ලාබෙට කණ්ණාඩි කුට්ටම අරන්දුන් මිතුරාට ප්ලේන්ටියක්වත් නෑ


ඇස්වල ආබාධයකට පැළඳිය යුතු ඇස් කණ්ණාඩියේ විස්තර ඇතුළත් තුණ්ඩුව ද රැගෙන තරුණයෙක් පිවිසියේ ඇස් කණ්ණාඩි අලෙවි සැලකටය. විවිධ මාදිලියේ කණ්ණාඩි රාමු පෙන්වූ සේවක මහතකුට තම හිත ගිය කණ්ණාඩි කුට්ටම පෙන්වූ විට ”රුපියල් පන්දහස් පන්සීයයි” ඔහු පැවසීය. ”පස්සේ එන්නම්” පැවසු තරුණයා මිතුරකු මුණගැසී ”මම කණ්ණාඩි කුට්ටමක් බැලූවා. හරි ගනන්නේ” යැයි කීවිට ” ලොකු සාප්පුවල කඩ කුලියයි, ඒසී වල වියදමයි කණ්ණාඩිවලින් අල්ලනවා. මම දන්න තැනක් තියෙනවා” යැයි පැවසූ මිතුරා තම දුරකථනයෙන් ඇමතුමක් ගෙන ෂොප් එක ඇරලලූ තියෙන්නේ දැන්ම යමු”යි කීය.

දෙදෙනා කණ්ණාඩි අලෙවි සලේ මිතුරා හමුවූහ. ඇස් කණ්ණාඩියේ විස්තරය අඩංගු තුණ්ඩුව ගත් හෙතෙම  ඇස් කණ්ණාඩි රාමු කිහිපයක් මේසය මත තැබීය. මීට පෙර කණ්ණාඩි සාප්පුවේදී තේරූ කණ්ණාඩි රාමුවට සමාන රාමුවක් ඔහුගේ තේරීම විය.

”මේක රුපියල් තුන්දහස් පන්සීයයි. යාළුවත් එක්ක ආපු නිසා තුන්දහකට දෙන්නම්” සාප්පුවේ මිතුරා පැවසීය. මුදල් ගෙවූ අතර දින තුනකින් පැමිණ කණ්ණාඩිය රැුගෙන යන ලෙස දැනුම් දුනි. එළියට පැමිණි මිතුරා ඇමතූ අනෙකා ”උඹ නිසා මට රුපියල් දෙදහස් පන්සීයක ලාභයක් වුණා. උඹගේ ෆෝන් එකෙන් කතා කළාට ගානක් වියදම් වුණානේ. ඒකට මම රුපියල් පනහක රීලෝඞ් එකක් දාන්නම්” යැයි කී විට පිස්සුද? එපා මචං” මිතුරා පැවසීය.

පසුව මිතුරා හිතවතකුට පවසා තිබුණේ ”ඔච්චර ලාභයක් කරලත් මිනිහා අඩු ගානේ මට ප්ලේන් ටී එකක්වත් අරන් දුන්නේ නැහැනේ” යනුවෙනි.