මාමණ්ඩිට කසිප්පු විකුණා මඟු‍ලත් කැඩිලා



කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම



සිය පෙම්වතියගේ පියාට කසිප්පු අලෙවි කිරීමට ගොස් ප්‍රේමය අහිමි කර ගත් තරුණයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය. 
ඔහු රැකියාව වශයෙන් සිදු කරගෙන ගොස් ඇත්තේ කසිප්පු පෙරා ගම්වැසියන්ට අලෙවි කිරීමය. ඉතා සූක්ෂම අයුරින් එය සිදු කරන නිසා පොලිසියට ඔහු කොටු කර ගැනීමට අපහසුව ඇත. ඔහු සිය පණමෙන් ආදරය කරන පෙම්වතියක සිටින අතර ඇය ඇගලු‍ම් කර්මාන්තශාලාවක සේවය කරයි.  ඔහුට ඇය මුණගැසෙන්නේද ඇය රැකියාවට එන අතරතුරය. ඔහුගේ රැකියාව ලෙස ඇයට පවසා ඇත්තේ ව්‍යාපාරයක් කරන බවය.
එහෙත් ඔහුගේ කසිප්පු ව්‍යාපාරය ඇයට සඟවා ඇත්තේ ඇය කෙලෙසකවත් එයට කැමති නොවන බැවිනි.


මේ අතර මෙම ප්‍රේම සම්බන්ධය නිවසට ආරංචි වන අතර ඇයගේ මවුපියන් ඔහු පිළිබඳව සොයා බැලීමට තීරණය කර ඇත්තේ ඇයට හොරෙනි. 
ඔහු ජීවත් වන ගමේ මිතුරකු ඇයගේ පියා දන්නා අතර මොහු පිළිබඳව සෙවීමට ඔහු මිතුරාගේ නිවසට ගොස් ඇත.  මෙම තරුණයා පිළිබඳව ඔහුට පවසනවට වඩා ඔහු පිළිබඳව සැබෑවටම දකින්නට කටයුතු කරන්නට සිතූ ඔහු එම තරුණයා කසිප්පු අලෙවි කරන ස්ථානයට ඔහු  රැගෙන ගොස් ඇත. 
මේ පැමිණ සිටින්නේ තම පෙම්වතියගේ පියා බව නොදත් තරුණයා ඔවුන්ට කසිප්පු අලෙවි කර තිබේ. කසිප්පු රැගෙන ගොස් විනාඩි දහයකට පමණ පසු ඔහුගේ පෙම්වතිය ඔහුට දුරකතන ඇමතුමක් අරන් පවසා ඇත්තේ ‘ඔයා කසිප්පු විකුණුවේ මගේ තාත්තට. මාව අමතක කරන්න.  මේක සිද්ධ වෙන්නේ නැහැ යනුවෙනි. තරුණයාට දෙවියන් සිහිපත් වී හීන් දහඩිය දමද්දී  ඇය සිය දුරකතනයේ සිම් පත් කඩා දමා රැකියාවට ද නැවත නොයෑමට තීරණය කර තිබේ.