කරන්දෙණිය එම්.සුසිල් පියන්ත
අල්මාරියේ අස් කිරීමට තිබූ භාවිතයෙන් ඉවත් කළ පරණ ඇඳුම් තොගයක්ම දිට්වා සුළි කුණාටුවෙන් අවතැන්වූවන්ට දීමට ගිය කතකට තමාගේ ඇඳුම් ගැලවී ගොස් කවදාවත්ම ඉගෙන ගැනීමට නොහැකිවූ පාඩමක් ඉගෙන ගැනීමට හැකිවූ පුවතක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
දිට්වාගෙන් දිවි බේරාගත් අය සඳහා යම් උපකාරයක් කිරීමට ගමේ පන්සලේ නායක හාමුදුරුවෝ තීරණය කළහ. සතර පේරුවේ දායක කාරකාදීහුද එය එකපයින්ම අනුමත කළහ. වියළි ආහාර ද්‍රව්‍ය, කිරි පිටි, හොඳ තත්වයේ ඇඳුම් පැලඳුම් යන ආදී ද්‍රව්‍යයන් රැගෙන එන ලෙස නායක හාමුදුරුවෝ සතර පේරුවේ දායක, කාරකාදීන්ට කීහ.
ඒ අනුව එක එක අය එක එක දේවල් ගෙන ආහ. මේ සියල්ල ගබඩා කෙරුණේ විහාරස්ථ ධර්ම ශාලාවේය. දෙන දේ ලොකු හාමුදුරුවෝ ලේඛන ගත නොකළහ. කැමති අයකුට කැමති දෙයක් රැගෙන ඒමට උන්වහන්සේ කාට කාටත් ඉඩහසර සැලසූහ.
විහාරස්ථ ධර්ම ශාලාව ආධාර ද්‍රව්‍යයන්ගෙන් පිරීමෙන් පැවතිණ. ගමේ අය මෙන්ම ලොකු හාමුදුරුවන්ගේ හිතවත්හුද මේ සඳහා දායකවූහ. මේ බොහෝ අය වියළි ආහාර ද්‍රව්‍ය, කිරි පිටි, වතුර බෝතල්, බිස්කට් වැනිදෑ ගෙනවිත් දුන්නෝය. රෙදි පිළි ගෙනත් දුන් අයත් මේ අතරය. එයින් වැඩිමනත්ම ලබාදී තිබුණේ අලුත් ඇඳුම් පැලඳුම්ය. පරණ ඇඳුම් පාර්සල් ද එහි නොතිබුණාම නොවේ.
මේ අතරේදී විහාරස්ථ දායක කතක දිව ආවේ නායක හාමුදුරුවන් හමුවීමටය. ඇය සිටියේ කලබලයෙනි. වටපිට බලමිනි. දුකෙනි. ලොකු හාමුදුරුවන්ට මෙය මහත් ප්‍රහේළිකාවකි. මොකෝ උපාසකම්මේ කලබලෙන්.
හිස ගිනි ගත්ත කෙනෙක් වගේ යයි ලොකු හාමුදුරුවෝ මේ කතකගෙන් ඇසූහ. ඇයි ලොකු හාමුදුරුවනේ හිස ගිනි ගන්නේ නැද්ද අපේ අම්මා දරුවන් දුන්නු සල්ලි ඔක්කෝම හංගලා තියෙන්නේ අපේ අල්මාරියේ අපි පාවිච්චි කරන්නේ නැති රෙදි අස්සේ.
මම ඒක පන්සලට ගෙනල්ලා දුන්නා. අම්මා සල්ලි හොයන කොට තමයි මේක දැන ගත්තේ. අනේ හාමුදුරුවනේ ඒ රෙදි අවතැන් අයට දුන්නදැයි ඇය හැඩුවේ ඇඩූ කඳුළෙනි.
හා ඇත්තද අපි ඒ ඇඳුම් පාර්සලය නම් දුන්නේ නැහැ. ඒවා දෙන්න පුළුවන්ද උපාසකම්මේ. ඒවා වැරහැලි වෙලානේ. අපි කෙනකුට දෙයක් දෙනකොට දෙන්න ඕන පාවිච්චි කරන්න පුළුවන් තත්වයේ ඇඳුම් පැලඳුම් නේ. ඒවා දුන්නේ කවුද කියලා ඉගියක් හොයා ගන්න ඒ වැරහැලි ටික අවුස්සන කොට රුපියල් දහදාහක් දාලා තිබුණු ලියුම් කවරයක් හම්බවුණා.
අපිට ඒ ඇඳුම් පාර්සලය දුන්නු කෙනා හොයා ගන්න බැරිවුණු නිසා ඒ මුදල්වලින් අවතැන්වූ පාසල් ළමයින්ට පොත්පත් ටිකක් අරන් ගියා යයි ලොකු හාමුදුරුවෝ ඇඟපතට නොදැනීම කීහ.
හා ඒකත් එහේමද මම දැන් ඉඳලා ඉවරයි කියමින් මේ කත ආපයින්ම සිය නිවසට දිව ගියේ දෙයියන්ට තමන් පත්වූ අසරණ තත්වය කියමිනි.

