(තිහගොඩ - උපසේන ලියනගම)
පසුගියදා අගනුවර පැවති අමාත්‍යාංශ නියෝජ්‍ය ලේකම්වරුන්ගේ සාකච්ඡුාවකි. එක් නිලධාරියකුට ජංගම දුරකථන පණිවුඩයක් ලැබුණේ බිරියගෙනි. ගෙදර කෑමට කිසිදෙයක් නැති නිසා එන විට පොළෙන් එළවළු මොනවා හෝ ගෙනෙන ලෙස ඇය කීවාය. ඔහු වටපිට බලා එය විසන්ධි කළත් ඇය යළි කතා කළාය. යළිත් එළවළු කතාවම ඇය කීවාය. ඔහු ”හරි හරි” කීවේ කෝපයෙනි.
මොහොතකින් යළිත් දුරකථනය නාදවිය. ඒත් බිරියගෙනි. ඔහු එය රැගෙන අසල වූ වැසිකිළි බිත්තිය අසලට ගොස් කතා කළ විට එළවළු සමඟ පුතාට කෑම පෙට්ටියක් ද ගෙන එන ලෙස ඇය කීවාය. ඔහු යළිත් ”හරි හරි” කීවේ කෝපයෙනි.
ආපසු සාකච්ඡුා කාමරයට ගියපසු යහළුවකු ඇසුවේ ”කලබලෙන් කතා කළේ කවුද” කියාය.
”ඇමැතිතුමාගෙන් බේරෙන්න බෑ මචං. අලූත් නිසා අත්දැකීම් නෑනෙ” ඔහු කීවේ උපහාසයෙනි. පසුපස සිටි අයකු ”ඇමැතිතුමාට තේරෙන්නෙ නැත්තෙ එළවළු ගන්නද? ළමයට කෑම පෙට්ටි ගන්නද?’’ ඇසුවෙන් ඔහුට තරු පෙනිණ.
කරුණු සෙවීමේදී දැනගන්නට ලැබුණේ ඔහු වැසිකිළිය තුළ සිට තම කතාවට සවන් දී සිටි බවක්ලූ.

