පඹයාට ඉංගී‍්‍රසියෙන් කියන නම ඇසූ විට පියා අන්දමන්ද වෙලා


(ක‍්‍රිස්ටෝපර් සීපියන්)
සිවුවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෙක්, දිනක් පියා සම`ගින් නගරයට ගියේය. කුඹුරක සිටිනා පඹයකු දුටු ඔහු ”අප්පච්චි ආන්න පඹයෙක්” යැයි පවසා ”අප්පච්චි පඹයාට ඉංග‍්‍රීසියෙන් කියන්නේ මොකක්දැයි” විමසීය. පියා නිරුත්තර විය. පියා ඉගෙනගත් පාසලේ ඉංග‍්‍රීසි ඉගැන්නුවත් ඉංග‍්‍රීසි භාෂාවට ඔහුගේ ආශාවක් නොතිබූ නිසා ඔහු කළේ මිතුරන් සම`ග ඉංග‍්‍රීසි පංතිය මග හැරීමය. එනිසා ඔහුට ඉංග‍්‍රීසි ඉගෙනීමට නොහැකි විය. පුතා නැවතත් පැනය විමසීය. ”පඹයට කියන නම මතක නැහැ පුතේ පස්සේ කියන්නම්” පියා පැවසීය. නගරයට ගොස් ආපසු එන විටදී පඹයා දුටු පුතා, ”අප්පච්චි නම මතක් වුණාදැයි” විමසූවිට ”තවම මතක් වුණේ නැහැ පුතේ” හෙතෙම පැවසීය. නිවෙසට පැමිණි පියා තමා හඳුනන සිංහල උගන්වන ගුරුවරයෙක් හමුවී, ”සර් පඹයාට ඉංග‍්‍රීසියෙන් කියන්නේ මොකක්දැයි” විමසීය. ”ඒකනම් මට හරියට මතක නැහැ. සිංහල ඉංග‍්‍රීසි ඩික්ෂනරිය යාළුවෙක් ගෙනියලා” ඔහු පැවසීය. තවත් ගුරුවරයකුට දුරකථනයෙන් ඇමතූ විට ඔහු පැවසුවේ ”ඔය වගේ පොඩි වචන මතක් වෙන්නේ නැහැ.” යනුවෙනි. අවසානයේදී පාරේ ගමන් කළ ළමයකු දුටු පියා ”පුතා කීවෙනි පන්තියේදැයි” ඇසීය. ”මාමේ මම හත්වැනි පංතියේ” ළමයා පැවසීය. ”ස්කෝලේ ඉංග‍්‍රීසි උගන්වනවාදැයි” විමසූ විට ”ඔව් මාමේ” සිසුවා කීය. ”හොඳයි එහෙනම් කියන්න, පඹයට ඉංග‍්‍රීසියෙන් කියන්නේ මොකක්ද කියලා” යනුවෙන් ඇසූවිට, ”පඹයට කියන්නේ ස්කෙයාර් ක්‍රෝ කියලයි” සිසුවා පැවසීය. නිවෙසට පැමිණි පියා, පුතේ ”පඹයට කියන්නේ ස්කෙයාර් ක්‍රෝ” කියලයි. පවසා ජාම බේරාගත්තේය.