මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි
බස් රථයේ ඉදිරි අසුනේ ගමන් කළ අක්කාටත් මල්ලීටත් පිටුපස කෙළවර පිහිටි පෙම්වතුන්ගේ අසුනට යන ලෙසට දැනුම් දුන් බස් කොන්දොස්තරවරයකුගේ අවිචාරවත් ක්‍රියාකලාපය නිසා ඔවුන් පීඩාවට පත් වූ පුවතක් පිළිබඳව පසුගියදා යක්කල ප්‍රදේශයේදී දැනගන්නට ලැබිණි.
මේ සිද්ධිය වී ඇත්තේ නිට්ටඹුව හා ගම්පහ නගර අතර ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථයකය. කොළඹ මහනුවර මහා මාර්ගයට නුදුරු ගම් පියසක වෙසෙන යොවුන් වියේ පසුවන අක්කණ්ඩිය තමන්ගේ බාල සොහොයුරා සමඟ යක්කල නගරයට යාමට මෙම බස් රථයට ගොඩ වූ වාය.
මේ දෙන්නා බස් රියේ ඉදිරි පෙළ අසුනක වාඩිවී සිටියදී කොන්දොස්තරවරයා ඔවුන් අසලට පැමිණ පිටි පස්සේ සීට් එකේ ජෝඩුව ඉස්සරහ බහිනවා. ඔයාලට එතැනට යන්න පුළුවන් යැයි පැවසීමත් සමඟ සහෝදරයා හා සහෝදරිය පුදුමයට පත්වී ඇත.
මේ ප්‍රකාශයත් සමඟ මල්ලී කේන්තියට පත් වූ බව තේරුම්ගත් අක්කා වහාම ඊළඟ නැවතුමෙන් බැස වෙනත් බසයකින් යක්කල නගරය කරා ගමන් කර ඇත්තේ කොන්දොස්තරවරයා වත්මන් පරපුර දෙස බලන කෝණය පිළිබඳව ඇතිවූ පිළිකුල සමඟය. මෙවැනි කොන්දොස්තරවරුන්ගේ හැදියාව නිසා විලිබිය ඇති දරුවන්ට බස් රියකවත් ගමන් කිරීමේ අවස්ථාව නොලැබෙන තත්ත්වයක් උද්ගතව ඇතැයි මේ සම්බන්ධව අදහස් පළ කළ වැඩිහිටියෙක් සඳහන් කළේය.