පොලිස් වෙසින් තරුණිය මුළා කරද්දී මාට්ටු


ගම්පහ ප‍්‍රදේශයට අයත් ගමෙක තරුණයන් පිරිසක් එක්ව පසුගිය දිනෙක විනෝද ගමනක් ගියහ. කඳුකර පෙදෙසක කැලෑබද ස්ථානයක් බලා රථය මොහොතකට නතර කෙරිණි.
එයින් බැසගත් එක්තරා තරුණයන් දෙදෙනක් අසල තිබූ නිවෙසක් දෙසට හොරෙන් හොරෙන් ඇදුනේ ඒ නිවෙස ඉදිරියේ මිදුල අමදිමින් සිටි තරුණියක් නෙත ගැටුණු බැවිනි.
නිවෙස කිට්ටුවටම ඇදුණු මේ දෙදෙනාට ඇය හා වචනයක් දෙකක් කතා කිරීමට දැඩි ආශාවක් ඇති වූයේය. එහෙයින් වටපිට හොඳින් බැලූ එකෙක් ”මේ නංගි... අපි මේ නුවර පොලිසියෙන්... පොඩි රාජකාරියකට යන ගමන්.. බැරිද වතුර ටිකක් බොන්ඩ...” කියමින් ලොකු බොරුවක් ගොතා කීවේය.
තරුණිය වැඩි කලබලයකට පත් වූ බවක් පෙනෙන්නට තිබුණේ නැත. මඳ සිනාවක් පෑ ඇය ”ආ...පෝ.... පුළුවන්” කියමින් ඇය ගෙය දෙසට දිව ගියාය. ඒ යන ගමන් ඇය ”අයියේ... ඉක්මනට එන්නකෝ... මෙන්න ඔයාලගේ පොලිසියේ මහත්තුරු දෙන්නෙක් ඇවිත්. ඉක්මනට ඇවිත් යන්ඩකෝ...” කියා කෑ ගැසුවාය.
ඇය එසේ කෑගැසුවේ නුවර පොලිසියේ වැඩකරන, නිවාඩු ගෙන නිවෙසට පැමිණ සිටි තම සොහොයුරෙකුට විය යුතුය. නුවර පොලිසියේ අය තබා ඒ පොලිසිය ඇත්තේ කොහේදවත් නොදන්නා මේ දෙදෙනා වැඬේ වැරදී ගිය තැන වටපිට බලා පණ එපා කියමින් ආපසු වාහනය දෙසට දිව ආවේ එය ඉක්මනින් පණගන්වා ගෙන එතැනින් මාරුවෙන්නටය.