පුතුගේ දොළදුක සංසිඳුවන්න ගිහින් තාත්තයි පුතයි දෙන්නම මට්ටු වෙලා


කරන්දෙණිය  එම්. සුසිල්  ප්‍රියන්ත
නිවෙසේ ගමනක් බිමනක් යෑමට තිබූ මෝටර් රථය කුණු කොල්ලයට විකුණා අරගෙන දුන් යතුරුපැදියෙන් වුණ අමාරුවේ වැටීමේ අපූරු කතාවක් දකුණේ පොලිසියකින් අසන්නට ලැබේ.


නිවෙසේ තිබූ මෝටර් රථය මේ පියා හදිසියේම විකුණා දමන්නේ පුතුගේ ආශාවක් සංසිඳුවා ගැනීමටය. ඒ යතුරුපැදියක් මිලදී ගැනීමටය. මේ යතුරුපැදිය නම් සාමාන්‍ය එකක් නොවේ. එය අධි බලැතිය. මෙරට ලියාපදිංචි කිරීමට නොහැකි එකකි. වටිනාකම රුපියල් ලක්ෂ විසිහයකි.


පාරේ යාමට තහනම් වූ මෙම යතුරුපැදියට පසුගිය දිනෙක පුතා නැග්ගේ තවත් යහළුවකු සමගය. යාමට හැකි වූයේ ටික දුරකි. තවත් යතුරුපැදියක එය හැප්පෙන්නේ එම යතුරුපැදියේ ගමන්ගත් අයට තුවාල සිදු කරමිනි.
පොලිසිය එනවිට ඔවුන් දෙදෙනා එතැනින් පලා යන්නේ පොලිස් අණට අකීකරු වීමෙනි.


 එතැනින් පලා යන ඔවුන් දෙදෙනාට යාමට හැකි වූයේ තවත් ටික දුරකි. යතුරුපැදිය ලොරි රථයක හැපී ඔවුන් දෙදෙනාම තුවාල ලබන්නේ පොලිසියටද මාට්ටු වෙමිනි. ඒ රෝහලේදීය.


තුවාලවලට ප්‍රතිකාර ලැබූ මේ පුත්‍රයාට රෝහලෙන් යාමට සිදුවූයේ නිවෙසට නොව පොලීසියටය. පොලිසියෙන් උසාවියටය. ඒ නඩු නිමිති තුන හතරක් සහිතවය.


අධිබලැති යතුරුපැදියක් මාර්ගයේ ධාවනය කිරීම, ලියාපදිංචි නොකළ යතුරුපැදියක් ධාවනය කිරීම. අනතුරක් සිදුකර පලායාම , අනතුරක් වසන් කිරීම වැනි චෝදනා පොලිසිය විසින් මෙම පුත්‍රයාට ගොනු කරනු ලැබ  තිබුණේ පියාගේද ඇඟ රත්කරවමින්ය.