත්‍රි ආහාර සූදානම් කරන්නට වුවාය.
ඇඟපත සෝදාගෙන පැමිණි ඔහු රුපවාහිනිය නරඹන්නට විය.එහෙත් හිස කෙළින් තබාගෙන සිටිමට අපහසුය. කෙසේ වෙතත් අපහසුවෙන් රාත්‍රි ආහාරය ගත් ඔහු නින්දට ගියේය.
පසුදින සෙනසුරාදා නිසා දහවල් වනතුරු නිදාගත් ඔහු නැගිට ගෙදර දොර පිරිසිදු කිරිමේ වැඩවලට බිරිඳට සහාය විය. මත්පැන් පානය කිරීමේ ආදිනව බිරිඳ කොතෙක් පැහැදිලි කර දුන්නත් වැඩක් නැත.කොතරම් මත්පැන් පානය කළත් ඔහු බිරිදට කිසි අඩුවක් පාඩුවක් කළේ නැත.
ඉරිදා සවස්වනවිට කාමරය තුළින් දැඩි දුර්ගන්ධයක් හමන්නට විය.. කාමරයට ඇතුළුවන්නට බැරි තරමට ගඳය. බිරිඳ පැමිණ බැලුවාය. ගඳ එන්නේ අල්මාරියෙන් බව ඇයට දැනින. “අල්මාරිය ඇතුළේ සතෙක් කුණු වෙලා වගෙයි”කි ඇය අපහසුවෙන් මෙන්ම බියකින් අල්මාරිය විවෘත කළාය.
සැමියාගේ රාජකාරි බෑගය තුළින් දැඩි දුර්ගන්ධයක් සමග කිසියම් ද්‍රාවනයක් ගලාගෙන ගොස් තිබෙනු දුටු ඇය වහාම සැමියාට කැ ගසා ඒ බව කීවාය. පුදුමයකි. ඔහු පැමිණ කිසිම බියක් සැකක් නැතිව තම බෑගය එළියට ගත්තේය. බෑගයෙන් අපිරිසිදු ද්‍රාවණයක් ගලාගෙන යද්දිම ඔහු එය විවාත කර එහි තිබු ෂොපිං බෑගය එළියට ගත්තේය. මෙයට දින දෙකකට පෙර එද්දි මිලට ගත් මාලු කුරියා බෑගයේ දමාගත් බව මතක් වූයේ එවිටය.
මාලු කුරියා විසිකළ ඔහු බිරිඳ සමග එක්ව කාමරය සෝදා පිරිසිදු කොට අල්මාරිය තුළ තිබූ රෙදිපිළිද එළියට ගෙන වෙනත් තැනක තබා අල්මාරියද පිරිසිදු කළේය. මෙය දැනගත් අසල්වැසි ඥාතියෙකු දින කිහිපයකට පසු “දැන් අයියා බොන්නේ නැතිදැයි“ බිරිඳගෙන් විමසිය.” ඔන්න අදත් හොඳටම බීල ඇවිල්ල නිදි ඇයගේ පිළිතුර විය.

