මාරවිල - තල්විල වැල්ල මුහුදට ”පියාඹන පීරිසියක්” කඩා වැටී ඇති බවට පැතිර ගිය ආරංචියක් හේතුවෙන් 27 වැනිදා රාත‍්‍රියේ එම ප‍්‍රදේශය තුළ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවිය.
රාත‍්‍රී 7.30ට පමණ ගම්වාසියකු විසින් මුලින්ම මුහුදේ පා වෙමින් තිබූ නිවෙමින් දැල්වෙමින් පවතින අද්භූත වස්තුව දැක ඇත. පසුව මේ බව සෙසු ගම්වාසීන්ද දැනගෙන ඇති අතර මාරවිල පොලිසියට ද සිද්ධිය වාර්තා විය. ඒ අනුව මාරවිල පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක චන්දන හේරත් මහතා ද තල්විල වැල්ල වෙරළට පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් සොයාබලා ඇත.
මුලින්ම ගොඩබිම සිට මීටර් 50ත් 100ත් අතර දුරකින් දක්නට ලැබුණු ආලෝකය විහිදුවන මෙම වස්තුව ක‍්‍රමයෙන් ගොඩබිම ආසන්නයට පැමිණ මීටර් 05ක් පමණ නුදුරේදී අතුරුදන් වූ බව ගම්වාසීහු කියති.
රාත‍්‍රී 9.00 පමණ වනවිට ගම්වාසීන්ගේ විරෝධතාව නොතකා මුහුදට බැස ඇති ප‍්‍රදේශයේ ධීවරයකු විසින් එම අද්භූත වස්තුව ගොඩට ගෙනවිත් ඇත. එවිට අනාවරණය වී ඇත්තේ මෙතෙක් තමන් බියවී ඇත්තේ නිවි නිවී දැල්වෙමින් මුහුදේ පා වූ විදුලි පන්දමක් බවය. මසුන් මැරීම සඳහා මුහුදු යන ධීවරයන් අතීතයේදී ඉන්ධන භාවිත කරමින් පන්දම් ලාම්පු පාවිච්චි කළත් වර්තමානයේදී එය වෙනස්වී ධීවරයන් විදුලි පන්දම් භාවිතයට හුරුවී ඇත. තමන් දැක ඇත්තේ එසේ ධීවරයන් විසින් පාවිච්චි කරන විදුලි පන්දමක් බවට තල්විල වැල්ල ධීවරයෝ කියති.
එසේ නම් මෙම විදුලි පන්දම මුහුදට වැටුණේ කෙසේද යන්න සම්බන්ධයෙන් දැන් සොයා බලමින් සිටී. අනතුරට පත්වූ ධීවර යාත‍්‍රාවක සිටි ධිවරයකුගෙන් මෙම විදුලි පන්දම මුහුදට වැටුණාද යන්න එක් මතයකි. නමුත් අනතුරට පත්වූ එවන් යාත‍්‍රාවක් හෝ ධීවරයකු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බව මාරවිල පොලිසිය කියයි.

