ධාවනය වෙමින් තිබූ දුර ගමන් සේවා බසයක අසුනක වාඩිවී යමින් සිටියදී තමාට නින්ද ගියා යයි හඟවමින් එම අසුනේ යාබදව වාඩිවී සිටි තරුණියගේ උරහිසට සිය හිස තබාගෙන යාමට තැත්කළ තරුණයකු සැකපිට ප‍්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව අහුන්ගල්ල පොලිසිය කියයි.
කතරගම සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මගී ප‍්‍රවාහන බසයකදී මේ සිද්ධියට සම්බන්ධ යයි කියන තරුණයා සැකපිට ප‍්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර තරුණයා මෙන්ම මේ සිදුවීමට මුහුණදුන් තරුණියද කතරගමින් එම බසයට ගොඩවී ඇති බවත් පොලිසිය කියයි.
බසයේ සිටි සැකකාර තරුණයා අවස්ථා කීපයකදීම තමාට නින්ද ගියා යයි හඟවමින් අර තරුණියගේ උරය මත සිය හිස තබාගෙන යාමට උත්සාහ දරා ඇති බව පවසන පොලිසිය සැකකාර තරුණයාගේ මේ ක‍්‍රියාව ඉවසනු බැරිම තැන ඇය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඔහු අත්අඩංගුවට ගත් බවද කියයි.
සාපරාධී බලහත්කාරකමකට තැත් කිරීමේ චෝදනාව යටතේ මේ සැකකරුට විරුද්ධව නඩු පවරන බවද පොලිසිය කියයි.
අහුන්ගල්ල පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

