මාල හොරා බිරියගේ මාලයත් කඩාගෙන
බස්නාහිර පළාතට ආසන්න ගමකි. රෑ බෝවී තිබිණි. මිනිහාට මිනිහා හඳුනා ගන්නට බැරි තරමට කළුවරය.
අඹ ගසක් යට සිටි කාන්තාවකගේ මාලය කඩාගත් අයෙක් හැල්මේ දිව යන්නට විය. කාන්තාව ”මෙන්න මගේ මාලය කඩාගත්තා” යැයි කෑ ගසමින් ඔහු පසුපස දිව ගියාය. වැඩිදුරක් යන්නට ලැබුණේ නැත. කඩාගත් මාලය ඔහු අතින් බිම වැටිණි.
පසුපසින් දිව ආ කාන්තාව සැනෙකින් මාලය අහුලා ගත්තාය. මාලය කඩාගත් සොරා කොහි දැයි ඇය වට පිට බලන්නට වූවාය. බිම වැටුණු මාලය සොයා ගන්නට ඔහු ද බිම සෝදිසි කරමින් සිටියේය.
අඩ අඳුර වුවද ඇයට ඔහු හඳුනා ගත හැකි විය. ”හත්දෙයියනේ මේ තමුසේ නේද?” ඇය වහා පැන ඔහු අල්ලාගන්නා ගමන් විමැසීය. මාලය කඩාගෙන තිබුනේ අන් කව්රුවත් නොව ඇගේ සැමියාය.
සැමියාගේ ජංගම දුරකතනයට ඊට ටිකකට කලින් ඇමතුමක් ලැබිණි. ඒ වෙලාවේ ජංගම දුරකතනය තිබුනේ ඇය අතේය. අනේ ඔයා ආවේ නැත්තේ ඇයි? මොකද වුණේ? අද එන්නේ නැද්ද? යනුවෙන් අසද්දී ඇය මුවින් නොබැන සිටියාය.
ඒ ජරමරය අස්සේ සැමියා මිරිකි මිරිකී සිටියේය.

