විභාගේ උඩින් පාස්වෙන්න ගිහින් විභාගයදා වැසිකිළියේ ඉන්න වෙලා


(කරන්දෙණිය එම්. සුසිල් ප‍්‍රියන්ත)
යාබද නිවසේ සිටින දරුවාට වඩා තමන්ගේ දරුවා මෙවර සමත් කිරීමට යයි සිතා කපුමහතකුට දහසින් බැඳි පියලි දී ලබාගත් ඥානශක්තිය වැඩිවීමට ජීවම්කරන ලදැයි කියන දියරයක් විභාග දිනය දා පෙවීමෙන් එම දරුවාට උසස් පෙළ විභාගය පළමු දිනයේදීම උත්තර පත‍්‍රයට ලියන්න තිබූ අවස්ථාව මගහැරීයාම නූලෙන් බේරුණු පුවතක් දකුණ පළාතේ දුෂ්කර ගමකින් වාර්තා විය.


දෙවැටේ දෙගොල්ලන්ම තරහකරුවෝය. ඒ පැළ ඉනි වැටට ය. මේ නිසා දෙගොල්ලන් අතර නිතරම තිබුණේ කිවනොහැකි තරහයකි. මේ දෙගොල්ලන්ටම මේ පාර උසස් පෙළ විභාගය ලියන පුත්තු දෙදෙනෙකි. මෙයින් එක් ගෙදරක දෙන්න දෙමහල්ලෝ අනෙක් ගෙදර දරුවාට වඩා තමන්ගේ දරුවා විභාගය ඉහළින්ම සමත් කරවීමට ප‍්‍රදේශයේ නමක්ගත් කපුමහතකුගේ පිහිට පැතූහ. එම කපු මහතාට විශාල මුදලක් ගෙවා ඔවුහු ඥාන ශක්තිය වැඩි කිරීම සඳහා යයි කියන ජීවම් කරන ලද දියරයක් ලබාගත්හ. මේ දියරය විභාගයට යන සෑම දිනකම උදේ පාන්දරම හිස්බඩම මේස හැන්දක් පානය කළ යුතු යැයි කපුමහතාගෙන් උපදෙස් ලැබී තිබිණි.


උසස් පෙළ විභාගය පෙරේදා (4) පටන් ගත්තේය. මේ දරුවා අලූයම් කාලයේම අවදිවූයේ එදින උදේ ලියන්න තිබුණු විෂයට සූදානම්වීමට ය. ඒ සමගම අවදිවූ ඔහුගේ මාපියෝ කපුමහතා ඥාන ශක්තිය වැඩිකිරීමට දුන්නු දියරයෙන් මේස හැන්දක ප‍්‍රමාණයක් කපුමහතා කී පරිදිම හිස් බඩම පෙවූහ.


දරුවාට එම දියරය පොවා ගතවූයේ විනාඩි කිහිපයකි. ඔහුට නොනවත්වාම වමනය යන්නට විය. ඒ මදිවට ඇෙඟ් රතු පැහැති ලප ද දැම්මේය. එමෙන්ම එක දිගට වැසිකිළියාමට සිදුවිය. මේ නිසා ඔහුට එදා තියෙන විෂය සම්බන්ධයෙන් පාඩම් කිරීමටද නොහැකි විය. මේ රෝගී තත්ත්වය එන්න එන්නම වැඩිවූවා මිස අඩුවීමක් දක්නට නොලැබිණ. විභාගය ලියන්න තවත් හෝරා කිහිපයක් ඇති බැවින් මේ ගෙදර දෙන්න දෙමහල්ලෝ කපුවා දුන්නු දියරයත් සමගම නගරයේ වෛද්‍යවරයකු වෙත දරුවා කැඳවාගෙන ගියහ.


දරුවාට බොන්න දුන්නු දියරය පරීක්ෂා කළ වෛද්‍යවරයා පවසා ඇත්තේ මේ දියරය නිසා දරුවාට අසාත්මිකතාවක් ඇතිවී තිබෙන බවය. එම තත්ත්වයට ප‍්‍රතිකාර කිරීමෙන් පසු එම දරුවාට සුවයක් ලැබුණේ විභාගය ලියන්න යන්න තවත් විනාඩි කිහිපයක් ඉතිරිව තිබියදීය. දරුවා කෙසේ හෝ පළමු දවසේ විභාගයට ගිය අතර ඔහු විභාගයට ගියේ තමාගේ ඥාන ශක්තිය වර්ධනය කර ගැනීමට බොන්න දිරයක් දුන්නු කපුවාටත් ඔහුගේ මාපියන්ටත් දෙස් දෙවොල් තබමින් ය.