පරණ පෙම්වතිය දැක දවල් තරු පෙනිලා


අසල්වැසි නිවසේ පදිංචියට අලුතින් ආ කාන්තාවගේ ආරාධනයෙන් එහි ගිය අසල්වැසි නිවසේ තරුණ සැමියාට පරණ පෙම්වතිය දැකීමෙන් දවල් තරු පෙනුණු පුවතක් කන්දඋඩරට ප්‍රදේශයේ එක්තරා ගම්මානයකින් වාර්තා වේ.  
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේයි.
කන්දඋඩරට ප්‍රදේශයට අයත් අර්ධ නාගරික  ප්‍රදේශයක මෙම සිදුවීම සිදුව තිබේ. ඔහු කුමාරය. සිය බිරිඳ ද සමඟ මෙම ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන පදිංචියට පැමිණ ඇත්තේ විවාහ වී ඉතා කෙටි කාලයක් තුළයි. ඔහු  විවාහ වූයේ දෙමාපියන් විසින් ගෙන එන ලද යෝජනාවක් අනුවයි.


මෙම නිවසේ පදිංචියට පැමිණ අවුරුදු කිහිපයක් ගත වී ඇති අතර මෑතක එම නිවසට යාබද නිවසට එක් යුවළක් පදිංචියට පැමිණ සිටියහ. මෙම නිවසේ කාන්තාවගේම වයසේ කාන්තාවක වන එම පවුලේ ගෙහිමි කාන්තාව තම අසල්වැසි කාන්තාව සමඟ කුළුපගවීමට වැඩි කාලයක් ගත වූයේ නැත. 
මෙම කාන්තාවගේ සැමියා වන කුමාර යෝජනාවකින් විවාහ වී සිටියත් ඔහුගේ අතීතය ගැන කිසිවක් බිරිඳ සමඟ කියා නොතිබිණ. ඒ නිසාම බිරිඳ සිතාගෙන සිට ඇත්තේ තම සැමියා සුදු චරිතයක් බවයි. ඒ නිසාම ඇය ඔහුගෙන් කිසිවක් නොවිමසුවාය. නමුත් තම අසල්වැසි නිවසේ පදිංචියට පැමිණ සිටින නව  පවුලේ සැමියා සුළු රැකියාවක් කළ පුද්ගලයකු වන අතර ඔවුන් අතර වැඩි වයස් පරතරයක්ද තිබිණ.
මෑතක හඳුනාගත් අසල්වැසි පවුල සිය නිවසට කැඳවා මිතු දම  වැඩි දියුණු කර ගැනීමට සිතූ අලුතින් පැමිණි ගෙහිමි කාන්තාව තම අසල්වැසි කාන්තාවට ඒ බව දැනුම් දුන්නාය. තම සැමියාද සමග පැමිණන ලෙස ඇය කීවාය. ඒ අනුව සැමියා නිවසේ සිටින දවසක එම නිවසට යාමට එකඟ කර ගත්තේය. ඒ අනුව නිවසට යනවිට එම නිවසේ ගෘහ මූලික සැමියා නිවසේ නොසිටි අතර ඔහු වැඩට ගොස් සිටියේය. 
මෙම නිවසට අලුතින් එන සිය අසල්වැසි මිතුරියගේ සැමියාව මුල් වර ඇය දකින නිසා ඕනෑ කමින් බැලුවාය. ඔහු දැකීමත් සමඟ ඇයට උන් හිටි තැන් අමතක විය.‘‘කුමාර ඔයා..... මාව අතරමං කරල ගිය ඔයාද මේ. ඇයි මට එහෙම කළේ.’’...... බිරිඳ තුෂ්නීම්භූතව බලා සිටියදී ඇය එක එක දේවල් කියාගෙන කියා ගෙන ගියාය. බිරිඳ මොකද්ද කුමාර මේ කියා විමසුවත් ඔහු කිසිවක් කතා කළේ නැත. මම කියන්නම්  ඔක්කොම යැයි එම ගෙහිමි කාන්තාව සියලු විස්තර ඇය සමඟ කීවාය.
කුමාර දීර්ඝ කාලයක් තිස්සේ මෙම නිවැසි තරුණිය සමඟ ප්‍රේම සබඳතාවයක් පවත්වාගෙන ගොස් සිටි අතර එය බොහෝ දුර දිග ගොස් තිබිණ. දෙදෙනාම මධ්‍යම පාන්තික පවුල්වලට අයත් වූ බැවින් පවුල් පසුබිමද ගැළපිණ. එසේ වුවත් කුමාරගේ පවුලෙන් මෙම කටයුත්තට කැමති වූයේ නැත. නමුත් කෙසේ හෝ තමන් ඇයව විවාහ  කර ගන්නා බවට පොරොන්දු විය. නමුත් පසුව දෙමාපියන් බල කිරීම නිසා ඔහු ඇයව අමතක කිරීමට තීරණය කර දෙමාපියන් ගෙනා යෝජනාවට කැමැති වී විවාහ වී කෙටි කලකින් මෙම ප්‍රදේශයට පැමිණ පදිංචි විය. ඉන් අවුරුදු කිහිපයකට පසුව සිය නිවස ආසන්නයට පදිංචියට පැමිණ ඇති මෙම යුවලේ කාන්තාව ඔහුගේ කලින් පෙම්වතිය බව ඔහු හඳුනා ගන්නේ මෙම අවස්ථාවේදීය.
මෙම කතාව ඇසූ බිරිඳ සැමියාට දිගින් දිගටම දොස් කියන්නට වූයේ මේ රහස මෙතෙක් කල් තමන්ගෙන්  සඟවා ගෙන සිටීම ගැනය. තවත් තරුණියකට දුක් දුන් පුද්ගලයෙකු හා විවාහ වීමට සිදුවීම ගැනත් ඇය පසුතැවීමකට පත් වූවාය. ඉන් පසුව සැමියා තීරණය කළේ එම නිවස අත්හැර වෙනත් ප්‍රදේශයකින් නිවසක් කුලියට ගෙන පදිංචි වීමටය. එහෙත් බිරිඳගේ තීරණය තවමත් ලබාදී නැත.  

හාරිස්පත්තුව මොහොමඩ් ආසික්