විදුලි බිල ගෙවන්න ගෙනා රු. 1000 බෑගයේ දමාගෙන දසඅතේ හොයලා


(තිහගොඩ උපසේන ලියනගම)
විදුලිබිල ගෙවීම සඳහා පෝලිම් ගැසී සිටිය දී කරන්ට් වැදුනාසේ කලබලයට පත්වූ වියපත් කාන්තාවක් පිළිබඳ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ සබරගමුව පළාතෙනි.


මෙම බිල්පත් ගෙවීමට යන පෝලිමේ පාරිභෝගික විනෝදාස්වාදය තකා රූපවාහිනියක් ද ක‍්‍රියාත්මක වේ. විදුලි බිල්පත් හා මුදලක් අතේ ගුලිකර ගත් මේ කාන්තාව පෝලිමේ වූ රූපවාහිනී දසුනක් නැරඹූයේ දෙනෙත් මෙන්ම කටද විවරකරගෙනය.


මොහොතකට පසු විදුලිය වැදුනාක් මෙන් කලබලයේ  සිරුර අතගාමින් ‘කවුද මගේ සල්ලි අරගෙන’ කීවේ අතේ වූ සිලිසිලි මල්ලද සොලවමිනි. ‘කවුද ආච්චි සල්ලි ගත්තේ. කීයක් තිබුණාද?’ පෝලිමේ වූවෝද කලබලයේ ඒ ගැන සෙවූහ.


‘දාහේ කොළේ’ කී ඇය වටපිටාවේ සිටි අය දෙස බැලූවේ ‘මේ ඔක්කොම හොරු’ කියන ආකාරයටය.


අසල සිටි තරුණයකු ‘ආච්චි ඔය බෑග් එක ඇතුළේ දාහේ කොළේ වැටිලා තියෙන්නේ’ කියා එය පෙන්වූ විට ඇය සන්සුන් වීමට උත්සාහ ගත්තත් වටපිටාවේ අයගෙන් එල්ලවූ සරදම්වල නම් සීමාවක් නොවීලූ.