නෝර්වුඩ් රංජිත් රාජපක්ෂ
එක්තරා පොලිස් ස්ථානයක සේවය කරන පොලිස් කොස්තාපල්වරියකට මිය ගිය ඇගේ මිත්තණිය ආරූඪ වීම හේතුවෙන් පොලිස් ස්ථානාධිපතිවරයා බිය වී හදිසියේ රෝගාතුර වී නිවාඩු ලබා සිටින බව එම පොලිසියේ සේවය කරන සෙසු පොලිස් නිලධාරිහු කියා සිටිති.
පොලිස් කොස්තාපල්වරියට පොලිස් ස්ථානාධිපතිවරයා නිතරම බැණවැදීම හේතුවෙන් දැඩි මානසික පීඩාවට පත් වී සිටි කොස්තාපල්වරිය නිවාඩු ලබා නිවසට ගොස් සිටියදී ඇය රැක බලා ගත් මිත්තණිය හදිසියේ මිය ගොස් ඇත.
පසුව පොලිස් කොස්තාපල්වරියට මිය ගිය ඇගේ මිත්තණිය ආරූඪ හේතුවෙන් තම දියණියට තව දුරටත් නිවාඩු අවශ්‍ය බව කොස්තාපල්වරියගේ මව විසින් දුරකථනයෙන් පොලිස් ස්ථානාධිපතිවරයාට ඇමතුමක් ලබා ගෙන දැනුම්දෙන අවස්ථාවේ පොලිස් ස්ථානාධිපතිවරයා ජංගම දුරකථනය අනෙකුත් පොලිස් නිලධාරින්ට ඇසෙන සේ මව සමග සංවාදයක යෙදී සිටියදී මවගෙන් දුරකථනය උදුරාගත් මිත්තනිය ආරූඪ වී සිටින පොලිස් කොස්තාපල්වරිය මිත්තණියගේ හඬින් “ආ උඹ ඕ.අයි.සී. හරියට පොලිසියේ නිලධාරින්ට වද දෙනවා නේ. උඹ හොඳ මිනිහෙක් නෙවෙයි. ලොක්කන්ට ගොට්ට අල්ලලා පැණි ටිකයි හකුරු ටිකයි රා ටිකයි ගෙනියලා දීලා ශේප් එකේ ඉන්න එකෙක්. උඹට ළඟදී ට්‍රාන්සර් එකක් එනවා. හැබැයි ඕ.අයි.සී. කම හම්බවෙන්නෙ නෑ. සාමාන්‍ය රාජකාරි තමයි කරන්න වෙන්නේ. එතනට ගිහින්වත් නිලධාරින්ට වද නොදී ඉන්න බලපන්.” යනුවෙන් පැවසීමෙන් පසු කලබල වූ පොලිස් ස්ථානාධිපතිවරයා “ආච්චි මට සමාවෙන්න මේ ට්‍රාන්සර් එක එන එක නවත්ත ගන්න බැරිද? මට යන්නම වෙයිද?” යනුවෙන් විමසා ඇත.
උඹ දැන් පරක්කු වැඩියි යනුවෙන් පවසා මිත්තණිය ආරූඪ වී සිටින පොලිස් කොස්තාපල්වරිය දුරකතනය විසන්ධි කර ඇත.
එදින පටන් දින කිහිපයක් හදිසියේ රෝගාතුර වූ පොලිස් ස්ථානාධිපතිවරයා මේ දිනවල නිවාඩු ලබා සිටින බව එම පොලිසියේ සෙසු නිලධාරිහු කියා සිටිති.