එකම පුතා සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත්වූ ආරංචිය ලද පියා තෑග්ගට රුපියල් තිහක රතිඤ්ඤා පෙට්ටියක් රැගෙන නිවෙසට ආ පුවතක් රජයේ ගොවිපොළ සමීපයේ ගම්මානයකින් වාර්තා වේ.
පියා දුර බැහැර රැකියා ස්ථානයක කල් ගෙවන අතර නිවෙසට එන්නේ දෙසතියකට වරක් පමණය. ඒ ආවත් කිසිදා නිවෙසේ කුදු මහත් කටයුත්තක් ගැන හෝ සොයා බලන්නට ඔහු කටයුතු නොකරයි. මිතුරන් හා මතින් සප්පායම්වීම ඔහුගේ නිවාඩුවේ චර්යාවකි.
පියා පුතාගේ පාසලට කිසිදා ගොස් නැත. සියල්ල කෙරුණේ මව අතිනි. ඇගේ සිල්ලර කඩයේ ආදායම යෙදවූයේ දරුවාගේ යහපත උදෙසාමය. පියා ඉඳහිට නිවෙසට කෑමට යමක් ගෙනාවත් කිසි විටක වියදමට මුදලක් මවට දුන්නේ ද නැත. පුතා උපකාරක පන්ති ගියත් ඒ කොහාටදැයි කියන්නට මේ පියා දැන සිටියේ ද නැත.
මේ අතර පසුගිය දා විභාග ප‍්‍රතිඵල ආවේය. පුතා සමත්විය. මව ඔහු ආදරයෙන් වැළඳ සුබ පැතුවේ තෑගි දෙන්නට වත්කමක් ඈ අත නොවු බැවිනි. තම ජයග‍්‍රහණය පියාට කියන්නට පුතා හෝ මව ක‍්‍රියා කළේ නැත. ඒ ඔහුගේ තරම දන්නා නිසාය.
සති අන්තයේ පියා නිවාඩුවට ගමට ආයේය. පුතාගේ ජයග‍්‍රහණය පිළිබඳව ආරංචි විය. ආපසු නගරයට ගිය ඔහු පුතා වෙනුවෙන් රුපියල් තිහකට රතිඤ්ඤා පෙට්ටියක් මිලදී ගෙන තැබෑරුමට ගියේය. තුන් දහසක පමණ මුදලක් ඒ ගමනට ඔහුට වැය විය. සියල්ල රැගත් හෙතෙම නිවෙසට විත් පුතාට සුබපතා රතිඤ්ඤා පෙට්ටිය තෑගි කර මිතුරන් ගෙන්වා ගෙන රැය පහන්වන තුරු සතුට පළ කරන්නට වූයේය.
මැදියමත් පසුවී ඇතත් මේ කරච්චලය ඉවසාගත නොවුණු පුතා පියා සමීපයට ගියේය. ”අනේ තාත්තේ මං පේල් වුණා නම් මීට වඩා හොඳයි.” කියා රතිඤ්ඤා පෙට්ටිය කඩා ගිනි දැල්වූයේය.

